අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන්

අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන්


අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන්

(02.03.2026 – 15:23 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට ගැසට් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වනු ඇත.

ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීම යන කාර්යයන් සඳහා එය ඉදිරිපත් කළ යුතුය.

+++

https://www.ird.gov.lk/


ධම්මරාජ මහා බෝසතානෝ මාස 2½ කට පසු අද (03) නැවතත් ඔබ හමුවට :
රටට ඇයි නොසිතූ ප්‍රශ්න එන්නේ? ප්‍රසිද්ධ කෝටිපති රූමතියගේ සහ මේ ෆොටෝ වල සිටින අයගේ පෙර පසු ජීවිත කතාව (03.03.2026)

  • ඩඩ්ලි සිරිසේන මහතා මහා ධනවතෙකු වීමට බලපෑ අතීත කුසල කර්ම ගැන,
  • ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ කීර්තිය සහ එතුමාගේ අකල් මරණයට හේතුවූ අකුසල කර්මය ගැන,

‘ධම්මරාජ මහා බෝසතානෝ’ (ලසන්ත බණ්ඩාර මහතා) තොරතුරු හෙළිකරති. (03.03.2026)


මගියෙක් හප්පා රෝහලේ රෝද පුටුවක දමා පලාගිය ලොරි රියැදුරු කොටුවෙයි – අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ මගියා දැඩි සත්කාර ඒකකයේදී මියයයි

(03.03.2026 – hirunews.lk)

අංගොඩ ප්‍රදේශයේදී මගියෙකු ලොරි රථයක ගැටී අනතුරට පත්කර, ඔහු රෝහලේ රෝද පුටුවක වාඩි කරවා පලාගිය බව කියන රියැදුරෙකු දින තුනකට (3) පසු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

අනතුරින් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මගියා ඊයේ (02) මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය 25 වැනි දින රාත්‍රී 7 ට පමණ අංගොඩ ගැට්ටේ පන්සල ආසන්නයේදී පාර මාරු වෙමින් සිටි මෙම පුද්ගලයා ලොරි රථයක ගැටී තිබූණා.

එම අවස්ථාවේදී ලොරියේ රියැදුරු විසින් තුවාලකරු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, ඔහුව රෝහලට ඇතුළත් කිරීමට පියවර නොගෙන රෝද පුටුවක වාඩි කර තබා රහසිගතව පලා ගොස් තිබු බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

රෝද පුටුවේ සිටි පුද්ගලයා හඳුනාගත් අයෙකු ඒ පිළිබඳව ඔහුගේ නිවසට දැනුම් දී ඇති අතර, වහා රෝහලට පැමිණි ඔහුගේ සහෝදරිය විසින් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

සිරුරේ බාහිර තුවාල දක්නට නොතිබුණ ද අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහුව එදිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේ සිටි අසල්වැසියෙකු විසින් සටහන් කරගෙන තිබූ ලොරි රථයේ අංකය මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් සොයාගෙන පොලිසියට ලබා දී තිබූ බවත්, එම අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ රථවාහන අංශය මගින් පසුගිය ඉකුත් 01 වැනිදා සැකකාර රියැදුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් පොලිසිය සඳහන් කළා ෴


මැදපෙරදිග අර්බුදයෙන් තැපැල් කටයුතුවලටත් බාධා

(03.03.2026 – hirunews.lk)

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙරටින් එම කලාපය වෙත සහ විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේදී ප්‍රමාදයක් පවතින බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.

කොළඹ අද (03) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය සිකුරාදා සිට භාරගත් භාණ්ඩ ද මේ වන විටත් යැවීමට නොහැකි වී ඇති බවයි ෴


මෙරට සිටින විදේශිකයින් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙලක් – අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සහාය

(03.03.2026 – hirunews.lk)

ගෝලීය වශයෙන් උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙරට පිහිටි තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල සහ මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙරට සාමය පවත්වාගෙන යාමට බාධා වන සිදුවීම් වැළැක්වීම අරමුණු කරගනිමින් නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව අනුව, තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල, ඒවායේ නිල නිවාස සහ එම ආයතනවලට සම්බන්ධ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට වහාම වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

මීට අමතරව, මෙරට සංචාරයේ නියුතු සහ රැඳී සිටින විදේශිකයන්ගේ මෙන්ම ඔවුන්ගේ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

විදේශිකයන් රැඳී සිටින වාසස්ථාන, ව්‍යාපාරික ස්ථාන, සංචාරක ගමනාන්ත, නේවාසික ගොඩනැගිලි සහ ආගමික මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වැඩිදුරටත් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ ගුරු උපදේශකට ඇප

(03.03.2026 – hirunews.lk)

රුපියල් 50,000 ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ එම කාර්යාලයට අනුයුක්ත ගුරු උපදේශකවරයා රු. ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සේවය හැර ගොස් සිට නැවත සේවයට එක් වූ පුද්ගලයෙකුගේ පත්වීම් කාලය දීර්ඝ කර දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ.

අදාළ පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීම මෙම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් දැන්වුවා.

අත්අඩංගුවට ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා ෴


ඩීසල් ලීටර් 1400 ක් ළඟ තබාගත් ව්‍යාපාරිකයාට දඩ : තෙ‍ල් තොගය රාජසන්තකයි

(03.03.2026 – hirunews.lk)

අනවසරයෙන් ඩීසල් ලීටර් 1000 ක් විකිණීම සහ තවත් ලීටර් 412 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයෙකුට රුපියල් දහසක (1000) දඩයක් නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන අදාල ඩීසල් තොගය රාජසන්තක කිරීමට අද (03) නියෝග කළා.

රටේ පවතින ඉන්ධන හිඟය හමුවේ ඩීසල් සහ පෙට්‍රල් කෑන්වලට ලබාගෙන ගොස් වැඩි මිලට විකුණන බවට මල්වතුහිරිපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු සහ ඩීසල් තොගය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මෙහිදී සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමිත් සේනානායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ලොරි රථ දෙකක් (2) ඇතුළු වාහන කිහිපයක් හිමි ව්‍යාපාරිකයෙකු බවයි.

ඔහු දිනපතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු රැගෙන විත් විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමේ ප්‍රවාහන කටයුතුවල නිරත වන බැවින්, එම වාහනවල ප්‍රයෝජනය සඳහා මෙලෙස ඩීසල් තොගයක් නිවසේ තබාගත් බවත් ඔහු ඒවා වැඩි මිලට විකිණීමක් සිදු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

කෙසේ වුවද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට දඩ නියම කර ඉන්ධන තොගය රාජසන්තක කිරීමට නියෝග කළා.

මල්වතුහිරිපිටිය පොලිසියේ සැරයන් සරත් (32701) සහ සැරයන් ශාන්ත (49579) යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවූවා ෴


ජවිපෙ රැඩිකල්වාදය ‘ජූලි චංග්’ ගෙනිච්චද : මුජිබර් විමසයි

(03.03.2026 – hirunews.lk)

ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කිරීම සහ එරටේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම ගැන විරෝධය පල කර තිබෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව එම ආක්‍රමණය හෙළා දකිමින් ඊට විරෝධය පල කරමින් කිසිදු වචනයක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කිරීමට එරෙහිව ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඊට එරෙහිව යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව එය සම්මත කරාවි යන බලාපොරොත්තුවක් තමා තුළ තිබූ බවත් නමුත් එවැනි දෙයක් අද (03) දින සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය :

“ජනාධිපතිතුමා අද (03) පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කළේ තෙල් ටැංකියේ තියෙන තෙල් ප්‍රමාණය, එන නැව් සංඛ්‍යාව වගේ දේවල්. බලශක්ති ඇමතිට මේවා කියන්න පුළුවන්.

මේ තෙල් ටැංකියට බැස්ස ඇමතිතුමාටත් මේ දේවල් කියන්න පුළුවන්.

ඒ වගේම වෙළඳ ඇමතිට කියන්න පුළුවන් කරුණු, විදේශ ඇමතිට කියන්න පුළුවන් ප්‍රකාශ තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කළේ.

ජනාධිපතිතුමාට මේ අවස්ථාවේදී ජාත්‍යන්තරයත් එක්ක කරන්න පුළුවන් දේවල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න ඕන. එහෙම දෙයක් ප්‍රකාශ වුණේ නැහැ.

නමුත් ජනාධිපතිතුමා ඉතාමත්ම කපටි ලෙස ඉරානය ගැන කතා කරන එක මගහැරලා වෙන වෙන දේවල් ගැන කතා කළා.

එදා විපක්ෂයේ ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හැමදාම උද්ඝෝෂණය කළා.

ඒත් අද කෝ? එතකොට ‘ජූලි චංග්’ තානාපතිතුමිය ජනතා විමුක්ති පෙරමුණේ රැඩිකල්වාදය අරගෙන ගිහිල්ලද?

අද ඇමෙරිකානු අධිරාජ්‍යවාදය හමුවේ වර්තමාන මාලිමා ආණ්ඩුව නිහඬයි.

මේ අය ඒ සටන අද පාවලදීලා ඉවර බව රටම දන්නවා.

ඉරානයේ ආධ්‍යාත්මික නායකතුමා ඝාතනය කළ පසු ශෝකය පළ කරමින් නලින්ද ජයතිස්ස ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. ඉතින් ශෝකය පළ කරන්න අධ්‍යාත්මික නායකයා මැරුණේ පපුවේ අමාරුවක් හැදිලා නෙමෙයිනේ.

මේක ඝාතනය කිරීමක්නේ. ඒ නිසා කොන්ද පණ තියාගෙන විරෝධයක් පළ කරන්න දන්නේ නෑ.

මීට කලින් මේ රටේ හිටපු රාජ්‍ය නායකින් කොන්ද පණ තියාගෙන කටයුතු කරලා තියෙනවා.

අපිට මතකයි එවැනි අවස්ථා වලදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විදෙස් ප්‍රතිපත්තියේදී සෘජුභාවයෙන් කටයුතු කරලා තියෙනවා.

අගමැතිනිය ප්‍රකාශ කරලා තිබුණා වික්ටර් රත්නායක මහතාගේ ගීත අහල හුඟක් සංවේදී වුණා කියලා.

නමුත් මේ ඇමෙරිකානු, ඊශ්‍රායල් ප්‍රහාරයකින් ඉරානයේ ළදරු පාසලක දැරියන් එකසිය හැටක් (160) ඝාතනය වුණා. ඒ දැරියන්ගේ ඝාතන සම්බන්ධයෙන් සහ ඒ ගැන හෙළා දකිමින් අගමැතිනිය වචනයක්වත් ප්‍රකාශ කළාද?

මේ අය බලය ගන්න කලින් නම් හැමදාම පලස්තීන තානාපති කාර්යාලයට ගියා. බලය ගත්තට පස්සේ ඒ ගැන කිසිම කතාවක් බහක් නැහැ.” යනුවෙන්ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


සංගීත ප්‍රසංගයක් අතරතුර මියගිය තරුණයා සහ තරුණිය ගැන විවෘත තීන්දුවක්

(03.03.2026 – hirunews.lk)

කොළඹ වරාය නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර මියගිය තරුණයාගේ සහ තරුණියගේ මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී අද (03) සිදුකෙරුණා.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා එම මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර කුමන හේතුවක් නිසා ඔවුන් මියගියේ ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා පරීක්ෂණ වාර්තාවක් කැඳවීමට රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා.

පසුගිය 28 වැනිදා මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇති අතර තරුණයාගේ මළ සිරුර වරාය නගර මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පෙරේදා සොයාගෙන ඇති අතර තරුණියගේ සිරුර ඊයේ (02) දිනයේදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කළේ.

24 හැවිරිදි මියගිය තරුණයා යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර 29 හැවිරිදි තරුණිය ගම්පහ, උඩුපිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴


රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

(03.03.2026 – 17:38 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට අවශ්‍ය ආධාර කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව අදාළ සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

2021 වසරේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුට ඇප ලබා ගැනීම සඳහා ආධාර උපකාර කිරීමට බව සඳහන් කරමින් එම අදාළ සැකකරුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *