රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක්


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක්

(26.03.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිල දී ගැනීම සහ ඖෂධ කල්ඉකුත්වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 191 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ඇමරිකාවේ ජෝන්-හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක, ඖෂධ හා සෞඛ්‍ය කළමණාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සංජය පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ 2020/21 විගණන වාර්තාවෙන් මේ බව අනාවරණ කර ඇති බවයි.

එමෙන්ම ඉන්දීය ණය පහසුකම යටතේ ලබාගත් ඖෂධ වර්ග 200 කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල දී දිවයිනට ලැබෙමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කළා.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ‘සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

එහි සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා ෴


දියාගෝ ගාෂියා දූපතේ පිරිස ගැන විදේශ අමාත්‍යාංශයේ අවධානය

(26.03.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති මගින් අනාවරණ කළ බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දියාගෝ ගාෂියා දූපතේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ආපසු ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට (26) සාකච්ඡා සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය රජය සමඟ එම සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරෙන බව සඳහන්.

එම පිරිස යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

මෙරට සිට නීතිවිරෝධී අයුරින් කැනඩාව බලා පිටත්ව යෑමට ගොස් යාත්‍රාව අනතුරට ලක්වීමත් සමඟ එහි සිටි ශ්‍රී ලාංකිකයින් 57 දෙනෙකු මේ වනවිට ඩියාර්ගෝ ගාෂියා දූපතේ රැඳී සිටිනවා.

වර්ග කිලෝමීටර් 30 ක පමණ වපසරියකින් යුත් එහි ස්ථිර බ්‍රිතාන්‍ය අමෙරිකා ඒකාබද්ධ කඳවුරක් ක්‍රියාත්මකයි.

එහි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස පසුගිය 19 වනදා සිට විරෝධතාවල නිරතව ඇති අතර, කිහිප දෙනෙකු සියදිවි නසා ගැනීමට ද උත්සාහ කර තිබෙනවා.

එහි සිටි අයෙකු හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ඔවුන් මුහුණපාන අපහසුතා පැහැදිලි කළ අතර, බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එම දූපතෙන් වෙනත් ස්ථානයකට ඔවුන්ව රැගෙන යන ලෙසයි ෴


හෝමාගම වෙඩි තැබීම පිටුපස පාතාල සබඳතාවක්

(26.03.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – මාඹුල්ගොඩ බස් රථ ගාලක ඊයේ (25) සිදුවූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ ක්‍රියා රැසක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති දැනට විදේශ ගතව සැඟව සිටින ‘අතුරුගිරියේ ලඩියා’ නැමැත්තා මීට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

ඔහුගේ අනුදැනුම මත ‘අතුරුගිරියේ ජෙරම්’ නැමැත්තෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඊයේ (25) රාත්‍රි අටට (8) පමණ හෝමාගම – මාඹුල්ගොඩ රණසිංහ මාවතේ බස් රථයක් තුළ දෛනික වැඩමුරය අවසන් කළ සේවකයන් අටදෙනෙකු (8) පමණ කථාබහක නිරතව සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීම සිදුකර පලාගිය බවටයි පසුව අනාවරණ වුණේ.

එම අවස්ථාවේ එහි සිටි එක් බස් රථ සේවකයෙකු සැකකරුවන් හඳුනාගෙන තිබුණා.

මීට දින 3 කට පෙර ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ‘අතුරුගිරියේ ජෙරම්’ නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට අදාළ තොරතුරු පොලිසියට ලබා දී ඇත්තේ වෙඩි තැබීමට ලක්වූ බස් රථයේ හිමිකරු බවට මතු වූ සැකය මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි මූලික පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ ෴


පැෆරල් සංවිධානයෙන් චෝදනාවක්

(26.03.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ආසන්නතම දිනයක පළාත් පාලන හෝ පළාත් සභා ජන්ද විමසීම පැවත්වීමේ කිසිදු සුදානමක් ආණ්ඩුවට නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ විශේෂඥ කමිටු පත් කිරිමේ ආණ්ඩුවේ සුදානම මගින් එය තහවුරු වන බවයි.

මේ අතර, ජන්ද විමසීමට අදාලව මේවන විට රුපියල් මිලියන 200 කට ආසන්නව කාර්යයන් සිදු කර අවසන් බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා.

මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළේ ඒ සදහා මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක මුදලක් පමණක් බවයි.

මෙවර පළාත් පාලන ජන්ද විමසීමේ ජන්ද පත්‍රිකා සහ ඊට අදාල සියලුම මුද්‍රණ කටයුතු සදහා රජයේ මුද්‍රණාලයට රුපියල් මිලියන 533 ක් වැයවනු ඇති බවට ඇස්මේන්තු ගත කල බව ද ඇය කියා සිටියා.

ජන්ද විමසීමට අවශ්‍ය 1,87,00,000 වන ජන්ද පත්‍රිකා වලින් මේවන විට මුද්‍රණය කිරීමට හැකි වි ඇත්තේ ජන්ද පත්‍රිකා ලක්ෂ 3 ක් පමණයි.

ඉතිරි කාර්යයන් සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මහභාණ්ඩාගාර ලේකම්වරයාට රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ලිපියක් පසුගියදා යොමුකර තිබුනා.

ඒ පිළිබදව මුදල් අමාත්‍යවරයාව දැනුවත් කල බව භාණ්ඩාගර ලේකම්වරයා දැනුම් දි ඇති බවයි අප කළ විමසීමකදි ඇය වැඩිදුරටත් සදහන් කළේ ෴


මූල්‍ය අරමුදලෙන් වෘත්තියවේදීන්ට ඇමතුමක්

(26.03.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී තිබෙනවා.

ඒ, වොෂින්ටනයේ පිහිටි අයි.එම්.එෆ්. ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර සූම් තාක්ෂණය ඔස්සේ පෙරේදා (24) පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෘත්තියවේදීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වූ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළා.

+


තම මව ඝාතනය කළ සෙබළ පුතු වසර අටකට (8) පසු අත්අඩංගුවට

(26.03.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව – අයිතිගෙ වැව ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර අටකට (8) පසු යුද හමුදා සෙබළෙකු වන ඇයගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 වසරේ ජූනි මස 05 වනදා 50 හැවිරිදි මෙම කාන්තාව නිවස තුළදී ගෙළ සිරකර ඝාතනය කර තිබුණා.

පසුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කළ අතර, එහිදී අනාවරණ වූයේ ඝාතනය සිදුකර ඇත්තේ සෙබළ පුත්‍රයා විසින් බවයි.

ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක යුද හමුදා කඳවුරේ සේවය කළ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴


මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් කැපීමට යොදාගත් කඩුව සොයාගනී

(26.03.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් කැපීමට යොදාගත් කඩුව, කොරළවැල්ල වෙරළේ ගල් අතර සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් එම දෑත් එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි පාළමකින් මුහුදට දමා ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇති බවයි ගල්කිස්ස අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.

පසුගිය 21 වැනිදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුටයි.

පහරකෑමෙන් දෑත් අහිමි වූ දෙදරු පියෙකු වන එම පුද්ගලයා මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා ෴


මරණ මතින් දිවෙන පාලම

(26.03.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ගමන් කිරීමට ආරක්ෂිත මාර්ගයක් හෝ නිසි පහසුකම් නොමැති වීමෙන් හාලි ඇළ – බෝගොඩ ගම්මානයේ දරුවන් තවමත් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ගම්වැසියන් චෝදනා කරනවා.

ඒ, පසුගිය 23 වැනිදා පැවති වර්ෂාව සමග ජල පහරකට හසුව අවුරුදු 10 ක සහ 7 ක එකම පවුලේ දරුවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ පසුබිමකයි.

දරුවන්ගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ හාලි ඇළ – බෝගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

වයස අවුරුදු 10 ක් වු යසිදු උමේෂ් හා ඔහුගේ 7 හැවිරිදි නැගණිය වන දස්මි නිතිකා රටක් හඬවමින් පසුගිය 23 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ, රැකියාවට ගොස් සිට මව, කෑමත් රැගෙන නිවසට පැමිණීමටත් පෙරයි.

ජීවිතයේ දිග පළලවත් නොදත් මේ දරු පැටවුන්ගේ අවසන් හුස්ම, නිවස ඉදිරිපිට ඇති මේ ඇළ පාරේ සැඟව ගියේ හවුහරණක් ඉල්ලුවත් ඊට ඉඩ නොදුන් ධාරාණිපාත මහ වැස්සක් හේතුවෙන්.

දරු පැටවුන් සොයා නිවසට පැමිණි මවට පුංචි පැටවුන්ගේ නිසළ සිරුරු සොයා ගැනීමට පාර කියා තිබුණේ ඇළ මාර්ගය අසළ තිබී හමු වූ කුඩයක් හා සරමක් පමණයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ හාලි ඇළ පොලිසිය සහ යුද හමුදාව, ඇළේ පහළ කොටසේ තිබී 7 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගත් අතර අවුරුදු 10 ක් වු යසිදු උමේෂ්ගේ සිරුර පසු දින හමුවුණේ, නිවසින් කිලෝමීටර් 3 ක් පමණ දුරකින් පිහිටි උමා ඔයේ අතු ගංඟාවක රැඳී තිබියදීයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දරුවන්ගේ සිරුරු නිවසේ තැන්පත් කර තිබුණා.

හාලි ඇළ බෝගොඩ ගම්මානයේ පොදු සුසාන භූමියේදී මේ දරුවන් අද (26) පස්වරුවේ අවසන් ගමන් යෑමට නියමිතව ඇත්තේ, මෙම ගම්මානයේ ජීවත් වන තවත් දරුවන්ට ඇති ජීවිත අවදානම මෙතෙක් පහව ගොස් නොමැති පසුබිමකයි.

ගමකට පැවතිය යුතු මූලික පහසුකම්වත් ලබා දීමට උත්සුක නොවූ දේශපාලනඥයින් දශක ගණනාවක සිට සෑම මැතිවරණයකම ඔවුන්ට ලබා දී ඇත්තේ පොරොන්දු පමණක් බවට ජනතාව චෝදනා කරනවා.

මාර්ගයක්, පාලමක් හෝ ප්‍රවාහන සේවාවක්වත් නොමැතිව ජීවිතය සමග පොර බදන මේ මිනිසුන්, තම පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් මේ දුෂ්කර මාර්ග දශක කීයක් නම් තරණය කරාවිද ?

එතෙක් නෑසු කන්ව සිටින දේශපාලන අධිකාරියේ දෑස් විවර වීමට ජීවිතයෙන් වන්දි ගෙවූ යසිඳු උමේෂ් හා ඔහුගේ 7 හැවිරිදි නැගණියගේ ජීවිත පමණක් ප්‍රමාණවත් වේවි ද යන්න තවමත් ගැටලුවක්.

+


දොපා සතාගේ අවින‍යෙන් වැනසෙන බඩගමුව රක්ෂිතය

(26.03.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ජනතා බදු මුදලින් ඉදිකළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව විනාශ වෙමින් යන අවස්ථා පිළිබඳව, හිරු ප්‍රවෘත්ති බොහෝ අවස්ථාවල වාර්තා කර තිබෙනවා.

කුරුණෑගල බඩගමුව රක්ෂිතයේ ඉදි කළ එවැනිම වූ තවත් අසාර්ථක ව්‍යාපෘතියක් පිළිබඳ තොරුතුරුයි මේ….

2019 – 2020 කාලය තුළදී කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතයේ මෙම වැසිකිළි පද්ධතිය ඉදිකිරීම් ආරම්භ කරන්නේ, දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව සඳහායි.

මාර්ග සංවර්ධන අධිකාරිය ඒ වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 15 ඉක්මවනවා.

මෙම මාර්ගයේ ගමන්ගන්නා බොහෝ පිරිසක් එහි නැවතී සුන්දරත්වය විඳීමට දැඩි රුචිකත්වයක් දක්වන්නේ, මාර්ගය දෙපස ඇති රූස්ස ගස් හේතුවෙන් සහ එහි ඇති සිසිලස නිසාමයි.

එහි පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය, වසර 3 ක් පමණ තිස්සේ මහජන භාවිතයට ඉඩ ලැබී නැහැ.

මහජන බදු මුදලින් ඉදිකිරීම් ආරම්භ කර, ජනතා අයිතියට පත් කිරීමෙන් අවසන් විය යුතු සංවර්ධන ව්‍යාපෘති තවමත් මෙලෙස ඉබි යතුරු දමා වසා තිබීම විමතියට කරුණක්.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් ගමන් කරන පිරිස් මෙන්ම ප්‍රදේශවාසීන්ද අද මෙම ස්ථානය භාවිත කරන්නේ, කැළිකසළ බැහැර කරන ස්ථානයක් ලෙසින් පමණයි.

ඒ හේතුවෙන් මෙම රක්ෂිතය මේ වනවිට රිලවුන්ගේ සහ ගවයින්ගේ භෝජනාගාරයක් බවට පත්ව අවසන්.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙමින් පවතින මෙවැනි සමයක සංචාරක ආකර්ශනය තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් මෙවැනි ස්ථාන කඩිනමින් ජනතා අයිතියිට පත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් නිවෙස්වලින් බැහැර කරන කැළිකසළ ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීම සහ මෙවැනි ස්වභාවික සම්පත් රැක ගැනීම ජනතාව වන අපගේද වගකීමක් වනවා.

එමෙන්ම, මෙවැනි ස්වාභාවික පාරිසරික පද්ධති මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවීම වළක්වා ගැනීමට බලධාරීන් ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව නොරහසක්.

+


ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අප්‍රේල් 29 ඇරඹේ

(26.03.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පාන්ඩිචේරි, කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරය වරාය දක්වා ක්‍රියාත්මක මගී යාත්‍රා සේවය අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඒ සඳහා මගී පර්යන්තයක් ද කන්කසන්තුරය වරායේ ඉදිකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50 ක් අයකෙරෙන බවත් වරකට මගීන් 150 දෙනෙකු රැගෙන යා හැකි යාත්‍රා ඊට යොදවන බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය නිවේදනය කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *