විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය

විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය


විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය

(27.03.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සමාගම් 3 ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.

එමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් බැගින් වෙන් කරනු ලැබේ.

තවද තෝරාගත් සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට අවසර හිමිවනු ඇති.

ඒ අනුව, අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන බවයි වාර්තා වෙන්නේ.

තවද එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති ෴

+

+


ජාතික ජනබලවේගයේ විරෝධතාවට එල්ලකළ කදුළු ගෑස් කල්ඉකුත් වී නොමැති බව හෙළි වෙයි

(27.03.2023 – 15:58 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල්ඉකුත්වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අද (27) අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඔහු මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

පොලිසිය එල්ලකළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එම අවස්ථාවේ දී චෝදනා එල්ල වූයේ පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවටයි.

ඒ අනුවයි මෙම කදුළු ගෑස් ප්‍රහාර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගිය 13 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවේ ෴


ව්‍යාජ වීසා සහ ගුවන් බලපත්‍ර සමඟ විදේශිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.03.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ වීසා සහ ගුවන් බලපත්‍ර උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියාවට පලායාමට උත්සහ කළ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු (2) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 ගුවන් යානයෙන් අද (27) අලුයම දිවයිනට පැමිණි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගේ (2) ගමන් මළු පරීක්ෂා කිරීමේදී ගුවන් ගමන් බලපත්‍රවල අළවා තිබූ ව්‍යාජ ලෙස සකස් කළ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකෙහි (2) ඡායාරූප සහ ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍ර දෙකක් (2) සොයාගෙන තිබෙනවා ෴


ගලි වළකට වැටුණු කොළඹ මහ නගර සභා සේවකයින් දෙදෙනා (2) මරුට

(27.03.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – හෙට්ටියාවත්ත මංසන්ධිය ආසන්නයේ මළ අපවහන පද්ධතියක් ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඊට ඇද වැටුණු කොළඹ මහනගර සභාවේ සේවකයින් දෙදෙනො (2) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් (2).

මොවුන් අද (27) දහවල් මළ අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේදී එක්වරම ඔවුන් සිහිසුන්ව ඊට ඇඳවැටී තිබෙනවා.

අද (27) පස්වරුවේ මෙම ගලි වළ හිස් කිරීම සඳහා ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

පසුව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴


නාවික හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්

(27.03.2023 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය අද (27) දහවල් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ පසුගිය දිනවල කච්චිතිවු දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

මිනිස් වාසයකින් තොර කච්චතිවු දූපතේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අනු කණ්ඩායම් ස්ථාපිත කර ඇති අතර නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉදිකර ඇති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය රැකබලා ගැනීම ඔවුන් විසින් සිදුකරනු ලබනවා.

මෙම අනු කණ්ඩයේ රාජකාරි සිදුකරන බහුතර නාවිකයින් බෞද්ධාගමිකයින් වන අතර ඔවුන්ගේ වන්දනාමාන සඳහා අනු කණ්ඩයේ භට නිවෙස අසළ කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴


උසස් පෙළ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට නැහැ

(27.03.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (28) සිට ලබන මස 06 වැනිදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) සිට නියමිත පරිදි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළා ෴


නිරිඇල්ල ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කෙරේ

(27.03.2023 – 17:10 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – නිරිඇල්ල ප්‍රදේශයේ දී ඝාතනය කරන ලද බවට සැක කෙරෙන කාන්තා මල සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිරිඇල්ල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියක්.

ඇය අද (27) උදෑසන රාජකාරි සඳහා සිය නිවසෙන් පිටව ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.

අදාළ සිරුර, ඇගේ නිවස සහ ප්‍රධාන මාර්ගය අතර පාලමක් යට සඟවා තිබියදී සොයා ගැනුණා ෴

+


කිරි තේ කෝප්පයත් ගැසට් කරන්නැයි ඉල්ලීමක්

(27.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආපනශාලා හිමියන්ගේ සංගමය අද (27) පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ ඇතැම් ආපනශාලාවල රුපියල් 90 ක මිලට කිරි තේ ලබා නොදෙන බවට වාර්තා වීම සැළකිල්ලට ගනිමින්.

රුපියල් 1,240 කට අලෙවි වූ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල අද සිට රුපියල් 80 කින් අඩු කෙරුනු අතර කිලෝ ග්‍රෑම් එකක (1) කිරිපිටි පැකට්ටුවක් රුපියල් 200 කින් අඩු කෙරුණා.

ඒ අනුව ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 1,160 ක් බවත්, කිලෝ ග්‍රෑම් එකක (1) කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2,900 ක් බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා. එහෙත් අඩුකළ මිලට අද (27) දිනයේ කිරිපිටි මිලට ගැනීමට නොතිබූ බවයි ජනතාව චෝදනා කළේ.

මිල අඩු කිරිමත් සමඟ කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 ක් දක්වා අද (27) සිට අඩු කිරිමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කළා.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ, අඩු කල මිලට ඇතැම් ආපන ශාලා හිමියන් කිරි තේ ලබා දීමට කටයුතු නොකළ බවයි.

එමෙන්ම ආපන ශාලා හිමියන් ද කිරි තේ මිල ගණන් අඩු කළ නොහැකි බවයි සඳහන් කළේ.

මෙවන් පසුබිමකයි කිරි තේ කෝප්පයක මිල ගැසට් කරන්නැයි ඉල්ලා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පැමිණිලි කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය අද (27) පියවර ගනු ලැබුවේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහළ දැමූ භාණ්ඩ බොහොමයක මිල ගණන් වෙළදුන් විසින් පහත දමා නැහැ.

ඒ සම්බන්ධයෙන් සහ කිරි පිටි මිල ගණන් පිළිබඳව අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ලගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සමාගම් අඩුකළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් කිරිපිටි අඩුකිරීමේ හැකියාව පවතින බවයි.

+


රන් මිල පහතට

(27.03.2023 – 20:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට රන් මිලෙහි පහත යෑමක් අද (27) දක්නට ලැබුණා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,58,300 ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,72,000 ක් ලෙසයි දැක්වුණේ.

පසුගිය සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල 1,63,800 ක් ලෙස සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 1,78,00 ක් ලෙස දැක්වුණා ෴


පුරාවිද්‍යා ස්ථානයේ දේව ප්‍රතිමා කඩා ඉවත්කරලා… විරෝධතා…

(28.03.2023 – 02:10 +0530 – lankacnews.com)

වව්නියාව නෙඩුන්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමියේ තාවකාලිකව ඉදිකොට තිබූ හින්දු දේව ප්‍රතිමා කිසියම් පිරිසක් විසින් 26.03.2023 දින කඩා ඉවත් කොට ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

වෙඩුක්කුනාරි පුරාවිද්‍යා ස්ථානයේ හින්දු බැතිමතුන් විසින් තාවකාලිකව ශිව දෙවියන්ගේ ඇතුලු දේව ප්‍රතිමා තැන්පත් කොට වන්දනා කටයුතු සිදුකොට ඇති අතර 26 දින කිසියම් පිරිසක් රහසිගතව පැමිණ අදාල දේව ප්‍රතිමා කඩා කැලයට විසිකොට දමා ඇතැයිද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය.

මෙම පුරාවිද්‍යා ස්ථානය 2013 වසරේදී නෙඩුන්කේනි වැසියන් පිරිසක් විසින් පිරිසිදු කොට සිව දෙවියන්ගේ ප්‍රතිමාවක් තබා වන්දනාමාන සිදුකලද පසුව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී එහි නිලධාරීන් මෙම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් පවතින බැවින් මෙය වඩුන්නාගල වශයෙන් හැඳින්වීය.

කෙසේ නමුත් අදාල ස්ථානය හින්දු බක්තිකයින්ගේ වන්දනීය ස්ථානයක් බව ප්‍රදේශවාසීන් ඇතුලු සංවිධාන කිහිපයකින් නැගුනු විරෝධතාවන් හේතුවෙන් 2021 වසරේදී වව්නියාව අධිකරණයේදී නඩුවක්ද ගොනු කොට ඇත.

මේ අතර වෙඩුක්කුනාරි ස්ථානයේ තිබූ දේව ප්‍රතිමා කඩා විනාශ කිරීමට එරෙහිව යාපනයේ හින්දු කොවිල් පූජකවරුන්ගේ සංවිධානයක් මගින් විරෝධතාවක්ද යාපනය හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී 26.03.2023 දින සවස පැවත්වුණි.

කෙසේ වෙතත් අදාල ස්ථානයේ හින්දු දේව ප්‍රතිමා විනාශ කිරීම සමබන්ධයෙන් පරික්ෂණයක් සිදුකිරීමට නෙඩුන්කේනි පොලීසිය පියවර ගෙන ඇත.

වන්නි රොමේෂ් මධුෂංඛ


මං පණ අදින වෙලාවෙ ස්වේතා කරපු දේ මම අහසෙ ඉඳන් බලන් හිටියා – එයා කවදහරි මේ නොදන්න රටේ තනිවේවි (27.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *