මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්


මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(22.03.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම පෙරමෙන් ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය වියදම් සඳහා ද එම මුදල් භාවිතයට ඉඩ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බ්ලූම්බර්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන විස්තීරණ ණය පහසුකම රුපියල්වලට මාරු කළ දේශීය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අවසර ඇතැයි, ඔහු පැවසුවා.

+


ණය ලැබීමත් සමඟ මැතිවරණයට මුදල් නොමැති බව ප්‍රකාශ කළ නොහැක – ධනනාත් ප්‍රනාන්දු

(22.03.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදීමත් සමඟ මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැති බව රජයට ප්‍රකාශ කළ නොහැකි යැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කරයි

(22.03.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කළේ.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වසර 4 ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ආධාරයක් හිමිවන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පළමු (1) වාරිකය මේ වනවිට හිමිවී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

මේ අතර, ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබාදෙන පාර්ශවයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7 ක පමණ ණය ආධාර බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

2025 වසර වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% දක්වා අඩු කර, 2026 වන විට අදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බන ජනාධිපති පාර්ලිමෙන්තුවේ දී පැවසුවා.

2024 වන විට ‘වැට්’ මත පවතින බදු නිදහස් කිරීම් අඩු කිරීමටත්, ප්‍රතිපූර්ණය කඩිනම් කිරීමටත් සැළසුම් කරන බව පැවසු ජනාධිපතිවරා 2025 වන විට ‘දේපල බද්දක්’ හඳුන්වා දෙන බව ද පවසනවා.

එමෙන්ම උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

+

+


IMF සමග කොන්දේසි 10 ක් යටතේ එකඟ වෙයි

(22.03.2023 – 11:31 +0530 – hirunews.lk/sinhala)

IMF සමග කොන්දේසි 10 ක් යටතේ එකඟ වී ඇති ඇති බව වාර්තා වෙනවා.

එම කොන්දේසි 10 පහත පරිදි වෙයි.

  1. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සැළැස්ම අප්‍රේල් මස ඉදිරිපත් කිරීම.
  2. දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුයි.
  3. රජයේ ආදායම් ඉහළ නැංවීමට පියවර ගත යුතුයි.
  4. ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩි බදු මුදලක් අය කිරීම.
  5. දේපළ බද්ද සහ ධනය හුවමාරු බද්ද 2025 දී හඳුන්වා දීම.
  6. 2023 අවසානයේ උද්ධමනය 12% – 18% දක්වා අඩු කිරීම.
  7. 2023 ජුනි මස ආනයන අපනයන සීමා ඉවත් කිරීම.
  8. වැඩි විනිමය අනුපාත නම්‍යශීලිභාවයක් පවත්වා ගෙන යා යුතුයි.
  9. මහ බැංකුව වඩාත් ස්වාධීන කළ යුතුයි.
  10. ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දිය යුතුයි.

රුපියල යළි ශක්තිමත් වෙයි – රන් මිල යළි පහළට

(22.03.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව, අද (22) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 330.16 ක් ලෙසයි.

එහි ගැණුම් මිල 312.31 ක් ලෙස දැක්වුණා.

මේ අතර, කොළඹ හෙට්ටිවීදියේ රන් පවුමක මිල රුපියල් 10,000 කින් අඩු වී තිබෙනවා.

ඒ අනුව කැරට් 22 පවුමක මිල රුපියල් 1,51,250 ක් වන අතර, කැරට් විසිහතරේ (24) පවුමක මිල රුපියල් 1,65,000 ක් වන බවයි ‘සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය’ සඳහන් කළේ ෴


5 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි

(22.03.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය 182 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලය 180 ක් සහ කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 179 ක් ලෙසයි දැක්වෙන්නේ.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලය ලකුණ 181 ක් සහ දේවි බාලිකා විද්‍යාලය ලකුණු 178 ක් මෙන්ම, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 177 ක් ලෙස දක්වා තිබෙනවා.

මෙම කඩයිම් ලකුණු මත පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතුන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඊට අදාළ අභියාචනා මැයි පළමුවනදා (01) සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත හෝ මාර්ගගත වැඩසටහන හරහා යොමුකළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

+


මෙවැනි ලප කැළැල් දුටුවොත් සැළකිලිමත් වන්න

(22.03.2023 – 16:25 +0530 – sinhala.adaderana.lk)

සිරුරේ හඳුනා නොගත් ලප කැළැල් දුටුවහොත් සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෑතක සිට ශ්‍රී ලංකාවේ ‘ලාදුරු’ රෝගීන් වාර්තාවීම වැඩිවෙමින් පවතින බැවින් අවශ්‍ය කඩිනම් සෞඛ්‍ය උපදෙස් ලබාගත යුතු බවය.

ඊට අදාළව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබූ නිවේදනය පහතින් :

ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?

මෙවැනි ලප කැළැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැළැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යළිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා.

ඉතින් එවැනි ලපයක් හෝ කැළලක් ඔබගේ සිරුරෙහි තිබුණහොත් තව දුරටත් අනිසි බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, රෝගය හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු වීමයි.

ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මගින් වට්ස්ඇප් තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කල යුත්තේ, සැක සහිත ලප කැළලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය, ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 075 408 8604 අංකය වෙත වට්ස්ඇප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.

සමෙහි ඇතිවන ලා පැහති ලප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ලප කැළැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පා වල කල් ගත වූ සුව නොවන තුවාළ මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් ප්‍රධානයි. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකල හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් ඉතා කෙටි කලකින්ම නවත්වාගන්නට හැකියාව තිබෙනවා. රෝගය බෝවිය හැකි අවධියේ සිටිනා, ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500 ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ හමුවන්නේ බස්නාහිර පලාතෙන්. එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවත් අප සිහි තබාගත යුතුයි.

ඔබත් ඔබෙගේ සමීපතමයිනුත් ලාදුරු වසංගතයෙන් සුරැකෙනා අතරේම , රෝගය පැතිරීම වලක්වමින් ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමේ ක්‍රියාන්විතයට මේ තොරතුර බෙදා හැරීමෙන් පුරවැසියෙකු ලෙස ඔබත් දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *