නව මහ බැංකු පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග

නව මහ බැංකු පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග


නව මහ බැංකු පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග

(07.04.2023 – 08:53 +0530 – lankaleadnews.com)

නව මහ බැංකු පනත් කෙටුම්පතේ ඇති වගන්ති 134 න් 46 ක් සඳහා තුනෙන් දෙකක (2/3) විශේෂ පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශයට පත්ව ඇතැයි යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඊයේ (අප්‍රේල් 06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඊට අමතරව එහි ඇතැම් වගන්ති මෙරට මූලික නීතියට සම්පූර්ණ පටහැනි බැවින් ඒවා ජනමත විචාරණයක් මගින් අනුමත විය යුතු යැයි ද පවසා ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එහෙත් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොකළ බවත්, එම නඩු තීන්දුවවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු නොකළ බවත් ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

මෙම පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානක බව ද මෙම පනත මඟින් මෙරට ආර්ථිකය බිඳ වැටෙන බව ද මෙම පනත වහා ම අවලංගු කර රජය වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දුන් ප්‍රතිඥාවට අනුව නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද කුමාරතුංග මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේ ය ෴

++++++++

04-04-2023

++++++++

06-04-2023

විදෙස්ගත ශ්‍රමික මුදල් ආදායම ඩොලර් මිලියන දහස (1000) පනී

(07.04.2023 – 07:59 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 568 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ 2023 ජනවාරි සිට මාර්තු මස දක්වා මෙරටට ලැබුණු ශ්‍රමික ආදායමේ අගය ඩොලර් මිලියන 1,413.2 ක් වන බවයි.

තවද විදේශ ශ්‍රමිකයින් පසුගිය මාසයේ මෙරටට එවූ විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 368.3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක ඉහළ යාමක්.

ගිය වසරේ මාර්තු මාසයේ දී විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා තිබූ විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 318.4 ක් ෴


භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක්

(07.04.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවා තිබෙනවා.

ගැසට් පත්‍රයක් මගින් එම භාණ්ඩ වර්ග මොනවාද යන්න නම් කර ඇති අතර අදාල ආනයන තහනම එලඹෙන ජුනි 01 දා සිට බලපැවැත්වෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

මෙලෙස තහනම් කරන භාණ්ඩ වර්ග අතරට එක් වරක් පමණක් භාවිත කල හැකි භාණ්ඩ වර්ග කිහිපයක් ලෙස බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල්මාල ආනයනය ද තහනම් බව අදාල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තහනම නොතකා මෙම භාණ්ඩ ජූනි මස 01 වනදායින් පසු වරාය සහ ගුවන් තොටුපල හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළහොත් ආනයනය කළ දිනයේ සිට දින 30 ක් ඇතුළත ඒවා ප්‍රති අපනයනය කළ යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා ෴


පුංචි ඡන්දයට තරඟ කරන්න නිවාඩු ගත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

(07.04.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදෙන ලද රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක විසින්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට නාමයෝජනා ලබාදී වැටුප් රහිත නිවාඩු මත සිටින රාජ්‍ය නිලධාරීන්ට පසුගිය මාර්තු 09 වනදා සිට මේ මස 25 වනදා දක්වා වූ කාලය වැටුප් සහිත නිවාඩු ලෙස සලකා, ඔවුන්ට හිමි මූලික වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසයි එහි දැක්වෙන්නේ ෴

+


රාජ්‍ය සේවා කොමිසම පත් කෙරේ

(07.04.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී සනත් ජයන්ත එදිරිවීර පත්කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස 06 දෙනෙකු ද පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, එන්.එච්.එම්. චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන්, රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අගම්පොඩි දමිතා නන්දනීද සොයිසා, රංජනී නඩරාජපිල්ලෙයි සහ චන්ද්‍රරත්න පල්ලේගමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා ෴


මෙරට සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතියට ලෝක බැංකුවේ ප්‍රසාදය

(07.04.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුවේ නියෝජිතයින්ගේ ප්‍රසාදය පළව තිබෙනවා.

ඒ, එම නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (06) පැවැති අවස්ථාවේදීයි.

මෙහිදී පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන වැනි මෙරට ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා ෴


උත්සව සමයේ ප්‍රමිතියෙන් තොර ආහාර වැටලීම්වලට නිලධාරීන්

(07.04.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමය ඉලක්ක කර අප්‍රේල් මස 25 වනදා දක්වා දිවයින පුරා ආහාර පරීක්ෂා කිරීමේ වැටලීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ඒ සඳහා නිලධාරීන් 3,200 ක් පමණ යොදවා ඇති බවයි ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට එරෙහිව නඩු පැවරීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපය යි

(07.04.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී අනතුරට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට එරෙහිව නඩු පැවරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් බව පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වුණා.

ඒ, ඊයේ (06) එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ අවස්ථාවේ දී යි.

කාරක සභාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂද එක්ව සිටි අතර, ඊට අමතරව නෞකාවෙන් සිදුවූ පරිසර හානිය තක්සේරු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් සහ ධීවර අමාත්‍යාංශවල නිලධාරීන්ද එක්ව සිටියා.

මෙහිදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති පරිදි නඩු පැවරීම සිංගප්පූරුවේ සිදුකිරීම අවාසි සහගත බව ඊට එක්ව සිටි පරිසරවේදීන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් කරුණු දැක්වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට අනතුරට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදලක් ලබාගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද මෙහි දී අනාවරණ වුණා.

ඒ අනුව නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව එහිදී කියා සිටියේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළේ අදාළ වාර්තාව ඇසුරින් අදාළ වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවයි.

ඒ අනුව නඩු පැවරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්ද ඊයේ පවත්වා තිබෙනවා.

ඊට නීතිපතිවරයා ඇතුළු නීතිඥවරුන් පිරිසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ ෴

+


උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න පොලිසියට ‘ටෙස්ට් කිට්’ 1,67,000 ක්

(07.04.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ බීමත් රියදුරන් හඳුනාගන්නා ටෙස්ට් කිට් 1,67,000 ක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ඉන් 70,000 ක් පමණ මේ වනවිට බෙදාහැර අවසන් බවයි.

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සහ අනතුරු වළක්වාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද පොලිසිය ක්‍රියාවට නංවා තිබෙනවා.

මේ අතර අලුත් අවුරුදු සමයේ විෂ මත්ද්‍රව්‍ය සහ සූදුපොළවල් වැටලීම් සඳහා සෑම පොලිස් ස්ථානයකම වෙනම කණ්ඩායමක් සූදානම් කර තබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා ෴


සියලු කෘෂි නිලධාරීන්ට දීර්ඝකාලීනව විදේශ ගතවීමට අවසර නැහැ

(07.04.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අංශයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝකාලින විදෙස්ගත වීම්වලට අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරීන් මෙම තීරණයට යටත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක පුරප්පාඩු රැසක් මේ වනවිට උද්ගතව තිබෙනවා.

මෙම තත්වය තුළ අත්දැකීම් බහුල නිලධාරීන් දීර්ඝකාලීනව විදේශ ගතවුවහොත් එය රටේ කෘෂිකාර්මික අංශය කඩාවැටීමට හේතුවක් වනු ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේ ෴


IOC ‌ෙෂඩ් 26 ක ඉන්ධන සැපයුම අත්හිටුවයි

(07.04.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා IOC ඉන්ධන සමාගම’ට අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයුම නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ QR කෝටා ක්‍රමය පිළිපැදීම උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

මේ අතර QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන අලෙවිකළ පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිකිරීමේ කටයුතු අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා ෴


‘ගනේමුල්ල සංජීව’ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

(07.04.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘උදේශික විදුරංග’ නොහොත් ‘විද්දා’ නමැත්තා සමග තවත් පුද්ගලයෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව කඩවත බස්නැවතුම්පොල ඉදිරිපිට දී ඊයේ (06) වෑන් රථයක් සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි තිබී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 500 ක් ද පොලිස් භාරයට ගැණුනා.

සැකකරු ත්‍රස්තවාදී ක්‍රියා හා මනුෂ්‍ය ඝාතන 3 කට සම්බන්ධ වී ඇති අතර, මෙතෙක් ඔහු සැඟව සිට ඇති බව සඳහන්.

‘විද්දා’ නමැත්තා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 23 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කොල්ලකෑම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ යුවළක් දඹුල්ල – ජලාශ පාර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටියදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැළණිය – ගෝනවල ප්‍රදේශයේ පදිංචි මොවුන් 27 සහ 44 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය කියා සිටියේ ෴


ජල සම්පාදන සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්

(07.04.2023 – 10:44 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය නිවාඩු දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් දින 4 ක් තිස්සේ දියත් කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ ඉල්ලීම් ඉටු වූ බැවින් අද (07) සිට යළි රාජකාරිවලට අවතීර්ණ වන බවයි.

ඉතිරි වෛද්‍ය නිවාඩු සඳහා වන දීමනා ලබාදීමට භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත එකඟතාව පළ කිරීමත් සමග වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියා ෴


එළඹෙන උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

(07.04.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ(06) ජනාධිපති කාර්යාලයේ දී ‘කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය’ ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී යි.

එහිදී පදික වෙළෙඳුන්ගේ ගැටළු පිළිබඳ තමන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත්, ඒවාට නිසි විසඳුම් ලබාදීම සඳහා කමිටුවක් පත්කරන බවත් සඳහන් කළා.

තවද පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදී ම විසඳුම් ලබා දීමට ද පියවර ගත් අතර, තවදුරටත් පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔවුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *