පුංචි ඡන්දයට මුදල් නො දුන හොත් අධිකරණයට යන බව මහචාර්ය ජී.එල්. පීරිස් කියයි

පුංචි ඡන්දයට මුදල් නො දුන හොත් අධිකරණයට යන බව මහචාර්ය ජී.එල්. පීරිස් කියයි


පුංචි ඡන්දයට මුදල් නො දුන හොත් අධිකරණයට යන බව මහචාර්ය ජී.එල්. පීරිස් කියයි

(20.03.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala)

සතියක් (1) ඇතුලත පලාත්පාලන ඡන්ද විමසීම සඳහා මුදල් ප්‍රතිපාදන රජය මගින් ලබා නොදුන හොත් විපක්ෂයේ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පළාත් පාලන 340 ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූණා.

ඒ අනුව පළාත් පාලන පනත ප්‍රකාරව ඒවායේ බලතල පාළාත් පාලන කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් වෙත පැවරී තිබෙනවා.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන සභිකයන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සහ එම ආයතනවල ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය අද (20) දිනයේ ලැබීමට නියමිත බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (20) පැවති මාධ්‍ය හමුවේ දී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන ආයතන සභිකයන්ගේ නිල කාලය දීර්ඝ කළ හැක්කේ, ජනමත විචාරණයකින් පමණක් බවයි.

එමෙන්ම, පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් ද කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළ කළා.

මේ අතර මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමේ හැකියාවක් නොමැති බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක පාර්ලිමේන්තුමන්ත්‍රී උදය ගම්මන්පිල අද (20) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා ෴


ත්‍රීරෝද රථ ගාස්තු පහළට

(20.03.2023 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය (1) සඳහා මෙතෙක් පැවති රුපියල් 120 ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමීමට යි එම සංගමය තීරණය කර ඇත්තේ.

දෙවැනි (2) කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මෙම මිල සංශෝධනයට අනුව පහළ දැමෙනු ඇති ෴


IMF ණය පැකේජය අනුමත වෙයි

(20.03.2023 – 22:07 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් හෙට (21) සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව නිවේදනය කළා.

මේ අතර, මෙරට ඩොලර් අර්බුදය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හිමි වීමෙන් පසු අවසන් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවා.

එම මූල්‍ය පහසුකමත් සමඟ මෙරටට අත්‍යවශ්‍යය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත මෙරටට ලැබෙන බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

එම ණය පහසුකම මෙරටට ලැබීමෙන් ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීමට සහ විදේශ අරමුදල් සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව සැළසෙන බවද ඔහු පෙන්වා දී තිබුණා.

මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය සහ ජනාධිපතිවරයාගෙ විශේෂ ප්‍රකාශය පහතින් :

“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75 ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.”

“මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”

+++++++++

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශවික සංවිධාන වෙතින් ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් බව රජය ප්‍රකාශ කළා.

මම මස මුල දි ශ්‍රී ලංකාවට පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය සහතික කිරීම් ලැබුණ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක කමිටුව කැඳවා ණයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බලා තිබුණා.

ශ්‍රීී ලංකාව 2022 වසරේ සැප්තැම්බර් 01 වැනිදා විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹුණා.

ඩොලර් බිලියන 3ක මෙම වැඩටසටහන මගින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වනයක් සහ ණය තිරසාරභාවය යතා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරුණා.

සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා රජය ප්‍රතිස්සංකරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාත්කාලීන කිරීමට විනිදභාවයකින් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වානිජ ණය හිමියන් සමග සම්බන්ධවීමට නිල ණයහිමියන්ගේ රැස්වීම් පවත්වා තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළ කළා.

ඒ සියලු මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමණාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාරභාවය අත්පත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ශ්‍රී ලංකා සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බවයි.

ඒ යටතේ ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනමුත කළ බවද එහි දැක්වෙනවා.

මේ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාගත හැකියි.

මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා අදාළ බව එම නිවේදනයේ සඳහන්.

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ,

IMF ණය අනුමැතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (21) දිනයේ විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට ද නියමිත බවයි ෴


‘ලිස්ටීරියෝසිස්’ වසංගතයක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි

(21.03.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

‘ලිස්ටීරියෝසිස්’ වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගැනීම අනවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ශ්‍රී පාදයට ගමන් ගන්නා එරත්න මාර්ගයේ වෙළඳසැළක සේවය කළ කාන්තාවක් මෙම රෝගයේ සංකූලතා නිසා මරණයට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

එසේම ශ්‍රී පාදය වන්දනා කළ තවත් දෙදෙනෙකු (2) මිය යාමත් සමඟ මෙම රෝගය පිළිබඳව කතාබහක් ඇති වූ නමුත්, ඔවුන්ගේ මරණවලට හේතුව ද ‘ලිස්ටීරියා’ රෝග තත්ත්වය බවට මෙතෙක් තහවුරු වී නැහැ.

‘ලිස්ටිරීයා මොනොසියිටෝජෙනසිස්’ බැක්ටීරියාව නිසිලෙස සකස් නොකරන ලද මාංශ, නැවුම් කිරි, පැස්ටරිකරණය නොකළ කිරි මගින් නිපදවන ලද අයිස් ක්‍රීම්, යෝගට් වැනි නිෂ්පාදන අනුභව කිරීමෙන් වැළදෙනවා.

මෙහි අවදානම් කණ්ඩායම් වන්නේ ගර්භණී කාන්තාවන්, අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයින්.

කෙසේ වෙතත් තවදුරටත් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදු කරන අතර ක්ෂේත්‍ර මට්ටමින් ආහාර සාම්පල හා ජල මූලාශ්‍ර ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴


ශ්‍රී ලාංකික ශිල්පියෙකුගේ මූර්ති දෙකක් (2) චීන නගර අලංකරණයට

(21.03.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික ශිල්පියෙකු විසින් සුදු යකඩ යොදා ගනිමින් නිර්මාණය කරන ලද මුර්ති දෙකක් (2) මුල්වරට චීනය විසින් සිය නගර අලංකරණය සඳහා යොදාගෙන තිබෙනවා.

චීනයේ වැඩිම ජනගහනයක් සහිත හතරවන ප්‍රාන්තය වන සිචුවාන්හි අගනගරය වන චෙංග්ඩු හි මෙලෙස ස්ථීර ප්‍රදර්ශනයට තබා ඇත්තේ,

ලලිත් සේනානායක නැමති මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කළ අශ්වයෙකුගේ සහ පියාඹන කුරුල්ලන් දෙදෙනෙකු (2) සහිත මූර්ති දෙකක් (2).

රටවල් 26 ක ශිල්පීන් 30 දෙනෙකු ඉදිරිපත් කළ නිර්මාණ 6 ක් චෙංග්ඩු බලධාරීන් විසින් නගර අලංකරණය සඳහා මෙලෙස තෝරාගෙන තිබෙනවා.

මේවා ස්ථාපිත කර ඇති ස්ථානයේ ශ්‍රී ලංකා ධජය ද සටහන් කර ඇති අතර මව් රටට කිර්තියක් ගෙන ඒමට හැකිවීම පිළිබඳව සතුටට පත් වන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ලලිත් සේනානායක යකඩ උපයෝගී කරගනිමින් මෙරට තුළ ද නිර්මාණ සිදු කර ඇති අතර, වෙරළේ එක්රැස්වන අබලි ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිර්මාණය කර උස්වැටකෙයියාව වෙරළ තීරයේ තබා තිබු අලියෙකුගේ රුව මේ වන විට කිසියම් පිරිසක් සොරාගෙන ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ ෴


‘බූරු මූණා’ට රැකවරණය දුන් නිතීඥවරයෙකු ගැනත් තොරතුරු අනාවරණ වෙයි

(21.03.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

‘රවිඳු සංඛ’ හෙවත් ‘බූරු මූණා’ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් නිතීඥයෙකු ඇතුළු පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, දින 90 ක කාලයක් රඳවා තබාගැනීමට අවසර හිමිවීමෙන් අනතුරුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළවූ තොරතුරුවලට අනුවයි.

එහිදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, මෙරටින් පලායාම සඳහා ගුවන්තොටුපළට ගිය අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන කටුනායක ගුවන්තොටුපළ පොලිසියට ලබා දීමෙන් පසු පැනගිය මොහු දින දෙකක (2) කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක නැවතී සිට ඇති බවටයි.

පසුව ඔහු කළු පැහැති මෝටර් රථයකින් කුරුණෑගල, කොස්කැලේ ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී කොළඹ සිට පැමිණි අදාළ නිතීඥවරයා මෝටර් රථයක නංවා දඹුල්ල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇති අතර ‘බූරු මූණා’ එතැන් සිට ත්‍රිරෝද රථයකින් ගොස් පනාගොඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ විශ්‍රාමික උසස් හමුදා නිලධාරියෙකුගේ තිරප්පනේ ප්‍රදේශයේ නිවසක රැදී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඔහු පසුගිය 16 වැනිදා තිර්ප්පනේ සිට රුවන්වැල්ල ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක් නවාතැන්ගෙන තිබෙනවා.

ඊට පසු දින කුරුණෑගල සිට දඹුල්ල දක්වා සැකකරු රැගෙනයාමට පැමිණි නිතීඥවරයා සමඟ ඔහු අධිකරණයට භාර වීමට එමින් සිටිය දීයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම නිතීඥවරයා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර බවට ද හෙලිව තිබෙනවා ෴

++++++++

‘බූරු මුණා’ගේ බිහිසුණු සැලසුමක් එළියට

(20.03.2023 – 20:46 +0530 – sinhala.adaderana.lk)

ගුවන්තොටුපොළ පොලිසියෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැණුන ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූණා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරු නවාතැන් ගෙන සිටි බව කියන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට විමර්ශන නිලධාරින් ඊයේ (19) ඔහු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

එම නිවස විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් බවට විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය ‘බූරු මුණා’ කුරුණෑගල සිට තිරප්පනේ නිවස දක්වා ආරක්ෂිතව රැගෙන යාම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් නීතිඥවරයෙකුට රුපියල් මිලියනයක (1,000,000) මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවද හෙළි වී ඇති තවත් කරුණකි.

‘බූරු මූණා’ට මෙම නිවස සූදානම් කර දී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන, ඉතාලියේ රැඳී සිටින ‘රත්ගම විදුර’ගේ ඉල්ලීම මත, ‘කොස්ගොඩ තාරක’ගේ ගෝලයෙකු වන ‘ගගන’ නැමැත්තා බවත් හෙළි වී තිබේ.

මේ අතර ‘බූරු මූණා’ හෙළිකළ තොරතුරු මත හංවැල්ලෙන් සොයාගත් පුපුරණද්‍රව්‍ය පිළිබඳව ද ඔහු තවත් කරුණක් හෙළි කළ බව පොලීසිය පවසයි.

ඔහු පවසා ඇත්තේ හංවැල්ලේ ආපන ශාලවක් තුළදී ඝාතනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවස, ආපන ශාලාව සහ එම ව්‍යාපාරිකයාගේ සහෝදරයාගේ ආපන ශාලාව පුපුරුවා හැරීමට එම පුපුරණද්‍රව්‍ය රැගෙන ආ බවය ෴

++++++++

හික්කඩුවේ ද්විත්ව (2) ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට

(21.03.2023 – 007:46 +0530 – sinhala.adaderana.lk)

හික්කඩුව පොලිස් වසමේ දී ද්විත්ව (2) ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකාරියක් හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුව පොලිස් වසමේ, තිරානගම ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා පළා ගොස් තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් 31 වනදාය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව එම ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 20 ක කොන්ත්‍රාත්තුවක් මත මේ වනවිට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ‘බූරු මුණා’ විසින් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ අනුව වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදිය, ත්‍රීරෝද රථයක්, ටී 56 ගිනිඅවිය සහ මුදල් රුපියල් ලක්ෂ 20 බුරු මූණාට ලබාදී මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරිය ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය 31 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *