IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට


IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

(22.03.2023 – 21:58 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය මතු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (2) අද (22) කැඳවූ අවස්ථාවේ දී යි රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.

අදාළ පෙත්සම් අද (22) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණු බව සඳහන්.

ඉකුත් ඔක්තෝම්බර් මස 07 වැනි දා අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දුන් අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයේ විගණකාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරමින් වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ බවට පෙත්සම්වල අන්තර්ගත කාරණා තුනක් (3) පිළිබඳ විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර්ය රුපියල් 203 ක අගයක ස්ථාවරව රඳවා ගැනීම, 2022 වසරේ ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සදහා මෙරට විදේශ සංචිතවලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය මතු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම වැනි කාරණා තුළින් වත්මන් ආර්ථික අර්බුදය උත්සන්න වූ බවට පෙත්සම්වලින් චෝදනා කර තිබෙනවා.

එබැවින් එම කාරණා පිළිබඳ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 07 වන දා රජයේ විගණකාධිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාළ පෙත්සම අද (22) කැඳවූ අවස්ථාවේ දී රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ විගණකාධිපතිවරයා විසින් අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බව දැනුම් දුන් අතර එහි පිටපත් විවෘත අධිකරණයේ දී විනිසුරුවරුන්ට බාර දුන් බව ද සඳහන්.

ඉන් අනතුරුව එම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි මස 20 වනදාට පෙර ගොනු කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා ජුනි මස 09 වනදාට පෙර ගොනු කරන ලෙසත් පාර්ශවකරුවන්ට දැනුම් දුන් බව වාර්තා වනවා.

ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූනි මස 23 වනදාට පෙර ගොනු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත්තේ.

ඉන් අනතුරු ව මෙම පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 05, 06, 07, 11, 12 සහ 13 යන දිනවල පැවැත්වීමට පියවර ගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් බල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින් දෙදෙනාට (2) පණවා තිබූ විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 07 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නො කළ බව පෙන්වා දුන් බව වාර්තා වනවා.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය තවමත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුල පවතින බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන්නේ.

එම නිසා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව තවදුරටත් විදේශ ගමන් තහනමක් ක්‍රියාත්මක නොවන බවට ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති නීතිඥ මාරපන අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන වග උත්තරකරුවන් දෙදෙනාට (2) එරෙහිව තවදුරටත් විදේශ ගමන් තහනම ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැ යි ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය හින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු පිරිසක් නම් කර තිබුණු බව යි වාර්තා වන්නේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකරුවන් විසින් අනුගමනය කළ අදූරදර්ශී හා අකාර්යක්ෂම ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ බව යි.

එබැවින් වත්මන් ආර්ථික හෙට (23) වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා ෴


ශ්‍රී ලංකාව, ලෝක බැංකුව ඇතුළු තවත් ආයතනවලින් ඩොලර් බිලියන 7 ක් අපේක්ෂාවෙන්

(22.03.2023 – 20:41 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී ලෝක බැංකුව ඇතුළු වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශවයන්ගෙන් තවත් ඩොලර් බිලියන 7 ක පමණ ණය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛන සභාගත කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ වන විට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකි වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගන්නා තෙක් දැඩි ඉවසීමෙන් කටයුතු කළ ජනතාවට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙරටට ලැබීමෙන් පසු සිදු කරනු ලබන සංශෝධන පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

සහාය ලබා දෙන ලෙස විපක්ෂයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි නමුත්, එවැනි සහයක් හිමි නො වූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


Kedapatha – MP Dr. Charitha Herath – ITN Live (21-03-2023)

+


+

+


බැංකුවේ ATM මැෂිම කඩන්න මුහුණු වහගෙන ආවත් වැඩේ වරදී – CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂණ

(23.03.2023 – dinamina.lk)

මාලබේ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ‘ඒටීඑම්’ යන්ත්‍රයක් වෙත රාත්‍රි කාලයේ පැමිණි මුහුණු වසා ගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම යන්ත්‍රය ගලවා මුදල් ලබා ගැනීමට තැත් කර ඇතැයි මාලබේ පොලිසිය පවසයි.

ඉකුත් 20 වනදා රාත්‍රි කාලයේ දී මේ සිද්ධිය සිදුව ඇති අතර ‘ඒටීඑම්’ යන්ත්‍රය සීරී තිබෙනු දුටු අදාළ රාජ්‍ය බැංකුවේ කළමනාකාරවරයා ඒ පිළිබඳ සැක සිතී ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේ දී මේ සිද්ධිය දැක මාලබේ පොලිසියට පැමිණිලි කර ඇත.

ආරක්ෂිත කැමරා දර්ශන අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


සණස මතුගම කලාප හිටපු කළමනාකාරිනිය සිදුකල රුපියල් කෝටි 8 කට අධික මූල්‍ය වංචාව

(23.03.2023 – dinamina.lk)

රුපියල් කෝටි අටකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මතුගම කලාප සණස කාර්යාලයේ හිටපු කළමනාකාරිනියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත. ඇය මතුගම කලාප සණස කාර්යාලයේ කළමනාකාරිනිය වශයෙන් කටයුතු කරමින් සිටියදී මුදල් පොතේ අසත්‍ය සටහන් ඇතුළත් කරමින් මෙම වංචාව කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇය විසින් වංචා කර ඇතැයි හෙළි වී ඇති මුදල රුපියල් අට කෝටි හැට ලක්ෂ අසූහයදහස් එකසිය හැත්තෑ එකයි ශත හැත්තෑ අටක (86,086,171.78) මුදලක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම වංචාව සිදුව ඇතැයි හෙළිවී ඇත්තේ 2015 වසරේ සිට 2019 වසරේ අප්‍රේල් 23 වෙනිදා දක්වා වසර 04 ක පමණ කාලය තුළදීය. මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මතුගම කලාප සණස කාර්යාලයේ හිටපු කළමනාකාරිනිය අගලවත්ත ගිරකොළ පදිංචිකාරියක බවත් ඇය 49 හැවිරිදි තැනැත්තියක බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි ෴


ගිනි තැබීමකින් පේදුරුතුඩුවේ බෝට්ටු 10 ක් විනාශ වෙයි

(23.03.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුව – නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල්කර තිබූ ධීවර බෝට්ටු 10 ක් ගිනි තබා විනාශ කර තිබෙනවා.

ඊයේ (22) අළුයම් කාලයේ දී මෙම අනර්ථය සිදුකර ඇති අතර පොලිසිය, ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

ධීවර බෝට්ටුවලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගිනි තැබීම කවුරුන් විසින් සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


යල කන්නය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පේරාදෙණියේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයෙන් මිරිස් බීජ ප්‍රභේද මිල දී ගතහැක

(23.03.2023 – 07:58 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය නිෂ්පාදනය කළ මිරිස් බීජ ප්‍රභේද මේ වන විට මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව බීජ ග්‍රෑම් එකේ (1) සිට කිලෝග්‍රෑම් 1 දක්වා ප්‍රමාණවලින් මිල දී ගත හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙතින් ඇණවුම් කිරීමේ හැකියාව පවතින අතර, බීජ කලින් වෙන් කරවා ගැනීම සඳහා පේරාදෙණියේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයට දැනුම් දිය යුතු වනවා.

ඒ සඳහා 081 238 8106 හෝ 081 238 8122 යන දුරකතන අංකවලට ඇමතුම් ලබා දී ඇණවුම් ලබා දීමේ හැකියාව පවතිනවා ෴


ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(23.03.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මොහු සම්බන්ධයෙන් පැමිණිලි 20 ක් පමණ ලැබී ඇති බවයි.

ඊයේ (19) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු ඌරාපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ලෙස වාසය කරමින් විවිධ අවස්ථාවල රුපියල් 6,25,000 සිට රුපියල් 14,75,000 ක් දක්වා මුදල් ලබා ගෙන ඇති බව ද හෙළිව තිබෙනවා.

මොහු වංචා කළ මුදල රුපියල් කෝටි 2 කට (2,00,00,000) අධිකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *