රවී කුමුදේශ්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව
රවී කුමුදේශ්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව
(11.04.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොරුන් විශාල ප්‍රමාණයක් සිටින බවත් සිදුවන බොහෝ දූෂිත ගනුදෙනුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්යක්ෂවරුන් සම්බන්ධ බවට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු හා ශ්‍රී ලංකා රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පසුගියදා ප්‍රකාශ කළා.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඔහු ප්‍රකාශ කරන අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය කාලසීමාවේ දූෂණ වංචා අක්රමිකතාවලට රෝහල් පරිපාලකයන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ අධ්යක්ෂවරුන් සම්බන්ධ වී ඇති නම් වහාම එම නිලධාරීන් සම්බන්ධව විනය පරීක්ෂණ පවත්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කීර්තිනාමයට සිදුවී ඇති හානිය පිරිසිදු කරන ලෙස සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව, විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නේ දිව්‍ය ලෝකයෙ යන හොරුන්” යැයි පසුගිය ඉරිදා රවි කුමුදේශ් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා තිබුණා.
ඔහු සඳහන් කරන අන්දමට පසුගිය වර්ෂ දෙකක (2) කාල සීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු වූ දූෂණ වංචා අක්‍රමිකතා සහ විවිධ ඖෂධ මිල දී ගැනීම්, භාණ්ඩ මිල දී ගැනීම, රසායනාගාර ද්‍රව්‍ය මිලදී ගැනීම් ආදිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ බවට පිළිගත හැකි සාක්ෂි පවතින්නේ නම් අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම සෞඛ්‍ය ලේකම්වරයාගේ වගකීමක් බවත් එසේ සිදු නොකරන්නේ නම් කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඇතැයි තමන්ට පිළිගැනීමට සිදුවන බව ද පැවසුවා.
රවි කුමුදේශ් ද්වේශ සහගත ලෙස රෝහල් පරිපාලනය අපහාස වන අන්දමට එම ප්‍රකාශය සිදුකොට ඇත්නම් රවි කුමුදේශ් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ද සෞඛ්‍ය ලේකම්වරයා පසුබට නොවිය යුතු බව විශේෂඥ වෛද්‍ය සංජීව පවසනවා.
තවද ශ්‍රී ලංකාවට තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම ප්‍රතිඵලයක් ලෙස පේරාදෙනිය ප්‍රදේශයේ මවක් ස්වකීය ප්‍රථම දරු ප්‍රසූතිය ඇතුළත් වීමෙන් අනතුරුව මියගිය බවට මාධ්‍ය සිදුකරන වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම සිද්ධිය සඳහන් අන්දමට එම මවගේ මරණයට හේතුව තත්ත්වයෙන් බාල ඖෂධ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා එම මරණවලට ඍජුව වගකිව යුතු බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ හිඟයක් ඇතිවීමටත්, ඖෂධ මිල ඉහළ යාමටත්, තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ සෞඛ්‍ය බලධාරීන් වග කිව යුතු බවට මානව හිමිකම් කොමිෂන් සභාවට තමන් ප්‍රකාශ කර තිබුණා.
ඒ සම්බන්ධව විවිධ ස්ථානවල ද්වේශ සහගත ප්‍රකාශ කර ඇති නමුත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඉන්දියානු රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියානු සමාගම්වලින් තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සීමා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව මගින් තම වෘත්තීය සමිති ව්‍යාපාරය සිදු කළ සටන ජයග්‍රහණයක් දක්වා ගෙන යමින් පවතින බව ද, තමන් විසින් ප්‍රකාශ කොට ඇත්තේ සත්‍ය කරුණු බව ඔප්පු වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ෴
බේරුවල ධීවර වරායෙන් මුහුදට වැටුණු දැරියක මුදාගැනේ
(11.04.2023 – 17:25 +0530 – hirunews.lk/sinhala)
මාළු මිල දී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමඟ පැමිණි 12 හැවිරිදි දැරියක් වරාය ජැටියෙන් මුහුදට වැටී ඇති අතර, පසුව ධීවරයෙකු විසින් ඇය මුදාගෙන තිබෙනවා.
අද (11) උදෑසන මෙම දැරිය මාළු මිලදී ගැනීමට පැමිණ තිබූ අතර, එහි තිබූ අධික තෙරපීම හේතුවෙනුයි දැරිය මෙලෙස මුහුදට ඇද වැටී ඇත්තේ.
එම මුහුදු ප්‍රදේශය අඩි 30 ක පමණ ගැඹුරකින් යුත් අතර, එකවරම බෝට්ටුවක සිටි ධීවරයෙකු ඇය දැක මුහුදට පැන අදාළ දැරියගේ ජීවිතය බේරාගෙන තිබෙනවා.
වෙනත් දිනවල මෙම ධීවර වරාය තුළ ධීවර යාත්‍රා විශාල වශයෙන් එකකට එකක් ළංවන ලෙස ගාල් කර පවතින නමුත් අද (11) දිනයේ දී එලෙස ධීවර යාත්‍රා ළං ළංව නැංගුම් ලා තිබී නැහැ.
එසේ වූයේ නම් මෙම දැරිය ගොඩගැනීමට අපහසුවන බවයි පොලිසිය සඳහන් කළේ ෴
රත්‍රං යැයි රැවටී ‘ඉමිටේෂන්’ මාලය කැඩූ පොලිස සැරයන් අත්අඩංගුවට
(11.04.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)
කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම සැරයන්වරයා ඊයේ (10) සවස පොලිස් පොතේ පිටව යෑමේ සටහන් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් බත්තරමුල්ල ප්‍රදේශයේ දී කාන්තාවක ගේ රන්මාලය කොල්ල කා ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැරයන්වරයා සහ රන්මාලය පොලිසියට ගෙන ගොස් පරික්ෂා කිරීමේ දී එම රන්මාලය ‘ඉමිටේෂන්’ එකක් බවට තහවුරු වී ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
මහ බැංකුවේ හොරකමක්
(11.04.2023 – 17:56 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවක තිබුණු යම් මුදලක් අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග පවසනවා.
රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් මෙසේ අස්ථාන ගත වී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවේ නිලධාරින් කිහිප දෙනෙක් කොටුව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට අද (11) දහවල් පැමිණ ඇති අතර පසුව තවදුරටත් පරික්ෂා කර බලා එන බව පවසමින් ඔවුන් පොලිසියෙන් ආපසු ගොස් තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළා.
මේවන වන විට බැංකුවේ ආරක්ෂක අංශ සහ කොටුව පොලිසිය එක්ව සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි මහ බැංකුවේ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ ෴
MV X Press Pearl නෞකා අනතුර සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්
(11.04.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)
MV X Press Pearl නෞකා අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතට අනුව අපරාධ නීතියට යටතේ නෞකා හිමිකරුට හෝ මෙහෙයුම්කරුට හෝ ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයින්ට නඩු පැවරීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ලබා දී තිබෙනවා.
ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අපරාධ නීතිය යටතේ අධිකරණයේ නඩු පවරා ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.
මෙම නෞකා අනතුර හේතුවෙන් පරිසරයට සිදු වූ හානි තක්සේරු කිරීමේ කටයුතු සිදු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජිතයින්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කළ අතර එලෙස පත් කරන ලද විද්වත් කමිටුව මගින් පරිසර හානි ගණනය කර, දෙවැනි (2) පරිසර හානි වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත පසුගිය ජනවාරි මස 13 වැනිදා භාර දීමට කටයුතු කර තිබුණා.
මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති නීතිඥ අසේල බී. රැකව ගේ ඉල්ලීම මත අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිතුමා ප්රමුඛව නිලධාරී මඩුල්ලක්, මෙම ක්ෂේත්රයේ පළපුරුද්ද හා නිපුණතාවය ඇති වෙනත් නීතිඥවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පසුගිය 06 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ දී පවත්වා තිබුණා.
එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ, නැව් සමාගම විසින් එක්සත් රාජධානියේ අධිකරණයකින් ලබා ගෙන ඇති වන්දි සීමා කිරීමේ නඩුකරය පවුම් මිලියන 19 ක උපරිම වන්දියක් වශයෙන් තීරණය කරමින් නියෝගයක් ලබා ගෙන ඇති බවයි.
එමෙන්ම ප්‍රථමයෙන්ම කළ යුත්තේ එකී නඩු කටයුත්තට සහභාගී වෙමින් එකී තීන්දුව වෙනස් කර ගැනීම සඳහා කිරීම බවත් එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
සමෘද්ධියේ අවුරුදු උත්සව අවුල තවමත්
(11.04.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)
සමෘද්ධි බැංකු 1089 ක් මුල් කරගනිමින් දිවයින පුරා පැවැත්වීමට නියමිත අවුරුදු උත්සව කිසිවෙකුටත් වැරදි දෙයක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.
කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ඇතැම් සමෘද්ධි වෘත්තිය සමිති සිදුකරන ඉල්ලීම් සදහා මේ වන විටත් ආණ්ඩුව විසදුම් ලබා දෙමින් සිටින බවයි.
ලබන 22 වැනිදා දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු විසින් ඒ ඒ ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එම අවුරුදු උත්සව පැවැත්වීම සදහා ඉඩ නොතබන බවයි වෘත්තිය සමීති ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වීමට නියමිත සමෘද්ධි සංගම් පවසන්නේ.
සමෘද්ධි ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව අද (11) කුරුණගල දී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ අලුත් අවුරුදු ගනුදෙනු සදහා ලබන 15 වැනිදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකි සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
සමෘද්ධි නිලධාරින්ගේ මෙතෙක් නොවිසඳුනු ගැටලු 06 ක් මුල්කරගනිමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි එම එකමුතුවේ සම කැඳවුම්කරු අනුර බණ්ඩාර ආරියරත්න කියා සිටියේ.
කෙසේ වෙතත්, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ලබන 22 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති අවුරුදු උත්සවය කිසිවෙකුටත් කඩාකප්පල් කළ නොහැකි බවයි.
+
පාසල් බෑග් සහ සපත්තු මිල කඩිනමින් පහත දැමීමේ තීරණයක්
(11.04.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)
පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මුදල් අමාත්‍යාංශයේ දී අද (11) පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිල දී ගැනීමේ දී මාපියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ බෑග් සහ සපත්තු මිල පහළ යා යුතු බව පවසන අමාත්‍යවරයා ඒ පිළිබඳව සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ද වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා නියෝග කළා.
එසේ මිල පහළ යාමක් සිදු වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත් කර මිල අඩු කිරීමට පිළියමක් යොදන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ෴
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ගැන සරසවි ඇදුරන්ගේ අවසන් තීරණය අද (11) රාත්‍රියේ
(11.04.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම්වලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න අද (11) පස්වරු 8 ට පැවැත්වෙන සාකච්ඡාවේ දී තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ අද (11), සම්මේලනයේ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වන බවයි.
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු මස 09 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළා.
මේ අතර, ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල ශක්තිමත්වීමත් සමඟ පාසල් දරුවන්ගේ පාසල් බෑග් ඇතුළු උපකරණවල මිල අඩු කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කොළඹ අද (11) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
+
අලුත් අවුරුද්දට අමතරව බස් රථ 300 ක් ධාවනයට එක්කිරීමට පියවර
(11.04.2023 – 21:07 +0530 – hirunews.lk/sinhala)
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා මේ වන විට ක්‍රියාත්මකයි.
ඒ අනුව දෛනික ධාවනය කරනු ලබන ලංගම බස් රථ සංඛ්‍යාවට අමතරව බස් රථ 300 ක් ධාවනයට එක්කිරීමටයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.
එය එළැඹෙන 18 වැනිදා දක්වාම ක්‍රියාත්මක අතර අලුත් අවුරුදු දිනයේ දී මගී ඉල්ලුම අනුව බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර හෙට (12) දිනයේ දී මගීන්ගේ යම් තදබදයක් ඇති වුවහොත් අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
එමෙන්ම ගම්බිම් බලා යන දුම්රිය මගීන් සඳහා ද විශේෂ දුම්රිය කිහිපයක් එළැඹෙන 17 වැනිදා දක්වා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
13 සහ 14 යන දෙදින ද සති අන්තයේ ධාවනය වන සාමාන්‍ය දුම්රිය පමණක් ධාවනයට එක්කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අවුරුදු උදාවට දින තුනක් (3) ඉතිරිව තිබියදී බොහෝ නගර ජනතාවගෙන් පිරි ඉතිරී ගොස් තිබුණා.
කෙසේ වෙතත් උත්සව සමයේ වෙළදපළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1500 කට ආසන්න වී ඇති බව පාරිභෝගිකයින් පවසනවා.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹදී අද (11) මාධ්‍යයට අදහස් දක්වමින් ඉල්ලා සිටියේ කුකුළු මස් මිල ගණන් විශාල අගයකින් ඉහළ නොදමන ලෙසයි.
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උත්සව සමයේදී 1700 කට ආසන්න විවිධ වැටලීම් රැසක් සිදුකර ඇති බවයි කොළඹ අද (11) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ.
එමෙන්ම රාත්‍රි කාලයේ බිත්තර වැඩි මිලට අලෙවිකරන පිරිස් වැඩි වශයෙන් නිරීක්ෂණය වී ඇති බැවින් ඒවා වැටලීම් සඳහා රාත්‍රි කාලයේදී ද නිලධාරින් යොදවා ඇති බවයි ඔහු කියා සිටියා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴