පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුතුමියක් කපා කොටා ඝාතනය කෙරේ

පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුතුමියක් කපා කොටා ඝාතනය කෙරේ


පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුතුමියක් කපා කොටා ඝාතනය කෙරේ

(07.04.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය – කොබ්බෑකඩුව ප්‍රදේශයේ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අද (07) පෙරවරුවේ මෙම පහරදීම සිදු කර ඇති අතර, පහරකෑමට ලක් වූ කාන්තාව රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මියගිය තැනැත්තිය වෘත්තියෙන් පෙර පාසල් ගුරුවරියක් බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ තරුණිය කොබ්බෑකඩුව – ගිනිහේන ප්‍රදේශයේ සිය සේවා ස්ථානය වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.

මෘත දේහය ඉලුක්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තැන්පත් කර ඇති අතර, ඝාතකයින් සොයා පේරාදෙණිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

+


අග්බෝපුර දී දුම්රියක් පීලිපැන 16 ක් රෝහලේ

(07.04.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් 16 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (07) දහවල් 12:30 ට පමණ ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර ප්‍රධාන දුම්රිය නියාමකවරයා සහ උප නියාමකවරයා ද වනවා.

මෙම දුම්රිය අනතුර හේතුවෙන් මේ වන විට ත්‍රිකුණාමලය සහ අග්බෝපුර අතර දුම්රිය ධාවනය ඇනහිට ඇති අතර දුම්රිය පීලිගත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+

+

+

+


රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ලබන සඳුදා (10)

(07.04.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අතින් වැටී තිබූ තැනින් ඉහළට යාමට සුදුසු මාවතට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව සහතිකයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසියානු සංවර්ධන බැංකුව විසින් එළි දැක්වූ අප්‍රේල් මස වාර්තාවේ ඒ බව සඳහන් කර ඇති බවයි.

එමෙන්ම මේ මස රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ලබන සඳුදා ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ෴


ගජමුතු ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

(07.04.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල ගල්කඩුව ප්‍රදේශයේ දී ඊයේ (06) පස්වරුවේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස ගජමුතු 05 ක් තම සන්තකයේ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පස්සර පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල පොලිසිය වෙත භාර දී තිබෙනවා ෴


වන අලින් ගම්වැදීමෙන් වගා රැසකට හානි

(07.04.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

තම ගම්මානයට පැමිණෙන වන අලි සිය වගාවන්ට හානි සිදුකිරීම හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ දී ඇති බව අනුරාධපුර – ගලෙන්බිඳුණුවැව – රිටිගල වනජීවි කලාපයට අයත් කන්නිමඩුව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

මේ හේතුවෙන් කෙසෙල්, පොල්, වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා සහ මඤ්ඤොක්කා වගාවලට හානි සිදුව ඇති බවයි ඔවුන් කියා සිටියේ ෴


සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කරයි

(07.04.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර මත ක්‍රියාත්මක රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහලය මත සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් පවත්වා තිබෙනවා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී.

සූර්ය පැනල සවි කිරීමට මේ වන විට හදුනාගෙන ඇති ගොඩනැගිලි යටතට ජාතික පාසල්, විශ්වවිද්‍යාල, ගුරු විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, පොලිස් ස්ථාන මෙන්ම සියලු ආගම් නියෝජනය කරන ආගමික සිද්ධස්ථාන යනාදිය තෝරාගෙන තිබෙනවා.

එම ගොඩනැගිලිවල මැනුම් කටයුතු 90% ක් අවසන් කර ඇති බවයි එහිදී හෙළිව ඇත්තේ ෴


උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම ගැන නිවේදනයක්

(07.04.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙම වසරේ ජුනි මස 04 වැනි දින එක්තරා ගුරු සංගමයක් මගින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පළ කළ අදහස් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත්‍ර කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ මුළු අවශ්‍යතාව වන 190,000 ක් පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000 ක් පමණක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පසුබිම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර උත්තර පත්‍ර ලකුණු කිරීමට දෙනු ලබන ගාස්තුවට අමතරව දිනකට ගෙවනු ලැබූ රුපියල් 500 ක සංහෘත දීමනාව රුපියල් 2000 ක් දක්වා වැඩි කිරීමටත් කිලෝමීටර් 81 ට වැඩි දුරක සිට උත්තර පත්‍ර ඇගයීමට පැමිණෙන ගුරුවරුන් සඳහා එම සංහෘත දීමනාව රුපියල් 2900 ක් දක්වා වැඩි කර දීමටත් අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපාදන ද ලබා ගත්තා.


තන්තිරිමලේදී බස් රථයක් සහ තිරික්කල් 5 ක් ගැටෙයි

(07.04.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

තන්තිරිමලේ වැව් බැම්ම මතදී බස් රථයක් සහ තිරික්කල් 5 ක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

මෙලෙස අනතුරට පත් වූ බස් රථය මන්නාරමේ සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා පුද්ගලයන් පිරිසක් රැගෙන ගොස් තිබෙන අතර එම බස් රථයේ ගැටුණු තිරික්කල් මඩු වන්දනාවේ යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරෙන් ළමයෙකු (1) ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අනතුරෙන් අසළ සිටි ගවයින් 4 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

එබැවින් බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


බෞද්ධ පුරාවිද්‍යා උරුමය සංහාරය කිරීමට සැරසෙන උතුරේ අන්තවාදීන්ට එරෙහිව සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී හඬ නගයි

(07.04.2023 – 09:43 +0530 – lankaleadnews.com)

රට තුළ ජීවත්වන ජාතීන් අතර ප්‍රශ්න ඇති කිරීමෙන් සංවර්ධනයක් ඇති කළ නොහැකි බවත්, ජාතීන් අතර මතභේද ඇති කරවන සිදුවීම් දැන් දැන් උත්සන්න වෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පවසයි.

විශේෂයෙන් වඩුන්නාගල ප්‍රදේශයේ ඓතිහාසික බෞද්ධ උරුමය විනාශ කිරීමට එහි ශිව දෙවියන්ගේ කෝවිලක් ස්ථාපනය කිරීමට ජාතිවාදීන් විසින් උත්සාහ දරන බව ද, 1970 දී සෙනරත් පරණ විතාන මහතා මෙම ස්ථානයේ වූ ලෙන් විහාරවල පැරැණි බ්‍රාහ්මීය අක්ෂර කියවා එම සිථානය බෞද්ධ ශිෂ්ටාචාරයක නටබුන් ඇති ස්ථානයක් බව නම් කළ බවද, ඒ මහතා පෙන්වා දෙයි.

1940 අංක 09 දරන පුරාවිද්‍යා අඥා පනත අනුව 1815 ට වැඩි ඓතිහාසික උරුමයක් ඇති ස්ථාන සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බව සම්මත වී ඇති හෙයින් මෙම උරුමයන් විනාශ කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැති බවද සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

2018 වසරේ දී මෙහි බ්‍රාහ්මීය අක්ෂර විනාශ කර, ලෙන් විහාරවලට පස් දමා පුරවා කැලයට ගිනිතබා ඇති බවත් ඒ මහතා පවසයි.

වව්නියාව උතුරේ ප්‍රාදේශීය ලේකම් නොකඩවා මෙහි කෝවිලක් ඉදිකිරීමට ඉල්ලීම් කළද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඊට ඉඩ ලබාදී නොමැති බවත්, 2020 වසරේදී නැවතත් මෙහි බ්‍රාහ්මීය අක්ෂර විනාශ කර පුරාවිද්‍යා පුවරුවද ගලවා දමා ඇති බවත්, මෙය ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවත් ඔහු හෙළිකරයි.

මීට මාස කිහිපයකට පෙර කුරුන්දි විහාරයේ ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ බවත්, වසර 2000 ක පමණ බෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන කුරුන්දි විහාරයද මෙම අන්තවාදීන්ගේ ග්‍රහනයට හසුවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි ෴


“අඩුවට දෙන්නේ නැහැ” – බේකරි නිෂ්පාදකයෝ පවසති

(07.04.2023 – 21:05 +0530 – hirunews.lk/sinhala)

බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන ලෙස කරන ඉල්ලීම සාධාරණ නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් එයට හේතුව ලෙස දක්වන්නේ, ආනයනය කළ බිත්තර රට පුරා සිටින සියළුම බේකරි හිමියන්ට නොලැබීම නිසා.

එහි සභාපති.එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ, තෙල් මිල, ගෑස් මිල ඇතුළු වෙළඳ භාණ්ඩ වල මිල ගනන් අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබා දීම කටයුතු කරන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

ඒ ජා-ඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර වෙළඳුන් පවසන්නේ, උත්සව සමයේදී වෙළඳපලේ භාණ්ඩ මිල ගණන්වල ඉහළයාමක් පවතින බව පාරිභොගිකයන් සඳහන් කරන අතර වෙළඳාමේ අඩුවක් පවතින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *