ඩොලර් කෝටි 10 ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6 කගේ විදෙස් ගමන් තහනම්

ඩොලර් කෝටි 10 ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6 කගේ විදෙස් ගමන් තහනම්


ඩොලර් කෝටි 10 ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6 කගේ විදෙස් ගමන් තහනම්

(29.03.2023 – 20:12 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලර් කෝටි 10 ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (28) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් ගත් එම තීරණය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

තව ද සැකකාර අධ්‍යක්ෂවරුන් සහ සමාගම සතු ගිණුම් 57 ක් අත්හිටුවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාශාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයාන් යන අය වෙතටයි ෴


ක්‍රිප්ටො කරන්සි ගැන මහබැංකුවෙන් දැනුවත් කිරීමක්

(29.03.2023 – 21:01 +0530 – hirunews.lk/sinhala)

අතත්‍ය මුදල් වර්ගයක් ලෙස සැලකෙන ක්‍රිප්ටො කරන්සි භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහබැංකුව ජනතාවට නැවත අවධාරණය කරනවා.

ක්‍රිප්ටො කරන්සි භාවිතය ලාභදායී ආයෝජනයක් ලෙස ඇතැම් පාර්ශව විසින් ප්‍රවර්ධනය කෙරෙන අතර මහබැංකුව පවසන්නේ එලෙස සිදුකළ ආයෝජන වලින් ජනතාවට විශාල මූල්‍ය පාඩු සිදුවී ඇති බවයි.

එම මූල්‍ය වංචාවන්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් තම ධනය ආරක්ෂා කර ගන්නා ලෙස මහබැංකුව ප්‍රකාශ කරනවා.

එසේම, ක්‍රිප්ටො කරන්සි සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මහබැංකුව අවසර ලබාදී නැහැ ෴

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම


මිදිගම වෙඩි තැබීමකින් 31 හැවිරිදි හෝටල් හිමිකරුට තුවාල

(29.03.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)

අහංගම මිදිගම හෝටලයක් ඉදිරිපිට දී එම හෝටලයේ අයිතිකරු ව වෙඩි තබා ඇතැයි වාර්තා වනවා.

‘වැගන් ආර්’ වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අදාල තැනැත්තාට අද (29) පස්වරු 06:15 ට පමණ වෙඩි තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ හෝටල් හිමිකරුවා මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මොහුගේ තුවාලවල තත්ත්වය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් අදාල තැනැත්තාට වෙඩි තබා ඇති අතර ඊට සහභාගි වූ පිරිස අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ගේ ගෝලයෙකු බවයි සැක කරන්නේ.

මේ අතර 2021 වසරේ දී ද තුවාලකරු ඉලක්ක කර වෙඩි තැබීමට කටයුතු කර ඇති අතර ඉන් ඔහුගේ සහෝදරයා මිය ගොස් ඇතැයි ද වාර්තා වනවා.

මෙලෙස වෙඩි වැදී තුවාල ලබා සිටින්නේ, ‘පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ’ නැමැති 31 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් මගින් පරීක්ෂණ සිදු කරනවා ෴


2019 දී සයින්දමරුදු බෝම්බයෙන් මැරුණේ ‘සාරා’මයි – DNA වාර්තාව කියයි

(29.03.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ‘පුලස්තිනී මහේන්ද්‍රන්’ හෙවත් ‘සාරා ජස්මින්’ යන අය මිය ගොස් ඇති බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

රජයේ රස පරීක්ෂ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ, ‘සාරා ජස්මින්’ගේ මවගෙන් ලබාගන්නා ලද DNA සාම්පල සමඟ අපරාධ ස්ථානයෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් කිහිපයක DNA සාම්පල සැසඳූ විට ඒවා 99.99% ක් සමාන බවයි.

එසේ ම එය මවක සහ දරුවකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය තහවුරු වන ප්‍රථිඵලයක් බවයි ෴

+


සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

(29.03.2023 – 15:35 +0530 – sinhala.adaderana.lk)

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව පහතින් :


රටටම ආදර්ශයක් වූ පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලය

(29.03.2023 – 15:14 +0530 – sinhala.adaderana.lk)

සිය රාජකාරි කාලය තුළ දරුවන්ට ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරව තම ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කරන ඇතැම් ගුරුවරු අතරේ තම සේවා කාලයෙන් බැහැරව රාත්‍රියෙත් දරුවන් වෙනුවෙන් කැප වන ගුරුවරු අදටත් අපි අතර නැතුවාම නොවේ.

එවන් ආදර්ශමත් ගුරු මඩුල්ලක් පිළිබඳ ‘අද දෙරණ’ට වාර්තා වෙන්නේ, මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කලාපයේ පිහිටි පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයෙනි.

අනෙකුත් පාසල්වලට වඩා මෙම පාසලේ විශේෂත්වය වන්නේ ගුරුවරුන් රාත්‍රී කාලයේත් අමතර පංති පැවැත්වීමය.

දිවා කාලයේ පාසල් ගොස් නැවත නිවෙස් බලා පිටත්ව යන දරුවන් පස්වරු 6 ට යළි පාසල් වෙත පැමිණ අතිරේක පංති සඳහා සහභාගි වේ.

පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයේ මෙන්ම අවට ප්‍රදේශවල සිටින වෙනත් පාසල්වල සිසු සිසුවියන්ද රාත්‍රි පංති සඳහා සහභාගි වන අතර වෙනත් පාසල්වල ගුරු භවතුන්ට ස්ව කැමැත්තනේම ඉගැන්වීම් සඳහා එක්වීම විශේෂත්වයකි.

රාත්‍රියේ පංති සඳහා සහභාගීවන දරුවන්ට කෑමවේලක් ලබාදීමටත් මව්පියන් අමතක කරන්නෙ නැහැ.

මෙම උතුම් සද්ක්‍රියාවට මව්පියන් සිය ප්‍රශංසාව පළකරයි.

+


දරුවාගේ පළමු පාසල් දිනයේ දී මවට අත්වූ ඛේදනීය ඉරණම

(29.03.2023 – 10:10 +0530 – sinhala.adaderana.lk)

දරුවෙක් පළමු ශ්‍රේණියට ඇතුළත් වීම දෙමාපියන්ට මහත් සතුටක් ගෙන දෙන කරුණක් වුවත් එවැනි දිනයක සිදුවු ඛේදනීය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

ඒ සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ගොස් සිටි මවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස තියුණු ආයුධයකින් ගෙලට සහ අතකට පහරදීමක් සිදුකර තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබු කාන්තාව කෑගල්ල මහ රෝහලට ඊයේ (28) පෙරවරුවේ ඇතුළත් කර ඇතැයි දේවාලේගම පොලීසිය පවසයි.

ඉඹුල්ගස්දෙණිය, මාඔය වත්ත ලිපිනයේ පදිංචිව සිටින 25 හැවිරිදි එක්දරු මවක් එලෙස තුවාල ලබා තිබුණි.

මීට මාස හතරකට පෙර ආරවුලක් හේතුවෙන් ඇය සැමියා සමග අමනාප වී දරුවා ද සැමියාට භාර දී නිට්ටඹුව ප්‍රදේශයේ සිටින ඥාතියකුගේ නිවසකට ගොස් නතර වී සිට ඇත.

දරුවා බටුවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ඇය මහ ගෙදරට පැමිණ දරුවා එම නිවසට කැඳවාගෙන එන ලෙස සැමියාට දුරකථනයෙන් පවසා තිබුණි.

පසුව සැමියා විසින් දරුවාගේ හා ඔහුගේ පාසල් ඇඳුම් කට්ටලය ද බිරිඳගේ මහ ගෙදරට ගිහින් දී ආපසු නිවසට ගොස් තිබේ.

පසුව පහරකෑමට ලක්වු කාන්තාව දරුවා රැගෙන පාසල වෙත ගොස් දරුවාව භාරදී විද්‍යාලයේ පැවති උත්සවයකට ද සහභාගි වී විදුහල්පති කාර්යාලයට යන අවස්ථාවේ සැමියා පැමිණ මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් අවශ්‍ය බැවින් සිය දුරකථනය උකස් තැබීමට ඉල්ලා ඇත.

ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා ඉනේ සඟවා ගෙන සිටි පිහියෙන් ගෙල ප්‍රදේශයට සහ අතකට පහරදී තිබේ.

තුවාලකාරියගේ තත්ත්වය බරපතළ නොවන බවත් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවත් රෝහල් පොලීසිය පැවසීය.

සැකකාර සැමියා කාලයක සිට තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි ව සිටින අයෙකු බවද පොලීසිය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *