ගෑණු වෙස් ගත් පිරිමියාගේ facebook කප්පම් සෙල්ලම

ගෑණු වෙස් ගත් පිරිමියාගේ facebook කප්පම් සෙල්ලම


ගෑණු වෙස් ගත් පිරිමියාගේ facebook කප්පම් සෙල්ලම

(11.04.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala)

රූමත් තරුණියකගේ අඩ නිරුවත් ඡායාරූපයක් භාවිතා කරමින් මුහුණු පොතේ ව්‍යාජව සකසාගත් ගිණුමක් මඟින් පුද්ගලයෙකු රවටා කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කල අයෙක් කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමෙහි සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා තරුණියක් ලෙස එම ව්‍යාජ ගිණුම හරහා කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් ගෙන ගොස් ඇති අතර, එහිදී ඔහුගේ නිරුවත් ඡායාරූපද එම ගිණුම වෙත ගෙන්වා ගෙන තිබෙනවා.

ඉන්පසු මෙම පුද්ගලයා විසින් එම කටාන පදිංචි පුද්ගලයාට තමා හමුවීම සඳහා පැමිණෙන ලෙස පවසා කොළඹට නුදුරු ප්‍රදේශයකට ගෙන්වා ගෙන තිබෙන බවත්, එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) සමග පැමිණි ප්‍රධාන සැකකරු මෙම පුද්ගලයාව බිය ගන්වා ඇත්තේ ඔහුගේ අඩනිරුවත් ඡායාරූප බිරිඳටත් පවුලේ පිරිසට සහ සමාජ මාධ්‍යට මුදා හරින බවටයි.

එසේ නොකිරීමට නම් රුපියල් 50,000 ක මුදල් ලබා දෙන ලෙස පවසා ඔහුගෙන් එම අවස්ථාවේ දී එම මුදල ලබාගෙන ඇති බව සඳහන්.

ඉන්පසුවත් නැවත නැවත ඇමතුම් ලබා දෙමින් සැකකරු තර්ජනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දෙන ලෙසටයි.

කටාන පදිංචි මෙම පුද්ගලයා මේ සම්බන්ධයෙන් කටාන පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසිය පැවසු පරිදි සැකකරුට මුදලින් ලක්ෂ 10 ක් ලබා දෙන බවට පොරොන්දු වී ඔහුට මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

එහිදී සැකකරු විසින් මුදල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


පැරඩයිස් වැවේ මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

(11.04.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර කුරුවිට පැරඩයිස් වැවේ සිදුකරගෙන යන මහා පරිමාණ මැණික් ජාවාරමක් ගැන ලැබුණු තොරතුරක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඇතුළු 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

එහිදී නීති විරෝධී ලෙස පැරඩයිස් වැවේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය මැණික් පතල් කැණීමේ නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් රු. 5000 ක දඩයක් නියම කිරීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා.

ඔවුන් සතුව තිබී පතල් කැණීමට යොදාගන්නා උපකරණ රැසක් සොයාගත් අතර එම උපකරණ වල වටිනාකම රුපියල් කෝටියකට (1,00,00,000) අධික බවයි පොලිසිය පවසන්නේ.

මැණික් පතල් කැනීමේ කාර්යයට යොදා ගන්නා මෙම උපකරණ වලට අධික ලෙස විදුලිය අවශ්‍ය වන බවත්, ජාවාරම්කරුවන්ට විදුලිය සපයා ගෙන ඇත්තේ වැව අවට නිවෙස් වලින් බවත් එහිදී හෙළිවී තිබෙනවා ෴


“යල මහට තවත් තුන්වන කන්නයක් වගා කිරීමට පියවර ගන්නවා” – මහින්ද අමරවීර

(11.04.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

යල මහ කන්නයන්ට අමතරව ඉදිරියේදී තුන්වන (3) කන්නයක් වගා කිරීමටද පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයී.

එහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළ සිටියේ, අප්‍රේල් මස 20 වැනිදා පෙරවරු 06:38 ට යෙදෙන සුබ මොහොතින් රට පුරා පැළ ලක්ෂ ගණනක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

එම වැඩසටහනේ තේමාව වන්නේ, ‘නැකතට පැළයක්’ යන්නයි ෴


පළාත් පාලන මැතිවරණය දෙවන වරටත් කල් යයි

(11.04.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ලබන 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන (2) වරටත් දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙලෙස ඡන්දය කල්දැමීමට සිදුවන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු කටයුතු සඳහා ලබාදෙන තීරණය මත යළි ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති.

ඒ අනුව එය මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් තීරණය කරනු ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

+


අලුත් අවුරුද්දේ රස කැවිලි මිල ඉහළට

(11.04.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයත් සමග වෙළදපලේ රසකැවිලි මිල ගණන් ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම අලු‍ත් අවුරුද්දේ චාරිත්‍ර ඉටු කිරීම සදහා යොදා ගනු ලබන බුලත්වල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි වෙළදපල ආරංචි මාර්ග සදහන් කළේ.

රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවූ බව රසකැවිලි නිෂ්පාදකයින් සඳහන් කළා.

ඒ අනුව පෙර වසරවල රුපියල් 40 ත් 60 ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60 ත් 100 ත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කොකිසයක මිල ද රුපියල් 30 දක්වා සහ ආස්මියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

එමෙන්ම පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඒ සඳහා යොදාගන්නා උදු පිටිවල මිල ඉහළ යාම හේතුවෙන්.

අලු‍ත් අවුරුදු චාරිත්‍ර සදහා යොදා ගනු ලබන බුලත් අතක මිල ද රුපියල් 320 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද වැටලීම්වලින් ආහාර පනත උල්ලංඝණය කළ වෙළඳසැල් 3,000 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දක්වා සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරික ස්ථාන 1,660 කට නිතිමය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අවුරුදු සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළා.

ප්‍රධාන නගර ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පවතින අතර අවිධිමත් ලෙස රථවාහන නතර කිරීම ඊට හේතුව බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

+


ඇමරිකානු නැවට රිංගූ තරුණයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

(11.04.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබූ ඇමරිකානු නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී පැනයමින් සිටිය දී අත්අඩංගුවට ගත් තරුණයින් 04 දෙනා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 25 සහ 32 අතර වයස්වල පසුවන යාපනය සහ මුලතිව් ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිව් (4) දෙනෙක්.

අදාළ නෞකාව පසුගිය මස 24 වැනිදා කොළඹ වරායට පැමිණ තිබූ අතර ඊට පසුදින එය යුරෝපය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

පසුව ඊජිප්තුවේ සූවස් ඇළ වෙත ඇතුළු කර තිබිය දී නෞකාවේ සාමාජිකයින් නොදන්නා පුද්ගලයින් සිව් (4) දෙනෙකු සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය මව් සමාගමට දැනුම් දී තිබෙනවා.

අදාළ තරුණයින්ගේ හැදුනුම්පත් පරික්ෂා කිරීමේ දී ඔවුන් ශ්‍රී ලාංකිකයින් බවට තහවුරු කරගත් නෞකා සාමාජිකයින් ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් ගන්නා වෙනත් නෞකාවක් වෙත මෙම තරුණයින් භාර දී ඇත්තේ පසුගිය මස 28 වැනිදායි.

පසුව ඊයේ (10) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාව, පොලිසිය සහ වරාය අධිකාරියේ නිලධාරින් පිරිසක් විශේෂ යාත්‍රාවකින් එම නෞකාව අසළට ගොස් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

තරුණයින්ගෙන් එක් (1) අයෙකු විවාහකයෙකු වන අතර මොවුන් ‘කොළඹ වරායේ ඉංජිනේරු සේවා සපයන ආයතනයක’ නමින් වරායට ඇතුළු වීමේ අවසරපත් රැගෙන ඇති බව පරීක්ෂණවල දී හෙළීවී තිබෙනවා.

එසේම පසුගිය මස 25 වැනිදා අලුයම මෙම පිරිස නෞකාවට ඇතුළු වී ඇත්තේ කම්කරුවන් පළදින කබාය සහ හිස් ආවරණ සහිතවයි.

නෞකාව තුළ මොවුන් සොයාගන්නා අවස්ථාවේ මෙම තරුණයින් නිරාහාරව සිට ඇති අතර පසුව කාර්ය මණ්ඩලය ඔවුන්ට ආහාර සහ නවාතැන් සපයා දී තිබෙනවා.

කෙසේ වෙතත් මොවුන්ට කොළඹ වරයාට සහ නෞකාවට ඇතුළු වීමට උපකාර කළ පුද්ගලයින් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++

නෞකාවට අනවසරයෙන් ඇතුළු වූ තරුණයින් සිව් (4) දෙනා රිමාන්ඩ්

(11.04.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ඇමරිකානු නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී විදේශ රටකට පලායාමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන යළි දිවයිනට රැගෙන ආ තරුණයන් 04 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් අද (11) ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

එම සැකකරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් අතර, ඉන් අනතුරුවයි ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ ෴


අප්‍රේල් පළමු (1) සතිය තුළ සංචාරකයින් 26,912ක් මෙරටට

(11.04.2023 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ පළමු (1) සතිය තුළ සංචාරකයින් 26,912 ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව, ජනවාරි සිට ඊයේ (11) දිනය දක්වා මෙරටට පැමිණ ඇති මුලු සංචාරකයින් ගණන 360,591 ක්.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 6,619 ක් බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

අනතුරුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, එංගලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් ෴


‘බූරු මූණා’ට පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උපකාර කෙරූ හතරක් යළි රිමාන්ඩ්

(11.04.2023 – 17:00 +0530 – hirunews.lk/sinhala)

පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිඳු සංඛ’ හෙවත් ‘බූරු මූණා’ට කටුනායක ගුවන් තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට ආධාර අනුබල ලබාදීම සහ රැකවරණ සැළසීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් හතරදෙනෙකු මේ මස 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ හමුවට අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සිද්ධියට අදාළව ශ්‍රමණවේශධාරීන් දෙදෙනා (2) ඇතුලු සැකකරුවන් අටදෙනෙකු (8) අත්අඩංගුවට ගැනුනු අතර, ඉන් සිව්දෙනෙකුට (4) පසුගියදා ඇප ලබාදුන්නා ෴


නව සීමා නිර්ණ වාර්තාවෙන් පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව 4,714 දක්වා අඩු කෙරේ

(11.04.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභිකයන් සංඛ්‍යාව 4,714 ක් දක්වා අඩු කර තිබෙනවා.

සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ මීට පෙර පළාත්පාලන ආයතන සඳහා සභිකයින් 8,356 දෙනෙකු තේරී පත්ව සිටි බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *