ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි


ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි

(25.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධිව කැනඩාව බලා පිටත්ව යාමට ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවක සිට 57 දෙනෙකු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් ඩියාර්ගෝ ගාසියා දූපතේ රැඳී සිටින බවට ඉන් එක් පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ප්‍රකාශ කළා.

ඩියාර්ගෝ ගාසියා යනු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දූපතක්.

වර්ග කිලෝමීටර 30 ක වපසරියකින් යුතු එහි මේ වන විට ස්ථීර බ්‍රිතාන්‍ය ඇමරිකා ඒකාබද්ධ කඳවුරක් ක්‍රියාත්මකයි.

මෙම පිරිස එම තත්වයට මුහුණ දුන් ආකාරය අදාළ පුද්ගලයා පැහැදිළි කළේ මෙලෙසින්.

“අපි පසුගිය 19 වෙනිදා ඉදන් කන්නෙවත් නැතුව උද්ඝෝෂණය කළා.

එතන අපේ පොඩි ළමයිනුත් හිටියා. අපි ඔක්කොම 57 ක්. ඒ වෙලාවේ 10 ක් විතර කලන්තෙදාල වැටුණා. එයාලා අපි දිහා බැලුවෙවත් නැහැ.

තුන්වේල ම අපිට කන්න දෙනවා. හැබැයි කවදාවත් තුන්වේලම කාලා නැහැ. දැන් මාස 18 ක් වෙනවා අපි මෙහෙට වෙලා.

මන්නාරම් – පේසාලෛයි ඉදලා අපි බෝට්ටුවකින් තමිල්නාඩුවට ආවා. ඊට පස්සේ තවත් බෝට්ටුවකින් තමයි කැනඩාවට යන්න ගියේ. දවස් 10 ක් විතර යනකොට බෝට්ටුව ගැලවුණා. අපිට බොන්නවත් වතුර ඉතුරු උනේ නැහැ. ඊට පස්සේ තමා ළඟම තිබ්බ මේ දූපතට ආවේ.

එතන හිටියේ හමුදාවේ අය. මුලින් ම එයාලා අපිට කිව්වේ, දවස් 2 ක් ඉන්න කියලා. පස්සේ බෝට්ටුව හදාගෙන සති 4 ත් 6 ක් අතර කාලයක් ඉන්න කියලා කිව්වා. ඒක විශ්වාස කරලා හිටියා. දැන මාස 18 ක් වෙනවා.

මේකේ ඇතුලේ අපිට කොහෙවත් ඇවිදින්න බැහැ. අපි හැමෝම ඉන්නේ කූඩාරම්ක් ඇතුළේ. අපි වෙන කොහේ හරි ගෙනිහින් සාමාන්‍ය ජනතාව ඉන්න තැනකට දාන්න කියලා ඉල්ලනවා”.

+


කෘෂිකර්ම ඇමතිගෙන් තෙල් සංස්ථාවට චෝදනා

(25.03.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් සහනාධාරයක් ලබා දුන්නද ඉන්ධන පිරවුම්හල්වලින් නියමිත පරිදි ඉන්ධන නොලැබෙන බවට ගොවීන් චෝදනා කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු මේ බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් අප විමසීමක් කළ අතර එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

ඊට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේ දී විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


‘වයිකින් නෙප්චූන්’ දිවයිනට

(25.03.2023 – 09:19 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් 900 ක් සහ කාර්ය මණ්ඩලයේ 463 දෙනෙකුගෙන් සමන්විත වයිකින් නෙප්චූන් නැමති මගී ප්‍රවාහන නෞකාවක් අද (25) කොළඹ වරායට සේන්දු වුණා.

තායිලන්තයේ සිට පැමිණි මෙම නෞකාව නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක්.

මෙ නෞකාවෙන් පැමිණි සංචාරකයින් අනිද්දා (27) දක්වා මෙරට රැඳී සිටින අතර, ඔවුන් එම කාලසීමාව තුළ කොළඹ, මහනුවර, ගාල්ල, බෙන්තොට සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරයක නිරතවීමට නියමිතයි.

+


රට රැකියාවට යන අයට පණිවිඩයක්

(25.03.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට සිය කාර්යාංශයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිවීමට මේ වනවිට අවස්ථාව සළසා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ http://www.slbfe.lk/ වෙබ් අඩවියේ ඇති ‘ඔන්ලයින් සෙල්ෆ් රෙජිස්ට්‍රේෂන්’ වෙත පිවිසීමෙන් මෙම ලියාපදිචිය සිදුකරගත හැකි බවයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන කෙටි දුරකථන අංකය ඔස්සේද ලබාගත හැකියි ෴


රාජ්‍ය සේවක වැටුප් හා දීමනා අප්‍රේල් 10 ට පෙර

(25.03.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවිම හා සමෘද්ධි දිමනා ගෙවීම අප්‍රේල් මස 10 වැනිදාට පෙර සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු වැඩිදුරටත් සහදන් කළේ, එම කාර්යය සුවිශේෂී කළමණාකරන වැඩපිළිවෙළක් තුළ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද පෙර සිදු කළ ලෙස ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම දීමනා ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍යවරයා සදහන් කළේ.

මේ සදහා රුපියල් බිලියන 140 ක පමණ මුදලක් වැය වන අතර අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍ය පරිදි කළමණාකරණය කර වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

+


ඉන්දියාවේ සිට ආ පූජකවරයෙකු ආපසු හරවා යැවේ

(25.03.2023 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ ආශිර්වාද දේව මෙහෙයක් සිදුකිරීමට සූදානම් වූ පූජකවරයෙකු ඇතුලු සිව්දෙනෙකු (4) නැවත ඉන්දියාව වෙත හරවා යවා තිබෙනවා.

ඒ, ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන්.

ඔවුන් ව්‍යාපාරික වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර, එල්ලවූ විරෝධය හමුවේ ඊයේ (24) පස්වරුවේ යළි ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබුණා ෴


පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක් – මාස තුනකින් (3) පොලිස්පතිකම දේශබන්දුට

(25.03.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

වතමන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් මාස තුනක (3) සේවා දිගුවක් ලබා දීමටත් ඉන් අනතුරුව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට ලබා දීමටත් තීරණය වී ඇති බව වාර්තා වනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා කාලය අදින් (25) අවසන් වීමට තිබුණා ෴


දූර දෘෂ්ඨිකත්වයේ වැඩිවීමක්

(25.03.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 3 ඇතුළත ලෝකයේ බොහෝ පිරිසක් ‘දූර දෘෂ්ටිකත්වය’ හෙවත් ‘මයෝපියා’ රෝගී තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා කාලය තුළ දී බොහෝ පිරිස් පරිගණක සහ දුරකථන භාවිතයට යොමුවීමත්, වැඩිවෙලාවක් ඇසිපිය නොහෙළීම නිසා මෙම රෝගී තත්ත්වයට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර 2050 වසර වනවිට ලොව පුරා ජනගහණයෙන් හරි අඩක් එනම් සියයට 50 ක් මෙම ‘මයෝපියා’ රෝග තත්වයට ගොදුරුවිය හැකි බවටයි විදෙස් වාර්තා පවසන්නේ.

2010 වසරේ දත්ත වාර්තාවලට අනුව ලෝක ජනගහණයෙන් සියයට 27 කට මෙම රෝගී තත්වය වාර්තාවී තිබුණා.

මෑත කාලයේ මෙම රෝගී තත්වය සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වැඩිවශයෙන් වාර්තාවී ඇත්තේ නැගෙනහිර සහ ගිණිකොණ දිග රටවලින්.

එමෙන්ම දකුණු කොරියාව, තායිවානය, ජපානය, චීනය, සිංගප්පූරුව රටවලින් වාර්තාවන රෝගීන් ප්‍රමාණය සියයට 80 ත්, 90 ත් අතර වනවා. ඇමරිකාවේ එම සංඛ්‍යාව සියයට 42 ක්.

කෙසේ වෙතත් ඉදිරි වසර 30 ඇතුළත ඇමරිකාවේ මෙම සංඛ්‍යාව දෙගුණයක් (2) වන ඇති බවටයි ලෝක සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ ෴


මැණික් සහ රත්තරං ප්‍රශ්න ගැන පාර්ලිමේන්තු වාර්තාවක්

(25.03.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගැටලු‍ රැසක් ඇති බවට ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාවේ දෙවැනි (2) වාර්තාවෙන් අනාවරණ වී තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ ගෝලීය මූලස්ථානයක් බවට හොංකොං හා බැංකොක් පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය බොහෝ දුරට අගය එකතු කිරීමකින් තොරව අදාළ වෙළදපොල කරා ගලා යන බව එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව වැනි රටවලින් රළු මැණික් ආනයනය කරන අතර ආනයන අපනයන ක්‍රියාවලියේ දී පනවා ඇති බදු හා ව්‍යාපාරික ලාභ මත අපනයන පනවා ඇති බදු ක්‍ෂේත්‍රය දුර්වල හා අධෛර්ය කරන බවට ද ඉන් හෙළිවී තිබෙනවා.

මේ අතර, දැනට පෞද්ගලික ඉඩම්වල කැණීම් කටයුතු බොහෝදුරට අවසන්ව ඇති අතර ඉතිරිව ඇත්තේ රාජ්‍ය ආයතන සතුව ඇති කැණිම් සදහා විභවයක් සහිත ඉඩම් බව සඳහන්.

එමෙන් ම, මෙම ගැටළු‍වලට විසදුම් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කර සියලු‍ මැණික් හා වටිනා ඛනිජ පිළිබදව නව සිතියම් ගතකිරීමක් සහ ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමක් අවශ්‍ය බවයි එම වාර්තාවෙන් යෝජනා වී ඇත්තේ ෴


ඛනිජ තෙල් වෘත්තිය සමිති විශේෂ සාකච්ඡාවක

(25.03.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති අශෝක රන්වල කියා සිටියේ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද (25) දිනයේදී පැවැත්වෙන බවයි.

ඒ සඳහා සියලු වෘත්තිය සමිති එක් කරගන්නා බවද ඔහු සඳහන් කළා ෴


ආහාර බෙදන මුවාවෙන් කුඩු බෙදූ ‘සුපුන්’ අත්අඩංගුවට

(25.03.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සළිඳු මල්ශික’ හෙවත් ‘කුඩු සළිඳු’ ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව පානදුර – හොරණ මාර්ගයේ සොලමන් මාවතේදී ‘සුපුන්’ නැමති එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (24) දිනයේ දි යි.

ඔහු සිය යතුරුපැදියෙන් ආහාර ද්‍රව්‍ය බෙදාහරින මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව තිබූ කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 520 ක් සහ රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් මෙන්ම ජංගම දුරකථනය ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි මෙම සැකකරු, ‘කුඩු සළිඳු’ගේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් සිටින ‘බෙලිඅත්ත රණා’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ මුල්‍ය කටයුතු හසුරුවන ප්‍රධාන සාමාජිකයෙකු ද වනවා.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ලෙස පත් ව ගතවූ වසර 3 ක කාලය තුළ දී හෙරොයින් කිලෝ 217 ක්, අයිස් කිලෝ 47 ක්, කේරළ ගංජා කිලෝ 4,722 ක්, මත් පෙති 7,461 ක් සිය භාරයට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *