ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස්

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස්


ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස්

(28.03.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයින්ගේ වැඩකටයුතුවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග කඩ කරමින් ක්‍රියා කරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එහි දී අදාල විනය ක්‍රියාමාර්ග කඩ කරන අයවලුන්ව රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග පර්යන්ත ගබඩාවේ සභාපතිවරයාට උපදෙස් දී තිබෙන්නේ.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරමින් එහි සේවකයින් අද (28) පස්වරුවේ සියලු රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කලා.

කෙසේ වෙතත්, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටියේ.

වෘත්තිය සමිති ඊයේ (27) පෙරවරුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

කෙසේ වෙතත් අද (28) දහවල් පැවති සාකච්ජාවකින් පසු සියලුම සේවා කටයුතුවලින් ඉවත්වීමට කටයුතු කළ බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියේ.

වර්ජනයේ නිරත වෘත්තිය සමිති විසින් ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ තිබු සියලුම බවුසර රථ පිටතට ගෙන එමට ක්‍රියාකළ බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියා.

ඒ හේතුවෙන් ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමට පැමිණි බොහෝ ටැංකි රථ රියදුරන් අපහසුතාවයට පත්වු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.

කෙසේ වෙතත්, තෙල් බෙදාහැරීමේ ප්‍රමාදයක් සිදුනොවන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටියා.

මේ අතර, මෙරට සිල්ලර වෙළද පොලට ඉන්ධන නිකුත් කිරීම සඳහා චීනය, ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ සමාගම් තුනකට (3) අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ, චීනයේ සයිනොපෙක් ෆුයෙල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්.එම්.පාක්ස් යන සමාගම් සදහායි.

මේ අතර, හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනය, සිංගප්පුරුව, නයිජීරියාව, මැලේසියාව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05 ක්ද , ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් හා දන්දෙණිය ඉන්ජිනියරින් සේල්ස් ඇන්ඩ් සර්විසස් සින්ඩිකේට් යන මෙරට සමාගමක් ඉදිරිපත්ව සිටිනවා.

එසේ ම ලබන මස මුල දී ඉන්ධන සහනයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් බස් ගාස්තු අඩුකිරීමට ද කටයුතු කරන බව ලංකා පෞද්ලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා ෴

+++++++

ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ ඛනිජතෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බවත්, පර්යන්තවල සහ බෙදා හැරීමේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කිරීමත් සමඟ වෘත්තීය සමිති සේවකයින් රාජකාරියට පැමිණීම වළක්වාලීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාදය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බවයි.

මේ අතර ඛනිජතෙල් සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටිනවා ෴

+

+

+

+


ගුවන්තොටුපලට සිවිල් ආරක්ෂක නිලධාරින්

(28.03.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට හානි වන අයුරින් විවිධ අක්‍රමිකතාවල නිරත වන ගුවන්තොටුපල සේවකයින් හසුකර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක කණ්ඩායමක් යෙදවීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තීරණය කර තිබෙනවා.

ඒ සංචාරකයින්ගෙන් ලැබෙන පැමිණිලි සලකා බලමින්.

විශේෂයෙන් ගමන් මළු ඔසවන්නන්, කුලී රථ රියදුරන් හා තැරැව්කරුවන්ගෙන් තමන්ට හිරිහැර සිදුවන බවටයි ඔවුන් අමාත්‍යවරයාට පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව, මෙවැනි අක්‍රමිකතාවල යෙදී හසුවන පුද්ගලයින්ට පනවන දඩය රුපියල් 25,000 සිට ලක්ෂය (100,000) දක්වා වැඩි කිරීමට ද තීරණය වී තිබෙනවා.

එසේ ම, සී.සී.ටී.වී කැමරා පද්ධතිය පුළුල් කිරීමට මෙන්ම, අදාල පැමිණිලි භාර ගැනීමට හා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටයි ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම තීරණය කර ඇත්තේ ෴


STEAM අධ්‍යාපනය 31 වැනිදා සිට ශ්‍රී ලංකාවේත්

(28.03.2023 – 21:30 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ක්‍රමවේදයකට අනුව සැකසුණු ‘ස්ටීම් අධ්‍යාපන ක්‍රමය’ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ පළමු වැඩසටහන, එළැඹෙන 31 වැනිදා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

පංති කාමරයකට සීමා වී හදාරන අධ්‍යාපනය වෙනුවට දරුවන් බාහිර පරිසරයට සමීප කරමින් ඉගැන්වීම් කරන, ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ වඩාත් ඵලදායී ක්‍රියාශීලී දරුවන් පිරිසක් බිහි කළ හැකි බව ද, මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+


IMF ණය සහනය ගැන වෘත්තිය සමිති දැනුවත් කෙරේ

(28.03.2023 – 22:35 +0530 – hirunews.lk/sinhala)

ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට නම් සියලු දෙනාමට අසීරු භූමිකාවක් තුළ ක්‍රියා කිරීමට සිදු වන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

ජාත්‍යන්තතර මුල්‍ය අරමුදලේ ණය සහනය පිළිබඳව වෘත්තීය සමිති දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්.

+


වනඅලි ප්‍රහාරයකින් වනසත්ව අඩවි ආරක්ෂකවරයෙක් මරුට

(29.03.2023 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිදුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ ගම් වැදුනු වනඅලි රංචුවක් පලවා හැරීමේ මෙහෙයුමකට එක්ව සිටිය දී එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂකවරයා මරණයට පත්ව තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වන අලි රංචු පලවා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබුණා.

එහිදී රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.බී. විජේකෝන්ගේ මූලිකත්වයෙන් එම වන අලි පලවා හැරීමේ මෙහෙයුම දියත්ව තිබුණු අතර දින කිහිපයක් නිවාඩු ලබා සිට ඇති විජේකෝන් ඊයේ(28) දිනයේ යළි සේවයට වාර්තා කර මෙම වනඅලි පලවා හැරිමේ මෙහෙයුමට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

එම මෙහෙයුම අතරතුර දී කලහකාරී ලෙස හැසිරුණු වන අලියෙකු මෙහෙයුමේ නිරතව සිටි වන සත්ව අඩවි ආරක්ෂක විජේකොන්ට පහර දී ඇති බව පොලිසිය පවසනවා.

වන අලියාගේ පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ විජේකොන් එම අවස්ථාවෙදීම ප්‍රතිකාර සදහා හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ මෙහෙයුමට එක්ව සිටි සෙසු වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබුණා.

වනඅලි ප්‍රහාරය හේතුවෙන් බරපතළ තත්ත්වයේ සිටි විජේකෝන් රෝහල්ගත කළ අවස්ථාවේ මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයෙන් මිය ගිය වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.බී. විජේකොන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 20 ක පමණ කාලයක් සේවය කර ඇති අයෙක්.

සිය සේවා කාලය තුළ ගනේවල්පොල, කන්තලේ, ලග්ගල, මාතලේ. හා රිටිගල ඇතුලු වනජීවී කාර්යාල රැසක සේවයේ නිරතවෙමින් එම ප්‍රදේශවල පවතින අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා මෙන්ම වනජීවී අපරාධ මැඩලීම සඳහා ද උපරිම කැපවීමෙන් කටයුතු කර තිබුණා.

මිය යනවිට 42 හැවිරිදි වියේ පසුවූ විජේකෝන මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් ෴

+


නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ පොඩි නුවන් අත්අඩංගුවට

(29.03.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන ‘මිදිගම නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ගේ සමීපතමයකු ලෙස සැලකෙන ‘පැලෑන පොඩි නුවන්’ නැමැති පුද්ගලයෙකු නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (28 ) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර පවසනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා කොක්මාදුව කදවුර වෙත ලද තොරතුරකට අනුව අහංගම පොලිස් වසමේ කහඳ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානය අසල දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සහ මුදලින් රුපියල් 35000 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහංගම පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා ෴


නවගත්තේගම පොලිසියේ කොස්තාපල්ට පහරදුන් STF 5 දෙනෙකු අත්අඩංගුවට

(29.03.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහර දී ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසල දමා ගිය බව කියන සිද්ධියකට පොලිස් විශේෂ කාර්ය බලකායේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2), පොලිස් සැරයන්වරයෙකු (1) සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) මෙලෙස ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට මොවුන් සොයමින් සිටියදී ඊයේ (28) දහවල් ආණමඩුව පොලිසියට භාර දී තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමාකර යතුරුපැදියකින් සිය නිවෙස බලා පසුගිය 02 වැනිදා යමින් සිටිය දී පිරිසක් ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් පසුව කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමාගොස් සිටියදී සොයාගනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *