ඉන්ධන කෝටාව ඉහළට – නව ප්‍රමාණයන් මෙන්න

ඉන්ධන කෝටාව ඉහළට – නව ප්‍රමාණයන් මෙන්න


ඉන්ධන කෝටාව ඉහළට – නව ප්‍රමාණයන් මෙන්න

(04.04.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය පියවර ගත්තා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයි.

පෙර සැළසුම් කළ පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩිවන ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කර ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අද (04) නිවේදනය කළේ.

ඒ අනුව මේ වනවිට සතියකට යතුරුපැදි සඳහා ලබාදෙන ලීටර හතරේ (4) ඉන්ධන කෝටාව ලීටර හත (7) දක්වා ඉහළ දැමෙනු ඇති.

මෝටර් රථ සඳහා ලබාදෙන ලීටර විස්ස (20) ලීටර 30 ක් වන අතර, ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලීටර පහ (5), ලීටර 8 ක් දක්වා ද විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලීටර 10 ක ඉන්ධන කෝටාව ලීටර 15 දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන් ම බස් රථ සඳහා පැවති ලීටර 40 හේ සීමාව ලීටර 60 දක්වා ද, ලොරි රථ සඳහා ලබාදුන් ලීටර 50 සීමාව, ලීටර 75 දක්වාද, බහුකාර්ය රථ සඳහා පැවති ලීටර 15 සීමාව ලීටර 25 දක්වා ද ඉහළ දමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


‘හරක්කටා’ගේ සහ ‘සලිඳු’ගේ පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති උසාවියෙන් ඉල්ලයි

(04.04.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ සහ ‘සළිඳු මල්ෂික ගුණරත්න’ නොහොත් ‘පානදුරේ කුඩු සලිදු’ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම් සත්‍ය කරුණු වසන් කරමින් ගොනුකර ඇති බැවින් ඒවා විභාගයට නොගෙන මුල් අවස්ථාවේදී ම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ පෙත්සම් අද (4) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ පෙත්සම් විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩු කටයුත්තක් ඉකුත් මාර්තු මස 29 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ බවත් එහි දී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයන් කිහිපයක් නිකුත් කර ඇති බව ද නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවල සඳහන් වෙනවා.

සත්‍ය කරුණුවලින් තොරව හුදෙක් උපකල්පන මත පමණක් පදනම්ව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවට ද නීතිපතිවරයා චෝදනා කළා.

මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනටමත් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් මතු නොවන බවත් එම විරෝධතාවල සඳහන් කර තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුව මෙම විරෝධතාවලට අදාල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා අප්‍රේල් මස 22 දා ට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ජූනි මස 07 වන දා සලකා බැලීම සඳහා කැදවන ලෙසත් අධිකරණය නියෝග කළා ෴


‘බූරුමූණා’ට අත්අඩංගුවෙන් පලායාමට අනුබල දුන් තුනකට (3) ඇප

(04.04.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

‘රවිඳු වර්ණ රංගන’ හෙවත් ‘බුරුමුණා’ට කටුනායක ගුවන් තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් (7) දෙනාගෙන් ශ්‍රමණවේශධාරීන් දෙදෙනා (2) සහ රියදුරා දැඩි ඇප කොන්දේසි මත ඇප පිට මුදාහැර තිබෙනවා.

ඒ, ඔවුන් අද (04) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඔවුන්ට විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා, කටුනායක පොලිසිය වෙත වාර්තා කරන ලෙසටද නියෝග කර තිබෙනවා.

අනෙක් සැකකරුවන් හතර (4) දෙනා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ෴


දිස්ත්‍රික්ක තුනකට (3) නාය යෑමේ අවදානම්

(04.04.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala)

පවත්නා අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට (3) නාය යෑම් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නාය යෑමේ අවදානම බලපවතිනු ඇති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරන්නේ හෙට (05) පස්වරු 5 දක්වා මෙම අවදානම් නිවේදනය බලපැවැත්වෙන බවයි ෴


මාර්තුවේ විදෙස් සංචිත ඉහළට – තැන්පතු සහ ණය අනුපාතිකත් තවදුරටත් ස්ථාවරයි

(04.04.2023 – 18:38 +0530 – hirunews.lk/sinhala)

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 15.50 % සහ 16.50 % මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ගෝලීය සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන්ට සාපේක්ෂව මෙරට මෑත කාලීන සහ අපේක්ෂිත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගෙනයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාල තීරණය ගෙන ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් කිරීමෙන් පසු උද්ධමන තත්ත්වය අඛණ්ඩව පාලනය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස ස්ථාවර කිරීමටයි මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ අතර, 2023 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එයට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ද ඇතුලත් ෴


‘අංගොඩ ලොක්කා’ මිය ගියේ හෘදයාබාධයකින් – ඉන්දීය මාධ්‍ය

(04.04.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකුණු ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේ දී මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ‘අංගොඩ ලොක්කා’ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නවතා දැමීමට ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ නොහොත් ‘අංගොඩ ලොක්කා’ පිළිබඳව සමාජයේ වැඩි කථාබහක් මතුවන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේ දී සමයංගේ ඝාතනයත් සමගයි.

එම ඝාතනයෙන් අනතුරුව අතුරුදන් වු ‘අංගොඩ ලොක්කා’ පිළිබඳ කළ විමර්ශනවල දී ඔහු ඉන්දියාවට පළා ගොස් ඇති බව හෙළිවුණා.

ඔහු ඉන්දියාවේ බලාජිනගර් හි ‘ප්‍රදීප් සිං’ යන නමින් වසර 02 ක කාලයක් ජීවත්ව සිට ඇත්තේ ‘අමානි තන්ජි’ නම් ශ්‍රී ලාංකික කාන්තාවක් සමගයි.

2020 වසරේ ජුලි 05 වැනිදා අදාළ කාන්තාව විසින් ‘අංගොඩ ලොක්කා’ව අසනීප තත්ත්යක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණේ අසල්වැසියෙකුගේ සහය ද ඇතුවයි.

එහි දී ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇති බවට තහවුරුවීමෙන් පසු සිරුර මරණ පරීක්ෂණ සඳහා කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලය වෙත යොමු කර තිබුණා.

ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොයිම්බතූර් හි අධිකරණයකට ඉදිරිපත් කළ මරණ පරීක්ෂණ වාර්තාවකින් තහවුරු කර ඇත්තේ මරණය හෘදයාබාධයකින් සිදුව ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව ‘අංගොඩ ලොක්කා’ගේ මරණය සම්බන්ධව සිදු කළ විමර්ශන සහ නීති විරෝධීව ඉන්දියාවට පළායාමේදී ඉදිරිපත් කර ඇති ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නවතා දැමීමට ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ අතර, ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සළිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘පානදුරේ කුඩු සලිදු’ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම්, සත්‍ය කරුණු වසන් කර ගොනු කර ඇති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා ෴

+

අධ්‍යාපනවේදී උපාධිධාරීන් පළාත් හයක (6) ගුරු සේවයට බඳවා ගැනේ

(05.04.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර පළාතේ පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේ දී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මේ වසර සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමා තුළ කළමනාකරණය කරගැනීමට යටත්ව එම අනුමැතිය ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා අධ්‍යාපනවේ දී උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමට අනුමැතිය ලබා දී නොමැති බව ද එම අමාත්‍යාංශය කියා සිටියා ෴

+

විදුලි ගාස්තුව 30% කින් අඩු කරන්නැයි දැනුම් දීමක්

(05.04.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තුව 30% කින් අඩු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඊයේ (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදුලි ඉල්ලුම අඩුවීම, ඩොලරයේ අගය පහත වැටීම සහ ඉන්ධන මෙන්ම ගල් අඟුරු පිරිවැය අඩුවීම සැළකිල්ලට ගෙන විදුලි ගාස්තුවද අඩු කළ යුතු බවයි.

එසේම 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 3 තුළ දී විදුලි ඉල්ලුම 18% කින් අඩුවී ඇති බව ද ඔහු සඳහන් කළා ෴

+

වැල්ලවායේ රිය අනතුරකින් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට

(05.04.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය, තණමල්විල, නුගයාය ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ වැල්ලවායේ සිට තණමල්විල දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ රියදුරු සහ පසුපස අසුනේ ගමන්කල ඔහුගේ බිරිඳ, පියා සහ වයස අවුරුදු 11 ක් වන දරුවෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කෙරුණා.

එහිදී රියදුරු, බිරිඳ සහ පියා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගිය ත්‍රී රෝද රථයේ රියදුරු වයස අවුරුදු 44 ක් වන තණමල්විල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පරගස්මංකඩ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.

අනතුරින් මියගිය ඔහුගේ බිරිඳ වයස අවුරුදු 42 ක් වන අතර, පියා ව‍යස අවුරුදු 70 ක අයෙක්.

පොලිසිය සඳහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථවේ දී කැබ් රථයේ රියදුරු බීමත්ව සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති පුද්ගලයෙක් වන බවයි.

මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර වැල්ලවාය රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධ‍යෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

++++++++

(04.04.2023 – facebook.com/accident1stofficial/)

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුගයාය ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කල බොලෙරෝ කැබ් රථයක් ත්‍රිරෝදරථයක ගැටිමෙන් අද (04) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝදරථයේ පැමිනි පුද්ගලයන් තිදෙනෙකු (3) (ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, 42 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 70 හැවිරිදි ඔහුගේ පියා) ජීවිතක්ෂයට පත්වුන අතර 11 හැවිරිදි කුඩා දරුවෙකුද බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කෙරුනා.

+

වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

(05.04.2023 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – මහඔය සහ දීඝවාපිය ප්‍රදේශවල දී වනඅලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් එක් අයෙකු මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී මියගොස් ඇති අතර, ඔහු 72 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

එම පුද්ගලයා ඊයේ (04) රාත්‍රියේ සුනඛයා (බල්ලා) බුරන ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු වනඅලි ප්‍රහාරයට ලක්වුණා.

අනෙක් වනඅලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අම්පාර – උහන ප්‍රදේශයේ පදිංචි අම්පාර පොලිස් උප ගරාජයට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙක්.

රාජකාරි නිමවී නිවසට යමින් සිටිය දී එරගම දීඝවාපිය ප්‍රදේශයේ දී මොහු වනඅලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *