දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක්

දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක්


දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක්

(26.03.2023 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ඇඟලුම් කර්මාන්තය යනු මෙරටට විදේශ විනිමය සපයනු ලබන ප්‍රධාන ක්ෂේත්‍රයක්.

දෑස් නොපෙනෙන පිරිසක් එක්ව විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් පිළිබඳ තොරතරු අපට වාර්තා වුණේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයෙන්.

දෑස් නොපෙනීම ජීවිතය ගැන කල කිරීමට කිසිසේත් හේතුවක් වෙන්නේ නැහැ.

සුළු ආබාධයක් ඇති විට අනුන්ට අතපා ජීවත්වෙන මිනිසුන් සිටින සමාජයක සමාජයට ආදර්ශයක් සපයමින් ඇඟලුම් ක්ෂේත්‍රෙය් විලාසිතා මවන දෑස් නොපෙනෙන සේවිකාවන් පිරිසක් ගැනයි මේ..

නේත්‍රාංජලී නම් මෙම කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ.

මේ වන විට කාන්තාවන් 3 ක් සහ පිරිමි පුද්ගලයින් සිව් (4) දෙනෙක් ලෙස සේවක සේවිකාවන් 7 ක් මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරනු ලබනවා.

එක් (1) අයෙකු පමණක් දෑස් පෙනෙන අයෙකු ලෙස සේවය කරනු ලබන අතර ඇය ද පාදවල ආබාධයක් නිසා ඇය සේවය ලබා දෙනු ලබන්නේ ද රෝද පුටුවක ආධාරයෙන්.

දිනකට මෙම පිරිස අතින් ගවුම් 12 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වන අතර මෙහි විශේෂත්වය වන්නේ දේශීයත්වයට මුල් තැන දෙමින් මෙම සියල්ල පරිසර හිතකාමී ලෙස නිර්මාණය කිරීමයි.

රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුධය තවතවත් උග්‍ර අතට පත්කරන දෑස් පෙනෙන මිනිසුන් පවා සිටින අවදියක දෑස් නොපෙනුන ද පසුබට නොවී තමන්ට කළ හැකි පමණින් කිසිවෙකුටත් බරක් නොවී දිවි ගෙවන මෙම පිරිස රටටම හොඳ ආදර්ශයක්.

+


ගත වූ දින 20 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 75,000 ඉක්මවයි

(26.03.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මාසයේ මේ දක්වා ගතවූ දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247 ක් පැමිණ තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431 ක්.

ඉන් 16,588 දෙනෙකුම රුසියානු ජාතික සංචාරකයින් වන අතර සෙසු පිරිස ඉන්දියාව, ජර්මනිය, ඇමරිකාව, ප්‍රංශය ආදි රටවලින් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ෴


මැතිවරණ කොමිෂන් සභාව අගමැතිට කළ විශේෂ ඉල්ලීම

(26.03.2023 – 15:16 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙසට මැතිවරණ කොමිසන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වෙත ලිඛිතව මෙම ඉල්ලීම ලැබී තිබූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මෙමඟින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන සතියේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත සාකච්ඡාවක් ලබාදෙනු ඇති බවටයි වාර්තා වන්නේ ෴


ගුවන් තොටුපළේ ව්‍යාජ බෝම්බ අනතුරු ඇඟවීමක් කළ කළුබෝවිල පාසල් සිසුවාට පොලිස් අවවාද

(26.03.2023 – gossiplankanews.com)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ II පර්යන්තයට ව්‍යාජ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් දුන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන්තොටුපල පොලිසිය විසින් ඊයේ (25) ප්‍රශ්න කිරීමට ලක් විය.

එම පාසල් සිසුවා ඊයේ (25) BIA හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී පර්යන්තයේ ඇති බෝම්බයක් පිළිබඳව ඔවුන්ට පවසා ඇත.

නිලධාරීන් පර්යන්තය පරීක්ෂා කරන විට සිසුවා මිනිත්තු කිහිපයකින් නැවත ඇමතුමක් ලබා දී බෝම්බ තර්ජනයක් නොමැති බවත් එය විහිළුවක් බවත් දන්වා තිබේ.

පොලිසිය කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ගැටවර වියේ පාසල් සිසුවා කැඳවා ඔහුගේ ඇමතුම ලබාදීම ගැන විමසා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් පවතින බරපතලකම ගැන නොතේරුණ බවත් ප්‍රතිවිපාක නොදැන සිටි බවත් සිසුවා ප්‍රකාශ කර තිබේ.

ක්‍රියාවේ බරපතලකම කියාදීමෙන් පසු සිසුවාට දැඩි ලෙස අවවාද කර පොලිසිය ඔහුව නිදහස් කර ඇත ෴


කළුතර දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත ලංගම බස් රථ ප්‍රදානයක්

(26.03.2023 – 20:44 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර, මතුගම සහ අළුත්ගම ඩිපෝ වෙත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ලංගම බස් රථ ප්‍රදානය කිරීමක් අද සිදු වුණා.

එහිදී, තම නිෂ්පාදන රටේ ඕනෑම මහා මාර්ගයක් දෙපස තබා අලෙවි කරගැනීමට ජනතාවට අප්‍රේල් මස පළමු (01) වැනිදා සිට දින 12 ක කාලයක් ඉඩ ලබා දෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ඉල්ලීම් කර මෙම අවස්ථාව ලබා ගත හැකි බවයි.

+


විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු සිවු (4) දෙනකුට ජිවිතයදී ජිවිතයෙන් සමුගත් මලියදේවයේ විහඟනා

(27.03.2023 – gossiplankanews.com)

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය.

මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් (2) එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී එලෙස සිදුකළ සාර්ථක වූ ප්‍රථම සැත්කම ද මෙය විය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එය සිදු කර තිබේ.

නමුත්, මොළය මියගිය පුද්ගලයකුගෙන් ලබා ගත් අවයව කොටස් දෙකක් (2) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියකුට බද්ධ කර නැවත ජීවිතය ලබා දීමේ සුවිශේෂී සැත්කමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කෙරිණි.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේදී උසස් පෙළ හදාරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි ‘විහඟනා ආරියසිංහ’ දැරියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු වෙනත් රෝගියකුට එලෙස බද්ධ කෙරිණි. මේ අවයව දෙකම (2) බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම තවත් සුවිශේෂී සිදුවීමකි.

මීට පෙර මෙරටදී සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවත්, මෙවර අවයව දෙකම (2) එකවර බද්ධ කර තිබේ.

විහඟනාගේ සිරුරෙන් අවයව ලබා ගන්නා අවස්ථාවේදී පැය බාගයක (½) පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණද එය බාධාවක් නොකර ගත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ඉතා සාර්ථකව ඇයගෙන් අවයව වෙන් කරගෙන ඇත.

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙක (2) ද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට (2) සාර්ථකව බද්ධ කර තිබේ. ඉන් එක් (1) වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව ප්‍රකාශ කළේය.

මෙම දැරියගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනකුට (3) නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.

මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5 ක් පුද්ගලයන් හත් (7) දෙනකුටම තවත් කලක් නිරෝගීව සිටීමට උපකාර වී තිබේ. විහඟනා සිදු කළ මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් ඇයට උපහාර පුද කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ලිපියක් ද නිකුත් කර තිබේ.

විහඟනාගේ අවයව බද්ධ කරනු ලැබූ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව සඳහන්ය.

විහඟනා ආරියසිංහ යනු අඹන්පොළ නගරයේ පදිංචි දරුවන් තිදෙනකු (3) ගෙන් යුත් පවුලක බාලම දරුවාය. ඇයට වැඩිමල් සොයුරියක් සහ සොයුරෙක් සිටිති. සොයුරිය මලියදේව බාලිකාවෙන් උසස් පෙළ සමත්ව වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටියි. විහඟනා මහව ගජනැග්ගම මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව, පසුව උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම සඳහා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට ඇතුළත්ව සිටියාය.

පසුගියදා අවසන්වූ උසස් පෙළ විභාගයට ද ඇය සාර්ථකව පෙනී සිට තිබිණි. ඉන් පසුව ඇය තම සොයුරිය ද සමග ගොස් අනුරාධපුරයේ ඉදි කෙරෙමින් පවතින ‘සඳහිරු සෑයේ’ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයටද දායක වූයේ හදපිරි සතුටිනි. පිංකම්වලට දායක වීම විහඟනා කුඩා කළ සිටම ඉතා ආසාවකින් කළ දෙයකි.

එම පිංකමට සහභාගි වී ආපසු නිවසට පැමිණි විහඟනා හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් රෝගාතුරව ඇත. ඊට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය 17 වැනිදා ඇය ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහිදී සිහිය නොලබාම ඇය මරණයට පත්ව ඇත.

මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළය මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වාම හටගෙන තිබූ පිළිකාව මොළය තුළ ඔඩු දුවා තිබීමෙන් ඇයගේ මරණය සිදුව ඇති බව පැවසේ. පසුව පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දීම සිදුකෙරිණි.

විහඟනා ඒ වනවිටත් වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම සොයුරිය ද සමඟ එක්ව මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බවද පැවසේ.

අවසනදී ඇයගේ සිරුරු කොටස් දන් දීමේ සිතිවිල්ල සැබෑවක් බවට පත් වූයේ තවත් කිහිපදෙනකුටම දිගු කලක් ජීවත්වීමේ වාසනාව උදාකරමිනි.

විහඟනාගෙන් ලබා ගත් ශාරීරික අවයව ඉතා නිරෝගී තත්ත්වයක පැවැති බැවින් එම අවයව බද්ධ කළ පිරිස දිගු කලක් නිරෝගීව සිටිනු ඇතැයි වෛද්‍යවරු විශ්වාසය පල කළහ.

“විහඟනා කියන්නේ මගේ පන්තියේ සිටි අහිංසකම සිසුවියක්. එයා අහිංසක වගේම හරිම පරිත්‍යාගශීලී කෙනෙක්. තමන් සතු ඕනෑම දෙයක් අනෙක් අයට නොපැකිලව දීමට තරම් පරිත්‍යාගශීලී කෙනෙක් වුණා. එයාගේ දැඩි විශ්වාසයක් තිබුණා උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා අක්කා වගේම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබන්න. නමුත්, ඒ දරුවාගේ වගේම දෙමාපියන්ගෙත් හීන සියල්ලම බොඳ වෙලා ගිහින් ඉවරයි. ඒත් මේ දරුවා දන් දුන්න ශාරීරික අවයව වලින් මේ වනවිට රෝගී පුද්ගලයන් හය දෙනෙකුටම නිරෝගීව ජීවත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මහඟු පිනම ඇති මේ දරුවාට නැවත නිරෝගීමත් ජීවිතයක් ලබන්න” යැයි විහඟනාගේ පංති භාර ගුරුවරිය වූ ලක්මිණි සමරකෝන් පැවසුවාය.

(පුෂ්පකුමාර ජයරත්න)

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *