ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවකයින් ගැන තීරණයක්

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවකයින් ගැන තීරණයක්


ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවකයින් ගැන තීරණයක්

(29.03.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන බෙදාහැරීම් කටයුතු වලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවලට මෙන්ම සේවයේ යෙදී සිටි සේවයකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපතිවරයා කියා සිටියේ ඔවුන්ට මේ මොහොතේ සිට ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථා පරිශ්‍රය, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය තහනම් කලාප කර ඇති බවයි.

අනෙකුත් සියලුම නිළධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බොදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව ද එහි දැක්වෙනවා.

එමෙන්ම පිරවුහම්හල් අසල ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයන්ගේ රාජකාරිවලට බාධා කරන හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරමින් ක්‍රියාකරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ද ඊයේ ප්‍රකාශ කළා ෴

++++++++++

ඛනිජ තෙල් සේවක වර්ජනය තවදුරටත් – පිරවුම්හල් අසල පෝලිම්

(29.03.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර ප්‍රකාශ කළා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ ඊයේ (28) පස්වරුවේ සිට රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙරේදා (27) එම සංස්ථාව ඉදිරිපිට වෘත්තීය සමිති ආරම්භ කර සත්‍යග්‍රහය තීව්‍ර කරමින් ඔවුන් ඊයේ (28) පස්වරුවේ සිට සියලු රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කළා.

පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර කියා සිටියේ කොළොන්නාව නිමාව, මුතුරාජවෙල සහ සපුගස්කන්දෙන් තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන් ඊයේ (28) අඩාල වූ බවයි.

කොලොන්නාව නිමාවට මේ වනවිට යුද හමුදාව යොදා ඇති බවටද ඔහු චෝදනා කළා.

මෙම තත්ත්වය හමුවේ ඊයේ (28) පස්වරුවේ සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබුණා ෴

+++++++++

තෙල් සැපයුම සාමාන්‍ය පරිදි සිදුකරන බව තෙල් සංස්ථා සභාපති කියයි

(29.03.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ තෙල් බවුසර් 50 ක් පමණ කොලොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම ලංකා අයිඕසී සමාගම, මෙම තත්ත්වය හමුවේ උපරිමයෙන් තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව කියා සිටියා.

ත්‍රීකුණාමලයේ පිහිටි සිය ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ද උපරිමයෙන් ක්‍රියාත්මක කර ඇති බවයි එහි කළමණාකරණ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

එමෙන්ම දිවයින පුරා පිහිටි අයිඕසී ඉන්ධන පිරවුම්හල් වලද උපරිම ධාරිතාවයෙන් සේවා ලබාදෙන ලෙස උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ටැංකි රථ රියදුරන් ද තෙල් බෙදා හැරීම සඳහා මේ වනවිට සූදානමින් සිටින බවයි ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ ෴


28-03-2023

+

28-03-2023

+


රක්ෂණ ආයතනයක සේවිකාවන් තුන්දෙනෙකුට (3) ලිංගික අතවර කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(29.03.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක සේවිකාවන් තුන්දෙනෙකුට (3) ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමණාකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33 සහ 45 යන වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

මොවුන් ඊයේ (28) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා ෴


ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලා යයි

(29.03.2023 – 10:13 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විත්ති කූඩුවට රැගෙන යමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා අධිකරණ ශාලාවේ ජනේලයකින් මෙලෙස ඊයේ (28) පැනගොස් ඇති බවයි.

බද්දේගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මෙම රැඳවියා, මත්ද්‍රව්‍ය හා සොරකම් සිදුකිරීමේ චෝදනාවලට අදාළව බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය නඩු 30 ක් පමණ අධිකරණවල විභාග වන බවයි පොලීසිය සඳහන් කළේ.

පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් පමණ යොදවා ඇති බව සඳහන් ෴


රුපියල් මිලියන 54 ක් පමණ වටිනා කේරළ ගංජා යාපනයෙන් සොයා ගැනේ

(29.03.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මාදගල් වෙරළ තීරයේ සහ මුහුදේ පාවෙමින් තිබූ රුපියල් මිලියන 54 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 165 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී වෙරළේ උර 8 ක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 යි ග්‍රෑම් 390 ක් මුලින් සොයා ගැණුනා. ඒවා පාර්සල් 71 ක අසුරා තිබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

තවත් උරයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, එහි තිබූ කේරළ ගංජා තොගයේ බර කිලෝ 15 ක් පමණ වනවා. ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා මෙරටට රැගෙන ඒමට ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ ෴


ටෙලිකොම් ප්‍රතිව්‍යූහගත කරන්න වසරක කාලයක් ගත වෙයි

(29.03.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු සියයට 49.5 ක කොටස් අලෙවි කිරීම සඳහා වසරක (1) පමණ කාලයක් ගත වනු ඇති බව ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය පවසනවා.

ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ටෙලිකොම් සමාගම සතු කොටස් අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොටස් අලෙවිය සඳහා ගණුදෙනුකරුවන් මේ වනවිට හඳුනාගෙන නොමැති අතර ඒ සඳහා වැඩි කාලයක් ගත වන බව ‘ෆිච් රේටින්ස්’ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට පාඩු ලබන සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීමේ කොන්දේසිය යටතේ මෙලෙස ටෙලිකොම් සමාගම සතු කොටස් අලෙවි කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ආදායමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව ද ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය පෙන්වා දෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ආර්ථික අර්බුදයත් සමග ජනතාව සන්නිවේදන අවශ්‍යතාවලට වඩා වැඩි මුදලක් වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කිරීම බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම, පසුගිය වසරවලට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පාරිභෝගිකයින්ගේ අඩුවක් ද දක්නට ලැබෙන බව ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

+


අලුත් ත්‍රස්ත පනත හරහා, රනිල් හදන්නේ ජනතාව හිර කරන්න… (29.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *