ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක්

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක්


ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක්

(30.03.2023 – 08:47 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ආයතනයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් අදාළ සැකකරු විසින් සකසා ඇත.

එමගින් ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිට වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගන්නා ලද සැකකරු මාර්තු 28 වනදා සවස් කාලයේ දී වත්තේගම ප්‍රදේශයේ දී ලැප්ටොප් යන්ත්‍රය සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අන්අයෙකු ලෙස පෙනීසිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපළ පනත යටතේ සිදුකර ඇති වැරදි හා පරිගණක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත් අතර ඊයේ (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ෴


මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලද හෝටල් හිමිකරු මිය යයි

(30.03.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා.

තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකට ඇතුලත් කළ හෝටල් හිමිකරු අද (30) පාන්දර 03:00 ට පමණ මිය ගිය බවයි වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මිය ගියේ මිදිගම ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය 31 හැවිරිදි සිඳු ‘සඳරුවන් දොඩම්ගොඩගේ’ නැමැති අයෙක්.

අදාල වෙඩි තැබීම ඊයේ (29) පස්වරු 06:15 ට පමණ සිදු වූ අතර ‘වැගන් ආර්’ වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබෙනවා.

2021 වසරේ දී ද මෙම හෝටල් හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් ඔහුගේ සහෝදරයා මිය ගියා.

මේ අතර අදාල වෙඩි තැබීම සිදු කොට ඇත්තේ අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ගේ ගෝලයන් පිරිසක් බවයි සැක කරන්නේ.

එමෙන්ම සිය ජිවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට රැඳවුම් භාරයේ සිටින ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ මීට පෙර සිය නිතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණා.

මේ අතර ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයෙකු විසින් කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගියේ අවුරුදු 57 ක් වයසැති කාන්තාවක් වන අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ 45 හැවිරිදි සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ගල්කිස්සේ ගණිකා නිවසක් වටලා තරුණියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(30.03.2023 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සහ ඊට සහාය වීම යන චෝදනා මතයි මෙම සැකකාරියන් දෙදෙනා (2) ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත් අඩංගුවට පත් සැකකාරියන් දෙදෙනා (2) වයස අවුරුදු 28 සහ 32 යන වයස්වල පදිංචි වැල්ලම්පිටිය සහ විතාරන්දෙණිය ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

සැකකාරියන් අද (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මෛත්‍රී – ගෝඨා ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යලි සේවයේ

(30.03.2023 – 08:07 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ‘ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා’ යලි සේවයේ පිහිටුවා තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ අනුව ඔහු පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා (2) ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදු කළ බවට ‘නාමල් කුමාර’ නැමැත්තෙකු විසින් කරන ලද පැමිණල්ලක් පසුබිම් කරගනිමින් එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරය සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනුණේ 2018 වසරේදී යි ෴


නවකවද සිද්ධියකට සබරගමු සරසවියේ හතරදෙනෙකු (4) අත්අඩංගුවට

(30.03.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)

නවක වද සිද්ධියක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සරසවියේම තවත් සිසුන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය මස 15 වනදා නිති විරෝධි රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබාදීම සඳහා මෙම සරසවියේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දී තුවාල සිදු කිරීම මොවුන්ට එල්ල වී ඇති චෝදනාව බවයි.

පසුගිය 28 වැනි දා බලංගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගත්තේ අවුරුදු 23, 24 සහ 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ සහ වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන් ඊයේ (29) බලංන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා ෴


තිස්සමහාරාමේ, පාසල් දරුවන්ට නොමිලේ ආහාර දුන් සැපයුම්කරුවන්ට මුදල් ලබා දී නැහැ

(30.03.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් සඳහා රජයෙන් නොමිලේ ආහාර ලබාදීමේ වැඩසටහනට සම්බන්ධ වී ඇති සැපයුම්කරුවන් පිරිසකට නිසි පරිදි මුදල් නොලැබීමේ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මුතියම්මාගම කණිෂ්ඨ විද්‍යාලයට ආහාර සපයන පිරිසක් මෙලෙස අපහසුතාවයට පත්ව තිබුණා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ ඒ සම්බන්ධයෙන් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ ලැබෙන මුදල් කඩිනමින් අදාළ සැපයුම්කරුවන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

ඇතැම් අවස්ථාවල දී මුදල් ලැබීමේ ප්‍රමාදයන් පැවතීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද ඇය කියා සිටියා.

මේ අතර පළමු (1) ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (30) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ගංගොඩවිල සමුද්‍රදේවි බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ දී යි ෴


මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් (2) සලකා බැලීම කල් යයි

(30.03.2023 – 11:24 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කළේයැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් (2) සලකා බැලීම මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළා.

ඒ එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවට අදාළව ලේඛන ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට, අවසර ලබා දුන් පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම කල් දැමුවා.

එම පෙත්සම් ගොනුකර තිබුණේ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මේ වසරේ අයවැය තුලින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 03 වනදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම තුලින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා ෴


මහවැලි රක්ෂිතයේ මැණික් ගැරූ හතක් (7) අත්අඩංගුවට

(30.03.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

හැටන් ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු අද(30) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී.

ඔවුන් විසින් හැටන් ස්තැඩන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක විශාල වලවල් හාරා එම වලවල් තුල තිබූ මැණික් ඉල්ලම් සහිත පස් එම ඔයටම සෝදා ඇති බවයි අදාල වැටලීම සිදුකළ නිලධාරීන් පවසා සිටියේ.

සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර සහ හැටන් යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන්නන්.

ඔවුන් අද (30) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පාසල් වෑන් ගාස්තුවත් බහී

(30.03.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව තම සේවා ගාස්තු ද සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නන්ගේ සංගම් පවසනවා.

කෙසේ වෙතත්, තමාට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන්නේ නම් සේවා ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බවයි කියා සිටියේ.

‘සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ’ සභාපති රුවන් ප්‍රසාද් සහ ‘සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ’ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි කියා සිටියේ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පවතින මිල ගණන් සඳහා ද සහනයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ෴


මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

(30.03.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිතය සහ ලඟ තබා ගැනීම සම්බන්ධ‍යෙන් සැකකරුවන් දස (10) දෙනෙකු යාපනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අවුරුදු 17 ත් 24 ත් වයසේ පසුවන අතර, පාසල් ශිෂ්‍යයෙක් මෙන්ම ශිෂ්‍යාවකද සිටින බව වාර්තා වන්නේ.

යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් ලද තොරතුරු අනුවයි අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් මොවුන් සන්තකයෙහි මත්ද්‍රව්‍ය තිබී ඇති බව සඳහන් ෴


පිල්ලෙයාන්ට එරෙහිව මඩකලපුවේ විරෝධතාවයක්

(30.03.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ‘සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ට විරෝධය පළ කරමින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (30) විරෝධතාවක් පැවැත්වුණා.

ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.

විරෝධතාවය පැවැත්වෙන අතරතුරදී එම ස්ථානයට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ද පැමිණ තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා, ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ඇතුළු දූෂණ සිදුකරන බවට මෙම පිරිස චෝදනා කරනවා ෴


ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි

(30.03.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි.

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20 කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (29) ප්‍රකාශ කළා.

ඔවුන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

+


බේරුවලට ආසන්න මුහුදේ භූ චලනයක්

(30.03.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

බේරුවලට ආසන්න මුහුදේ සුළු භූචලනයක් සිදුව ඇතැයි වාර්තා වනවා.

මෙරට වේලාවෙන් පස්වරු 01:02 ට පමණ සිදු වූ මෙම සුළු චලන තත්ත්වය බේරුවල වෙරළට කිලෝමීටර් 24 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ ඒකක 3.7 ක අගයකින් යුතු වූ එකක් බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ.

මේ අතර එම භූ චලනය කළුතර උතුර සහ කැස්බෑව ප්‍රදේශවලට ද දැනුණු බව එම ප්‍රදේශවාසීන් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබුණා ෴

+

30.03.2023

+

30.03.2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *