ඩුබායි සිට ඝාතන මෙහෙයවූ ප්‍රධාන සැකකරු ‘ලලිත් කන්නන්ගර’ට ‘රතු වරෙන්තු’

ඩුබායි සිට ඝාතන මෙහෙයවූ ප්‍රධාන සැකකරු ‘ලලිත් කන්නන්ගර’ට ‘රතු වරෙන්තු’


ඩුබායි සිට ඝාතන මෙහෙයවූ ප්‍රධාන සැකකරු ‘ලලිත් කන්නන්ගර’ට ‘රතු වරෙන්තු’

(16.03.2023 – 20:58 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලලිත් කන්නන්ගර’ නමැත්තාව ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ‘රතු නිවේදන’ නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අවිස්සාවේල්ල අධිකරණයෙන් එම අවසරය ලබාගෙන ඇත.

ඩුබායි රටේ සැඟවී සිට හංවැල්ල සහ ඊට ආසන්න ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හා එම ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයා බවටත් මෙම සැකකරුව හඳුනාගෙන තිබේ.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඩුබායි හි සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙසද ඔහුව හඳුනාගෙන ඇත.

ඊට අමතරව හංවැල්ල හා ඊට තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරම ද සැකකරු ගෝලබාලයන් ලවා මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත ෴

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය කිරීමද, ඩුබායි සිට ඔහු විසින් මෙහෙයවා ඇති බවට හෙළිවී තිබෙනවා. පසුගියදා එහි වෙඩික්කරු වන ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරූ මූණා’ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිටියදී පලා ගියා. (hirunews.lk) ෴


‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ නිදහස වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කරයි

(16.03.2023 – 19:27 +0530 – sinhala.adaderana.lk)

‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ සහ ‘සළිඳු මල්ෂික’ නොහොත් ‘කුඩු සළිඳු’ තමන් දෙදෙනාව නිදහස් කරන ලෙස ඉල්ලා මැඩගස්කර ආරක්ෂක අංශ නිලධාරීන්ට රුපියල් කෝටි ගණනක මුදලක් වියදම් කර ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා (2) බේරාගැනීම සඳහා මෙරටින් නීතීඥ කණ්ඩයමක් ද ගොස් ඇති බව විදෙස් වාර්තා අනාවරණ කරයි.

‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ රැගෙන ඒමට පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සිව් (4) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටව ගියේය.

ඒ සහකාර පොලිස් අධිකාරී මිහිඳු අබේසිංහ, ජාත්‍යන්තර පොලිස් ශාඛාවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජකරුණා, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි හා මෙහෙයුම් අංශයේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර සහ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා යන කණ්ඩායමය.

ඒ වනවිටත් කාන්තා නීතීඥවරියන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) ගෙන් සමන්විත මෙරට නීතීඥ කණ්ඩායමක් ‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ බේරාගැනීම සඳහා එරටට ගොස් සිට තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේ (2) ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් දෙදෙනාව (2) මැඩගස්කරයේ රහසිගත ස්ථානායක තැබීමට එරට ආකර්ෂක අංශ කටයුතු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.

එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනාගේ (2) ලබාගත් ඡායාරූප දෙකක් (2) ද අපට ලැබී තිබුණි.

ඒ, එරට තුළ ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායම් පැමිණ ඔවුන් දෙදෙනාව (2) මුදවාගෙන යාහැකි බවට ඇතිවූ සැකයක් හේතුවෙනි.

මොවුන් දෙදෙනා (2) තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මැඩගස්කර ගුවන්තොටුපොළෙහි සිටි එරට නිලධාරීන් පිරිසකට රුපියල් කෝටි ගණනක මුදල් ලබාදුන්නද ඔවුන්ව නිදහස් නොකිරීම හේතුවෙන් කලහාකාරී ලෙස හැසිරී ඇතැයි ද වාර්තා වෙයි.

එහිදී ඔවුන් ‘Bloody Madagascar’ යනුවෙන් බැනවැදී ඇතැයි ද සඳහන් ය.

තමන්ව නිදහස් කරන්නේ නම් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් තවත් නිලධාරීන් කණ්ඩායමකට ලබාදීමට ද මොවුන් සූදානම් කර තිබූ බව පැවසෙයි.

අනතුරුව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් කෙන්යාවට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙදෙනාව (2) මැඩගස්කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ද සමගින් නයිරෝබි නුවර වෙත රැගෙනවිත් තිබුණි.

එතැනින් ඉන්දියාවේ මුම්බායි නුවර දක්වා පැමිණි යානයකින් ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ව රැගෙන එනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සැලසුම් කළ මෙහෙයුමකිනි.

ඉන්දීයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද ඊට සහාය ලබාදී තිබේ.

මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ද ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ ඉන්දිය ආරක්ෂක අංශ සමඟ කලහකාරී ලෙස හැසිරීම නිසා ඔවුන්ව සිර කුටියකට දැමීමට එරට ආරක්ෂක නිලධාරීන් උත්සාහා කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා (2) පවසා ඇත්තේ තමන් සියදිවි නසා ගන්නා බවය.

කෙසේවෙතත් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් සිව්දෙනා (4) අනතුරුව මුම්බායි නුවර සිට ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ව ඊයේ (15) පෙරවරුවේ මෙරටට රැගෙන ආවේය.

ඔවුන් මෙරටට ළඟවන විට දැඩිලෙස සන්සුන්ව හැසිරී ඇති බවද වාර්තා වෙයි.

සැකකරුවන් දෙදෙනා (2) විදෙස් රටවලදී කලහකාරී ලෙස හැසිරෙමින් එරට ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කරගැනීමට උත්සාහා කර ඇත්තේ, එරට තුළ රක්ෂිත බන්ධනාගාර ගතවී පළායෑමේ අදහසින් බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

මේ අතර අද (16) දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ‘හරක් කටා’ව හා ‘කුඩු සළිඳු’ව පරීක්ෂා කර නිරීක්ෂණ සටහන් කරගත්තේය.

එහිදී ඔවුන් දෙදෙනාව (2) රඳවා සිටින සිරමැදිරි ද පරීක්ෂා කර ඇති මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත්තේ යම්කිසි දෙයක් පැවසීමට තිබෙනවාද යනුවෙනි.

එම අවස්ථාව්දී සැකකරුවන් පවසා ඇත්තේ තමන්ට පැවසීමට කිසිවක් නොමැති බවය.

‘හරක් කටා’ හා ‘කුඩු සළිදු’ වෙන්වෙන්ව සිර මැදිරිවල දමා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ‘හරක් කටා’ගේ දේපළ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් දේපළ සිය භාරයට ගෙන තිබේ.

ඒ අතරට බස්, වෑන් සහ වෙළඳ සංකීර්ණ ද අයත්ය.

එවන් පසුබිමක අද (16) දිනයේදී ‘හරක් කටා’ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා වන ‘නෙල්සන් මර්වින් වික්‍රමරත්න’ අභියාචනාධිකරණයට රිට් පෙත්මක් ඉදිරිපත් කර තිබුණි.

+


පාසල් දරුවන් ගැන සමීක්ෂණයකින් විශේෂ අනාවරණයක්

(16.03.2023 – 19:12 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණවී තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ, තුන්වැනි (3) ශ්‍රේණියේ දරුවන් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයට අනුව සියයට 90 කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබුණි.

ඒ, 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි මස දක්වා කාලය තුළදීය.

මේ සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009 ක තුන්වැනි (3) ශ්‍රේණියේ දරුවන් 10,000 ක් පමණ සහභාගී කරගෙන තිබේ.

සමීක්ෂණය සිදුකර තිබුණේ සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේය.

එම දරුවන්ගෙන් සියයට 90 කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගත නොහැකි වී ඇති බව එමගින් අනාවරණ වී තිබේ.

සංගණනය සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27 ක පිරිසකි.

දරුවන්ගෙන් සියයට 73 ක එම කුසලාතව අසමත්වී තිබේ.

කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20 ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80 ක පිරිස එය අසමත්වී තිබුණි.

සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34 ක ප්‍රතිශතයක් පමණි.

දරුවන්ගේ සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී එය සමත්ව තිබුණේ සියයට 7 ක් පමණ වූ ඉතා අඩු සංඛ්‍යාවක්.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26 කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප්‍රවේශයක් නොතිබූ බවය.

මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ, සාක්ෂරතා කුසලතා අඩු සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට පියවර ගත යුතු බවය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *