සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී

සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී


සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී

(28.03.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදා ගනිමින් මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් සැමියාගේ උපන්දින සාදය සඳහා ආහාර පිළියෙළ කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ හිඟුරක්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින්.

දරුවන්ගේ ආහාර සඳහා වෙන් කළ මුදල් යොදා ගනිමින් විදුහල්පතිනිය විසින් සැමියාගේ උපන්දින සාදය සඳහා ආහාර පිළියෙළ කළ ඇති බවට පාසලේ සංවර්ධන සමිතියේ නියෝජිතයන් චෝදනා එල්ල කර තිබුණා.

ඊට අදාළව දෙමාපියන් විසින් කළාප අධ්‍යාපන කාර්යාලයට ලිඛිතව දැනුම්දීමක් සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඒ අනුව අදාළ විදුහලට ගොස් විදුහල්පතිනියගෙන් සහ ගුරුභවතුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට හිඟුරක්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය කටයුතු කර තිබෙනවා ෴


ගුවන් තොටුපළේ ගගන යාත්‍රාංගනය තුළ තැරැව් කළ 4 දෙනෙකු අත්අඩංගුවට

(28.03.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

කටුනායන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගගන යාත්‍රාංගනය තුළ ප්‍රවාහන සේවා සැපයීම සඳහා තැරැව් කළ බවට චෝදනා එල්ලවූ 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගුවන් තොටුපළ මඟීන් පැමිණෙන පර්යන්තය අසල දී විදේශීය සංචාරකයින් අපහසුතාවයට පත්වන පරිදි ප්‍රවාහන සේවා සැපයීම සඳහා තැරැව් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඔවුන්ට ප්‍රවාහන සේවා සඳහා නිසි බලධාරියෙකුගෙන් ලබා ගන්නා අවසර පත්‍රයක් ද තිබී නැහැ.

අත්අඩංගුවට ගත් හතරදෙනා (4) මිනුවන්ගොඩ, කටුනායක, කිඹුලාපිටිය සහ ආඩිඅම්බලම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 ත් 53 ත් අතර වයස් වල පසුවන්නන් ෴


මැදවච්චිය දුම්රිය ස්ථානයේ ඉන්ධන ටැංකියෙන් රුපියල් ලක්ෂ 6 ක ඩීසල් සොරාගැනේ

(28.03.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය දුම්රිය ස්ථානයේ පිහිටි ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් 6,11,550 ක් වටිනා ඩීසල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඩීසල් ලීටර 1,500 ක් පමණ ඉන් සොරාගෙන ඇති බවටයි වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.

පසුගිය 12 වනදාත් 16 වනදාත් අතර මෙම සොරකම සිදුව ඇති බවත් පැය 24 පුරා ආරක්ෂාව ලබා දී තිබියදීත් මෙලෙස ඉන්ධන සොරකම් කිරීම ගැටලුසහගත බවද එම සන්ධානය වැඩිදුරටත් කියා සිටියා ෴


එළවළු මිල තුන් (3) ගුණයකින් පහතට

(28.03.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසන්නේ පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් (3) ගුණයකින් පහළ යාමක් බවයි.

මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන පැවසූවේ එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් (100) දක්වා අඩු වී ඇති අතර, ඊයේ (27) වන විට බෝංචි කිලෝවක මිල රුපියල් රුපියල් 100 දක්වා අඩු වී තිබිණි.

තක්කාලි රුපියල් කිලෝ එකක් රුපියල් 150 ත් – 180 ත් අතර මිලකට අලෙවි වන අතර, රුපියල් 450 කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 – 100 අතර මිලකට අලෙවි වන බව වාර්තාවෙනවා ෴


ත්‍රිකුණාමලයේ සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

(28.03.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සාම්පූර් බලාගාරය ඉදිකිරීමට තිබු ස්ථානයේම මෙගාවොට් 135 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 2 කින් ක්‍රියාත්මක කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

පළමු (1) අදියර ලෙස ඩොලර් මිලියන 42.5 ක ආයෝජනයක් යටතේ මොගවොට් 50 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ ඩොලර් මිලියන 23.6 ක වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝවෝට් 220 ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2 කින් නිම කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

දෙවන (2) අදියර ලෙස ඩොලර් මිලියන 72 ක ආයෝජනයක් යටතේ අතිරේක මෙගවොට් 85 ක ධාරිතාවයකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව සඳහන්.

අදියර දෙක (2) යටතේ ජනනය කරන විදුලිය බෙදා හැරීමට ඩොලර් මිලියන 42 ක් වැයකර කප්පල්තුරේ සිට හබරන දක්වා කිලෝවෝල්ට් 220 ක ධාරිතාවයක් සහිත කිලෝමීටර් 76 ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා ෴


අවුරුද්දක දී මිලියන 10 කට කන්න තිබූ කෑම අපතේ ගිහින්

(28.03.2023 – 10:36 +0530 – hirunews.lk/sinhala)

වසරක් තුල ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන එළවළුවලින් 19% ක් හා පළතුරුවලින් 21% ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව වාර්තාවෙනවා.

විධිමත් අන්දමින් ප්‍රවාහන කටයුතු සිදු නොකිරීම නිසා වාර්ෂිකව පාරිභෝජනයට ගත නොහැකිවන එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 221,955 ක් සහ පළතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,151 වන බව සඳහන්.

මේ අනුව 2021 වසරේ දී පමණක් අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයන් මිලියන 10 කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ද අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ හෙළිවී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීර, මහාචාර්ය උපාලි සමරවීර, මහාචාර්ය නිරන්ජලී පෙරේරා, ආචාර්ය සුමුදු වර්ණකුලසූරිය යන පිරිස සමඟ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පැවැති සාකච්ඡාවකදීයි.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ අප රටේ දැනට විධිමත් ආහාර පර්යේෂණාගාරයක් නොමැතිවීම බරපතළ අඩුපාඩුවක් බවයි.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලැබෙන අස්වනුවලින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. අපතේ යන ආහාර ප්‍රමාණය ද නාගරිකව ගත් කළ ඉතා ඉහළ මට්ටමක පවතින බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී පැවසුවා ෴


හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7 ක් කැමැත්ත ප්‍රකාශ කෙරේ

(28.03.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7 ක් ඊයේ (27) වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOI ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කරන බවයි ඔහු පවසන්නේ.


තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛන්ඩව දෙවැනි (2) දිනටත් අද (28) ක්‍රියාත්මකයි

(28.03.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛන්ඩව දෙවැනි (2) දිනටත් අද (28) ක්‍රියාත්මක වෙනවා.

ඒ, මෙරට සිල්ලර වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම සඳහා විදෙස් සමාගම් 03 කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති පසුබිමකයි.

මෙම සමාගම්වලට ලැබෙන බලපත්‍රය මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20 ක කාලයක් සඳහා බලාත්මක වනු ඇති.

+


රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(28.03.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ වියළි මුහුදු කූඩැල්ලන් 1200 Kg ක් සමග සැකකරුවන් තිදෙනෙකු (3) තමිල්නාඩු පොලීසිය විසින් පසුගිය දා (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙකු (2) තලෙයිමන්නාරමේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා රාමනාතන්පුරම් ධීවර වරායේ බෝට්ටුකරුවකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) මුහුදු කූඩැල්ලන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, ඒ සමගම ඉන්දියාවද මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, ප්‍රවාහනය හා අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති රීති දැඩි කොට තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම වියළි මුහුදු කූඩැල්ලන්ගේ වටිනාකාම ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) පමණ වන බව සඳහන්.

මෙම සැකකරුවන් තිදෙනා (3) තමිල්නාඩු අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට තමිල්නාඩු වෙරළබඩ පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴


රත්නපුරේ තවත් කාන්තාවක් ඝාතනය කෙරේ

(28.03.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – බටුගෙදර ප්‍රදේශයේ නිවසක සිටි 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇගේ වැඩිමහල් සොයුරිය එම නිවසේ සිට ඇති අතර අද (28) අලුයම් කාලයේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී මුදල් සහ රන් ආභාරණ සොයා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර රත්නපුර – නිරිඇල්ල ප්‍රදේශයේ දී ඊයේ (27) ඝාතනයට ලක්වූ බවට සැකකෙරෙන 25 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඊයේ (27) දහවල් ඇයගේ දේහය නිවසට මීටර 200 ක් පමණ ආසන්නයේ බෝක්කුවක් යට තිබී සොයා ගැනුණා ෴


ටයර් මිල පහතට

(28.03.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුව ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ 05% ක ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුනිල් ෆොන්සේකා සඳහන් කළේ පැරණි තොග, වෙළදුන් සතුව පැවතීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් නව තොග ලැබීමෙන් පසු ඉදිරි මාස තුන (3) ඇතුළත ආනයනික ටයර් මිල 15% කින් පමණ අඩුකිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා ෴


සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22 ක තොරතුරු තහවුරු කර ගෙන අවසන්

(28.03.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22 කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340 කින් ලද අයැදුම්පත් ලක්ෂ 37 ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයැදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතය 82.1% ක්.

පිළිවෙළින් අම්පාර දිස්ත්‍රික්කයෙන් 78.3% ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 74.5% ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 73.3% ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 71.7% ක් ආදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888 ක තොරතුරු තහවුරු කර ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව රජය තවදුරටත් අවධාරණය කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *