රටේ පළාත් සභා තුන (3) වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස් අලහප්පෙරුම කියයි

රටේ පළාත් සභා තුන (3) වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස් අලහප්පෙරුම කියයි


රටේ පළාත් සභා තුන (3) වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස් අලහප්පෙරුම කියයි

(19.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායකවරයාගේ හා අනුර දිසානායකගේ ආර්ථික විසඳුම් තුළින් රට ගොඩනැගීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ නිදහස් ජනතා සභාව මහනුවර දී පැවැත්වූ ජන හමුවකට එක්වෙමින්.

එමෙන්ම මෙම රැස්වීමට එක් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ රටේ ප්‍රධාන අංශ තුනක් (3) වන පළාත් සභා, ප්‍රාදේශීය සභා හා නගර සභා වික්‍රමසිංහ මල් ශාලාවේ තැන්පත් කර ඇති බවයි.

++++++++++

රට හදන්නෙ හොරු නායකයන් කරලද? විමල් ජවිපෙන් අසයි (19.03.2023)

++++++++++

13.03.2023

ලිස්ටීරියා බැක්ටීරියාව නිසා ශ්‍රී පාද වන්දනා මගෙහි සංචාරකයින්ගේ අඩුවක්

(19.03.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සැලකිය යුතු අඩුවක් මේ දිනවල දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

ශ්‍රීපාද මග දෙපස වෙළෙඳාම් කරන වෙළෙඳුන් පවසන්නේ, එම ප්‍රදේශය ආශ්‍රිතව පැතිර යන ‘ලිස්ටීරියා’ බැක්ටීරියා බිය පිළිබඳ වාර්තා ඊට හේතු වී ඇති බවයි.

මෑතකදී ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ ඇතැම් පුද්ගලයින්ට ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පසුගිය දිනවල අනාවරණ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ, ලිස්ටීරියා ආසාදනයෙන් හටගන්නා ලිස්ටීරියෝසිස් රෝගයෙන් එක් (1) මරණයක් ද වාර්තා වී ඇති බවයි.

එලෙස මියගොස් තිබුණේ, එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යමින් සිටි කාන්තාවක්.

මේ අතර, මෙරටින් ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදිතයින් 10 දෙනෙකු පමණ මේ වනවිට වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවා.

ලිස්ටීරියා ආසාදිත බවට සැකකෙරෙන 15 හැවිරිදි සිසුවෙකු ද බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද මේ වන විට වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය මත හැටන් මාර්ගයේ සහ එරත්න මාර්ගයේ වෙළෙඳසැල්වලින් ජලය, කිරි ආහාර සහ මාංශ ඇතුළු ආහාරවල නියැදි ද ලබා ගැනුණු අතර, මේ වනවිට එම නියැදි පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබෙනවා.

මෙම බැක්ටීරියා ආසාදන තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යා අංශයද පරීක්ෂණ ආරම්භකර තිබුණත්, මෙතෙක් එම වාර්තා නිකුත්කර නැහැ.

කෙසේවෙතත්, මෙම තත්ත්වය මත හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව එම මාර්ගය දෙපස වෙළෙදාමේ නිරත පිරිස පවසනවා.

ඔවුන් පවසන්නේ, බැක්ටීරියා ආසාදනයෙන් මියගිය කාන්තාව එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය කාන්තාවක වූ නමුත්, හැටන් මාර්ගයෙන්ද ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණීමට ජනතාව බියක් දක්වන බවයි.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු හේතුවෙන් ඔවුන් සේවයේ යෙදවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එම තත්ත්වය ශ්‍රීපාද පුදබිම ආශ්‍රිතව මතුව ඇති ගැටලුවට ද බලපා ඇති බවයි එම සංගමය පවසන්නේ.

+


ගල් අඟුරු නෞකා 03 ක් දිවයිනට

(19.03.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000 ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වන විට (19) දිවයිනට ළඟා වී තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ ඒ අනුව මේ වනවිට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා 30 න් නෞකා 19 ක් මෙරටට පැමිණ ඇති බවයි.

පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවයි ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ තවත් නෞකා තුනක (03) ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු හෙට (20) දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

අදාළ නෞකා තුනෙන් (03) පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000 ක්.

ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ.

ඒ අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත පවතින බවයි ඔහු පවසන්නේ.

නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500 ක්.

ඒ අනුව ගල් අඟුරු නෞකා 30 ක් දිවයිනට රැගෙන ඒම ලංකා ගල් අඟුරු සමාගමේ අපේක්ෂාවයි.

මේ වසරේ ඉතිරි කාලය සඳහා විදුලි ජනනය සඳහා ගල් අඟුරු නෞකා 27 ත් 28 ත් අතර සංඛ්‍යාවක් ප්‍රමාණවත් වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

මේ අතර විදුලි බිල, ජල බිල සහ භාණ්ඩ මිල පහල දමන ලෙස බල කරමින් ජාතික ජන බලවේගය අම්බලන්ගොඩ නගරයේ පන්දම් දල්වමින් විරොධතාවක නිරත වුණා.

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල වහා පහත හෙලනු යන මැයෙන් ඊයේ (18) රාත්‍රි පිළියන්දල කොටගෙදර ප්‍රදේශයේදීද පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්වුණා.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් පිරිසක් එම විරෝධතාව සංවිධාන කර තිබුණා.

ඉහළ යන ජීවන වියදමට සහ වැඩි වූ විදුලි බිලට විරෝධය දක්වමින් පැවති ජනතා විරෝධතාවයක් ගාල්ල – පින්නදුව නව නගරයේදීත් පැවැත්වුණා.

+


දුක් විඳ නෙලූ අස්වැන්න වැනසූ සද්දන්තයෝ

(19.03.2023 – 14:39 +0530 – hirunews.lk/sinhala)

වනඅලි ගැටලුවට කොතෙක් අත්හදා බැලීම් සිදු කළ ද ඊට ස්ථීර විසඳුමක් සොයා ගැනීමට මේ වන තුරුත් බලධාරීන්ට හැකියාව ලැබී නැහැ.

නමුත් වනඅලි තර්ජනයෙන් පීඩා විඳින පොළොන්නරුව – ගඟේයාය ගොවි සංවිධානයේ ගොවීන් ඊට තාවකාලික පිළියමක් සොයාගැනීමට ගත් උත්සාහයක් පිළිබඳව අපට වාර්තා වුණා.

වන අලි ගැටලුවෙන් බොහෝ විට පීඩා විඳින්නේ වියළි කළාපයේ ජීවත්වන ජනතාවයි.

තමන් වෙහෙස මහන්සිවී වගාකරනු ලබන භව බෝග එක් රැයකින් වන අලින්ගේ ග්‍රහණයට හසුවන අවස්ථා මේ ජීවිතවල ඉතා සුලබ අත්දැකීමක්.

මෙම ගැටලුවට බලධාරින්ගෙන් කොතෙකුත් විසඳුම් ඉල්ලා ප්‍රතිඵලයක් නොමති තැන, පොළොන්නරුව මොරගහකන්ද 504 ගඟේයාය ප්‍රදේශයේ ගොවි සංවිධානය විසින් ඊට පිළියම් සෙවීමට උත්සාහ දරා තිබුණා.

ගොවි සංවිධානය විසින් ඔවුන්ගේම මූල්‍ය දායකත්වය මෙන්ම ශ්‍රම දායකත්වය ලබා දෙමින් මෙම විදුලිවැට සකසා ඇත්තේ එල්ලෙන විදුලි වැටක් ලෙසයි.

රජය විසින් විදුලි වැටක් ඉදිකර තිබුණ ද එය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම මත මෙම එල්ලෙන විදුලිවැට සකසා ගැනීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ විදුලිය සහිත කම්බි බිමට සමාන්තරව එල්ලා තිබීම හේතුවෙන් වනඅලි ඒ හරහා ගමන් කිරීමේදී ඔවුන්ට ඒ මතින් ගමන් කිරීමට නොහැකි වීමයි.

මේ හේතුවෙන් මේ වනවිට වනඅලි ගම් වැදීම 90% කින් පමණ අඩු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර උහන, වීරගොඩ සේනාගම ආදී ප්‍රදේශවලට වන අලින්ගෙන් දැඩි පීඩා එල්ල වී තිබෙනවා.

නිරන්තරයෙන් ගම් වදින වන අලි හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් රැක ගැනීම දැඩි ගැටලුවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙස වනජීවී නිලධාරීන් දැනුම්වත් කළ ද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

+


රුපියල් ලක්ෂ 80 ක හොරයින් මත්කුඩු සමඟ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට

(19.03.2023 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 80 ක හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ‍ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලලිත් කන්නන්ගර’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයෙකු වන මොහු හෝමාගම, අතුරුගිරිය, කොට්ටාව වැනි ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+


අධික උෂ්ණත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන්, අධ්‍යාපන අමාත්‍යංශයට මාර්ගෝපදේශ

(19.03.2023 – 16:13 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

ඒ අනුජ, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස මෙන්ම, වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් (2) ලබාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හෝ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා ෴


අලුත්ගම, මොරගල්ල මුහුදු තීරයට කිඹුලෙකු පැමිණීමෙන් සංචාරකයන් බියට පත්වෙයි

(19.03.2023 – 16:39 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම, මොරගල්ල මුහුදු තීරයේ විදෙස් සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක (10) පමණ දිග කිඹුලෙක් පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසනවා.

මේ හේතුවෙන්, ඒ ආසන්න සංචාරක හෝටල්වල වාසය කරන විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බැවින් අලුත්ගම. මොරගල්ල සංචාරක පොලිසිය විසින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිළධාරිනීන් දැනුවත් කළා.

නමුත් මෙතෙක් එම වනජීවි කාර්යාල නිලධාරිනිය ඊට ප්‍රතිචාර දක්වා නැතැයි මොරගල සංචාරක පොලිසිය උසස් නිළධාරියෙකු පැවසුවා.

සංචාරකයන් විදෙස් විනිමය රැගෙන මෙරටට පැමිණ සිටිය දී සෑම අවස්ථාවකදීම රජය ඔවුනගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ යුතුව තිබිය දී ඊට වගකිය යුතු රජයේ අදාළ අංශ නිලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳ සංචාරක හෝටල් කළමනාකාරිත්ව නොසතුට පළ කරනවා ෴


මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමේ

(19.03.2023 – 18:34 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 2 වන වංගුව අසල මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

පොලිසිය පවසන්නේ ගලක් පෙරලීමේ අවදානම නිසා මෙම මාර්ගය වසා දැමූ බවයි ෴


හයිලෙවල් පාරේ රේස් පැද්ද යතුරුපැදිකරුවන් 11 ක් අත්අඩංගුවට

(19.03.2023 – 20:27 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් තරඟයට යතුරුපැදි ධාවනය කළ 11 දෙනෙකු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අවුරුදු 18 ත් 30 ත් අතර වයස්වල පසුවන මොවුන් මහරගම, පන්නිපිටිය, කොට්ටාව, ඇරැව්වල සහ පිළියන්ද පදිංචිකරුවන් බවයි.

මොවුන් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධියේ සිට ටන්කබෝඩ් මංසන්ධිය දක්වා විවිධ වර්ගයේ යතුරුපැදි භාවිත කරමින් ඊයේ (18) රාත්‍රියේ තරඟයට ධාවනයේ යෙදී තිබෙනවා.

එම යතුරුපැදිවල අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසින් ලබාදුන් තොරතුරකට අනුව මාර්ගබාධක යොදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴


බණ්ඩාරවෙල පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු (2) අතුරුදන්

(19.03.2023 – 22:14 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල, පුනාගල වත්තේ, කබරගල, පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදු වී තිබෙනවා.

අනතුරට පත්වූවන්ගෙන් 6 දෙනෙකු මේ වන විට මුදා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අතුරුදන් වූ දෙදෙනෙකු (2) සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *