වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක්

වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක්


වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක්

(24.03.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසදුමක් ඉදිරි සතියේදී ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එම එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවති අතර එහිදී මෙම තීරණයට එළඹි බවයි සාකච්ඡාවෙන් ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී ආරම්භ කළ වැඩවර්ජනය අද (24) 16 වන දිනටත් ක්‍රියාත්මක වුණා.

+


අයි.එම්.එෆ්. වැඩසටහනට සජබ යේ සහාය නෑ

(24.03.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

අයි.එම්.එෆ්. වැඩසටහනට සහයෝගය ලබාදිය නොහැකි බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ අද (24) පැවැත්වෙන විවාදයට එක්වෙමින් සඳහන් කළේ මූල්‍ය අරමුදල සමග එකඟතාවයන් ඇති කර ගැනීමට පෙර ආණ්ඩුව විපක්ෂය සමග කිසිදු සාකච්ඡාවක් සිදුනොකළ බවයි.

එමෙන් ම, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මැතිවරණ කොමිසම නුදුරු දිනයක දී කැඳවන බව පළාත් පාලන විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

+


රුසියානු යුවළක් සතුව තිබූ විදෙස් මුදල් තොගයක් අතුරුදන්

(24.03.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලර් 800 ක විදෙස් මුදල් ප්‍රමාණයක් අස්ථානගතවී ඇති බවට අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

රුසියානු ජාතික යුවළක් විසින් ඊයේ (23) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 17 වනදා මෙරට සංචාරයක් සඳහා පැමිණි මොවුන් අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේ තරුපන්තියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

මුදල් අතුරුදන්වූ ආකාරය පිළිබඳව මේ දක්වා හෙළි වී නොමැති අතර, හෝටලය විසින් තමන්ට ආරක්ෂිත සේප්පුවක් ද ලබා නොදුන් බවයි විදේශික යුවළ පොලිසියට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴


‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටියාට සාලියට එරෙහිව විරෝධයක්

(24.03.2023 – 15:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ගේ බොරුල්ල කුරුප්පු පාර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට දී අද (24) විරෝධාතාවක් සංවිධාන කර තිබුණා.

ඒ සාලිය පීරිස් අපරාධ රැසකට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින ‘මිදිගම චින්තක’ නොහොත් ‘හරක් කටා’ නැමැත්තාගේ නඩු වෙනුවෙන් පෙනී සිටීමට විරෝධය පළකරමින්.

මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ‘මිදිගම චින්තක’ නොහොත් ‘හරක් කටා’ නැමැත්තා අතින් ඝාතනයට ලක් වූ බව පැවසෙන පුද්ගලයින්ගේ ඥාතීන් විසින්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ බොරැල්ල – කුරුප්පු පාර ප්‍රදේශයේ පිහිටි කාර්යාලය ඉදිරිපිට අද (24) පැවති විරෝධතාව සම්බන්ධයෙන් නිතීඥ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ එම කාර්යාලය ඉදිරිපිට විරෝධය පළ කිරීම හරහා ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන බැවින්, ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවයි ෴

+


මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ දෙමාපියන් විවාහ වෙයි

(24.03.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමාගිය බිළිදාගේ මව සහ පියා විවාහ වූ බව අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළි වුණා.

ඒ, එම බිළිඳාගේ පියා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ ගොනුකළ මෝසමක් මගින්. පොලිස් භාරයට ගත් තම ජංගම දුරකථනය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් මෙම බිළිඳාගේ පියා අදාළ මෝසම ගොනුකර තිබුණා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දරුවා පිළිබඳ විමසා ඇති අතර පසුගිය 18 වනදා ඔවුන් විවාහ වූ බවත් බිළිඳා සහ බිරිඳ කොස්සින්න ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටින බවත් බිළිඳාගේ පියා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඔවුන් විවාහ සහතිකය ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

පරිවාස නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ, බිළිඳා දැඩි කොන්දේසි මත මව්පියන් භාරයට පත්කිරීමට පසුගිය 17 වනදා අධිකරණය නියෝග කළ අතර ඉදිරි පරිවාස වාර්තාවක් ගොනුකරන ලෙස ද එදින නියෝග කළා ෴


අර්බුදය තුළත් මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහබැංකු අධිපති

(24.03.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

අර්බුදකාරී වාතාවරණයක් තුළ පවා මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (23) පෙරවරුවේ පැවති උත්සවයකදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ලොව පුරා ප්‍රබල බැංකු පවා පවතින ආර්ථික තත්ත්වය හමුවේ අභියෝගයකට මුහුණ දී සිටින බවයි.

+


රජයේ මුද්‍රණාලය තවත් මුදල් ඉල්ලයි

(24.03.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුද්‍රණාලයේ හිඟ පවතින දෛනික වියදම් පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් ඉදිරි දින කිහිපය තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ පවසනවා.

ඇය මේ බව පැවසුවේ හිරු කළ විශේෂ විමසීමකදීයි.

සාමාන්‍යයෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වියදම් සඳහා මිලියන 4000 ක පමණ මුදලක් අවශ්‍ය වන බව ඇය පවසනවා.

පසුගිය මැයි මාසයේ සිට මුද්‍රණ දෙපාර්තමේන්තුවට එම මුදල් නියමිත පරිදි නොලැබුණ බව පවසන ඇය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවක වැටුප් සහ දීමනා ගෙවීම සඳහා පමණක් මුදල් ලබා දී ඇති බවයි සඳහන් කළේ.

මැතිවරණ වියදම් සඳහා කිසියම් මුදලක් ලැබී තිබෙනවා ද යන්න ඇයගෙන් අප විමසු අතර ඊට පිළිතුරු දුන් ඇය පැවසුවේ මුලින් ලබා දුන් මිලියන 40 ට අමතරව කිසිදු මුදලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

මැතිවරණය සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතුවලට රුපියල් මිලියන 533 ක පමණ මුදලක් අවශ්‍ය වන බව පවසන ඇය ඒ මුදලින් තමන් ඉල්ලා සිටියේ මිලියන 200 ක තරම් මුදලක් බව ද පැවසුවා.

නමුත් එම මුදල ලබාදීමට මැතිවරණ කොමිසමට නොහැකි වූ බව ද ඇය කියා සිටියා.

අවශ්‍ය මුදල් ලබා දී පොලිසිය ද ලබා දුන්නහොත් මැතිවරණය සඳහා අවශ්‍ය සියලු මුද්‍රණයන් අවසන් කිරීමට හැකි බවත ඒ සඳහා මුද්‍රණ දෙපාර්තමේන්තුවට දින 33 ක පමණ කාලයක් ගතවන බව ද ඇය පවසනවා ෴


මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(24.03.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

මොරටුව -කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ මැණික්කටුව ආසන්නයෙන් දෑත් කපා රැගෙන පලාගිය සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ සැකකරු අද (24) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. සැකකරු නීතීඥයෙකු සමඟ පැමිණ අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබුණා.

40 හැවිරිදි අදාළ සැකකරු ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළත්, අධිකරණයට භාරවූ පුද්ගලයෙකු නැවත පොලිසියට භාර දීමේ හැකියාවක් නොමැති බවයි මොරටුව මහේස්ත්‍රාත් තරංගමාල් උද්දාල සුවන්දුරුගොඩ එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

පසුව සැකකරු විසින් කපා ඉවත් කළ දෑත් සහ ඊට භාවිත කළ තියුණු ආයුධය සොයා ගැනීමට අවශ්‍ය ඉදිරි විමර්ශන සඳහා පැය 48 ක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස මොරටුව පොලිසිය සහ ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, තමා වුවද විමර්ශන නිලධාරියෙකු නම් පළමුව සිදුකරන්නේ සැකකරුගෙන් ප්‍රථමයෙන් අදාළ දෑත් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවයි. එම නිසා නිසි විමර්ශනයකින් අනතුරුව මෙම පුද්ගලයාට දඬුවම් ලබා දෙන බව ද මොරටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

අසල්වැසියෙකු වූ මෙම සැකකරුගේ පහරදීමෙන් දෑත් අහිමි වූ පුද්ගලයා මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴


භාවිතාව මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ වේ

(24.03.2023 – 16:47 +0530 – hirunews.lk/sinhala)

1 වසරේ සිට භාවිතා මගින ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු 30 දා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්හ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පාසල් දරුවන් සඳහා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාවට හුරු කිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් කිසිවිටෙකත් 1 වසරේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්‍යය කිරීමක් සිදු නොවන අතර දරුවන් සහ ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

2023 වසරේ නව පාසල් වාරය 27 දා ආරම්භ වීමට නියමිතයි.

ලබන 2024 වසරේ සිට පාසල් කාලසටහන අතීතයේ පැවති ආකාරයට ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *