ශ්‍රීපාදස්ථානය වෙත ගමන් ගන්නා එරත්න මාර්ගයේ දෙදෙනෙකු (2) මියගියේ වෛරසයකින් ද?

ශ්‍රීපාදස්ථානය වෙත ගමන් ගන්නා එරත්න මාර්ගයේ දෙදෙනෙකු (2) මියගියේ වෛරසයකින් ද?


ශ්‍රීපාද ස්ථානය වෙත ගමන් ගන්නා එරත්න මාර්ගයේ දෙදෙනෙකු (2) මියගියේ වෛරසයකින් ද?

(16.03.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීපාද ස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයක දී වෛරසයක් නිසා දෙදෙනෙකු (2) මියගිය බවට සමාජ මාධ්‍යය තුල සැරිසරන ප්‍රවෘත්තිය සෞඛ්‍ය අංශ විසින් මේ දක්වා තහවුරු කර නොමැති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසනවා.

අදාළ වාර්තාවල දැක්වුණේ ශ්‍රී පාද අඩවියේ කුඩා කඩයක සේවය කළ කාන්තාවක් සහ ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු දැරියක් අදාළ වෛරසය ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන්ද සොයිසා ජනතාවට දැනුම් දෙන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.

++++++++

‘ලිස්ටීරියා’ ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

(16.03.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම කාන්තාව ‘ලිස්ටීරියා’ රෝගි තත්ත්වය හේතුවෙන් මියගොස් තිබූ අතර රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමෙන් අනතුරුව රෝහල්ගතව ඇත්තේ පසුගිය 23 වනදායි.

ඇය ලිස්ටීරියා රෝගි තත්ත්වයට ගොදුරු ව සිට ඇති බවට මුලික විමර්ශනවල දි තහවුරු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළේ.

ලිස්ටීරියා රෝග තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියා.

කෙසේ වෙතත්, ලිස්ටීරියා රෝග තත්ත්වයෙන් සිදු වූ බව කියන තවත් මරණ 2 ක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති නමුත් මෙතෙක් එම මරණවලට හේතුව නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

උණ, වමනය, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා, කෑම අජිර්ණය වැනි රෝග ලක්ෂණ ලිස්ටිරීයා වෛරසය අසාදනය වු රෝගීන්ගෙන් පෙන්නුම් කෙරෙනවා.

මේ මස මුල් සතියේ ශ්‍රී පාද වන්දනාවේ ගිය ඇතැම් පුද්ගලයින්ට මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසට දන්වමින් සමාජ මාධ්‍යවල විවිධ වාර්තා සංසරණය විම දක්නට ලැබුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාරි දිසානායක පැවසුවේ, බහුල ලෙස මාංශ ආහාර ගැනීම මෙම ආසාදන තත්ත්වය ඇතිවීමට හේතුවියහැකි බවයි.

ආහාර මගින් ශරීරගත වන මෙම විෂබීජය බඩවැල්වලට සහ රුධිරයට එකතු වී අවසානයේ මොළයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත්, ඇතැම් විට මාරාන්තික විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මේ වන විට හඳුනාගත් එක් ලිස්ටීරියා රෝගියෙකු පමණක් ජිවිතක්ෂයට පත්ව ඇති හෙයින් අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසන්නේ ෴

+

+


සෝයා බෝංචි ගොවියන් නිසි මිලක් ඉල්ලයි

(16.03.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

තම අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා සෝයා බෝංචි ගොවීන් අපහසුතාවයට පත්ව සිටිනවා.

වව්නියාව, වැලිඔය සහ සපුමල්තැන්න සෝයා නිෂ්පාදනය කරන ගොවීන් සදහන් කළේ සෝයා බෝංචි වගා කිරීම සඳහා මෙවර වැඩි පිරිවැයක දැරීමට සිදුවූ බවයි.

එමෙන් ම, ඒ සඳහා අවශ්‍ය ජලය ද නිසි පරිදි නොලැබෙන බව ද ඔවුන් කියා සිටියා ෴


මෝල්ලුන්ගේ වී මිල නිසා ගොවි දිවියට දැඩි බලපෑම්

(16.03.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී අසවැන්න සඳහා නිසි මිලක් නොමැති විම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ප්‍රදේශ ගණනාවක වී ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර වැලිඔය ප්‍රදේශයේ සෝයා බෝංචි වගාව ද මෙවර අසාර්ථක වී ඇති අතර, ගොවීන් පවසන්නේ සෝයා බෝංචි සඳහා ද නිසි මිලක් නොමැති බවයි

ගැටලු රැසක් මැද වගා කළ සෝයා අස්වැන්න වෙනුවෙන් නිසි මිලක් නො ලැබීම හේතුවෙන් තමන් මහත් අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි වැලිඔය, සපුමල්තැන්න සෝයා ගොවීන් පවසන්නේ.

වර්ෂාව නොලැබීමෙන් මෙවර අක්කර ගණනාවක සෝයා බෝංචි අස්වැන්න විනාශ වී ගොස් ඇති අතර, ගොවීන් ඉල්ලා සිටින්නේ අස්වැන්නට නිසි මිලක් ලබා දී තම ගොවිතැන ආරක්ෂා කර දෙන ලෙස යි.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් කිරිමැටිපිටිය ව්‍යාපාරයේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න ඉතා විශාල ලෙස පහළ යාම හා ලැබුණු අස්වැන්න සඳහා නිසි මිලක් නො ලැබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ගොවීන් මැසිවිලි නගන්නේ, අක්කර 100 කට ආසන්න බිම් ප්‍රමාණයක වගා කොට ඇති වී අස්වැන්න සඳහා නිසි කලට පොහොර නො ලැබීම හා ගොයම් කහ වීමේ රෝගයට ලක්වීම නිසා වගාවන් බොහෝ සෙයින් අසාර්ථක වූ බව යි.

ප්‍රදේශයේ වී මිලට ගන්නා මහා පරිමාණ වී මෝල් හිමියන් රුපියල් 70 – 80 ත් අතර වූ ඉතා අඩු මුදලකට වී මිලදී ගැනීම හේතුවෙනුත් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ, වී කිලෝවක පාලන මිල රුපියල් 120 ක මුදලක් ලෙස වැඩි කර තම වගාවන් ආරක්ෂා කර ගැනීමට සහය දෙන ලෙසයි.

මොරගහකන්ද මහවැලි කලාපයේ ඇළහැර ගොවි ජන ව්‍යාපාරයට අයටත් ප්‍රදේශවල ද මේ වන විට මහ කන්නය සඳහා වගා කළ කුඹුරු අක්කර 16,000 ක පමණ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.

නමුත් ගොවීන් මැසිවිලි නගන්නේ ලබාගත් අස්වැන්න සඳහා නිසි මිලක් ලබා නො දීම හේතුවෙන් තමන්ට වගා කටයුතුවලින් ඉවත් වීමට සිදු ව ඇති බව යි.

+


විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව

(16.03.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට විශේෂ කමිටුවක නිර්දේශ යටතේ ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඒ යටතේ වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ.

+


‘හරක් කටා’ගේ ජීවිත ආරක්ෂාව ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

(16.03.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මැඩගස්කරයේ සිට දිවයිනට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුගේ පියා එය ඉදිරිපත් කර ඇත්තේ පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවේ පසු වූ ‘මාකඳුරේ මධූෂ්’ වැනි සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී මියගිය ආකාරය පෙන්වා දෙමින්.

ඒ අනුව, අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු වී තිබෙන බව ද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් ෴


එකේ පන්තියට යාමට පොත් කට්ටල 3 ක් අවැසි දඹුල්ලේ තුන් නිවුන් දැරියෝ

(16.03.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවත් එක් ප්‍රතිඵලයක් ලෙස පාසල් පොත්පත් ඇතුළු පාසල් උපකරණ මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

එම තත්ත්වය හමුවේ මව්පියන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට යි.

සිය දරුවන්ට පොත් පත් මිල දී ගැනීම සඳහා ඔබෙන් උපකාරයක් ඉල්ලන මවක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ දඹුල්ලෙන්.

දඹුල්ල – ඇරෑවුල පදිංචි චතුලි ජනන්දී, චතදි ජනිෂා, චතුනි ජනාධි යන තුන් නිවුන් දැරියන්ට පාසල් යාමට ඇති අපහසුතාවක් පිළිබඳ යි එම තොරතුරු වාර්තා වන්නේ.

තවත් දින කිහිපයකින් මොවුන් ජීවිතයේ තවත් පියවරක් තබමින් පාසල් යාමට අපේක්ෂාවෙන් සිටියත්, පොත්පත් ඇතුළු පාසල් උපකරණ මිල ඉහළ යාම හමුවේ මෙම දරුවන්ගේ මව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට යි.

සිය ස්වාමිපුරුෂයා පවුල පිළිබඳ සොයා නො බැලීමේ පසුබිම මත, ප්‍රියානි මාලිකා නම් මෙම දරුවන්ගේ මව පාසල් පොත් කට්ටල 3 ක් සොයා ගැනීමේ ගැටලුවට මුහුණ දී සිටිනවා.

ඇය පැවසුවේ, දරුවන්ට පාසල් යැවීමට අවශ්‍ය ඇඳුම් සහ සපත්තු ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් සැපයූ බව යි.

මෙම මව හිරු ප්‍රවෘත්ති හමුවේ තවදුරටත් මෙසේ පවසා සිටියා :

දැන් මොකක්ද අවශ්‍යතාව ?
මේගොල්ලන්ට එක (1) වසරට අකුරු ලියන පොත් කට්ටල 3 ක් ගන්න තියෙනවා.

දැන් කවදද ඉස්කෝලේ යන්න තියෙන්නේ ?
28 වැනිදා

කීයක් වෙනවද ?
එකක් 1,480 ක් වෙනවා

එතකොට වෙන මොනවද අවශ්‍ය ඉස්කෝලේ යන්න?
එහෙම වෙන මොකුත් නම් නෑ, ලොකූ අඩුවකට තියෙන්නේ එක තමයි සර්.

11 හැවිරිදි පවුලේ වැඩි මහලු පිරිමි දරුවා ද මේ වන විට පාසල් යන අතර දරුවන් සිවු (4) දෙනෙකුගේ වියදම් දරා ගැනීමට ඇති එක ම මාර්ගය වී ඇත්තේ, ප්‍රියනි මාලිකාගේ මව උපයන මුදල පමණ යි.

මම සර් කෙනෙකුගේ බබෙක් බලාගන්නවා. ඒකෙන් මට හම්බු වෙනවා 20,000 ක්. ඒකෙන් තමයි මම ළමයින්ගේ නඩත්තුව කරගෙන යන්නේ.

ඉතිං මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට කරගන්න ?
ඉතිං උදව්වක් තමයි, මට නම් ඕන නැහැ මේ දරු පැටවුන්ට. මම මැරිලා යයි තව දවස් ටිකක් යනකොට. දරු පැටවුන්ට ඉන්න, දොර වහගෙන නිදිය ගන්න කාමර 2 ක් පුළුවන් නම් හදලා දෙන්න.

ආර්ථික අර්බුදයක ජීවත් වුවත්, නිවුන් දරුවන් සිටින පවුලක සාමාන්‍යයෙන් සිදුවන පැටලීම් හේතුවෙන් මෙම පවුලේ සතුටේ අඩුවක් නම් නැහැ.

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බලපෑම 6-4 නොතේරෙන දරුවන්ටද එල්ල වී ඇති පසුබිමක, මේ පවුලට යම් උපකාරයක් කිරීමට ඔබටත් හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇති ෴


ඡන්දය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(16.03.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘නව ලංකා නිදහස් පක්ෂය’ ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම විසින් ගොනුකළ පෙත්සමක් අද (16) සළකා බැලූ අවස්ථාවේදීයි ෴


කොටුව මහේස්ත්‍රාත් සී.අයි.ඩී යට

(16.03.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ සහ ‘සලිඳු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිඳු’ නිරීක්ෂණය කිරීම සඳහායි.

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) උදෑසන දිවයිනට රැගෙන ආ මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ (15) අවසර ලබාදුන්නා.

+


සුබ සාධක ප්‍රතිලාභ අයදුම්පත් ගැන ෂෙහාන් සේමසිංහගෙන් මතක් කිරීමක්

(16.03.2023 – 14:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 කින් ලද සුබ සාධක ප්‍රතිලාභ අයදුම්පත් මිලියන 3.7 කින් තොරතුරු සමීක්ෂණ හා සත්‍යාපන ක්‍රියාවලිය මගින් ලද අයදුම්පත්වල තොරතුරුවල සත්‍යාපන කටයුතු මේ වනවිට (16) අවසන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මෙම තොරතුරු සමීක්ෂණය මෙම මස 31 වැනි දිනට පෙර නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

එසේ නොවුණහොත් සුබසාධක ප්‍රතිලාභ අහිමි වන බවට ද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරනු ලබනවා ෴


ප්‍රථම වරට ගුවන් ‍යානා අනතුරු විමර්ශනයට ස්වාධීන කණ්ඩායමක්

(16.03.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරනු ලබන ප්‍රථම කණ්ඩායමට පත්වීම් ලිපි ලබාදීම අද (16) කෙරුණා.

ඒ අද (16) පෙරවරුවේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ දියි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල විසින් ගුවන් යානා අනතුරු විමර්ශකවරුන් 11 දෙනෙකුට පත් වීම් ලිපි මෙහිදී ප්‍රදානය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත් කරනු ලැබූ මෙම ගුවන් යානා අනතුරු විමර්ශකවරුන් විසින් මෙරටට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබඳ සත්‍ය තොරතුරු හඳුනා ගැනීමක්, එම අනතුර සිදුවූයේ කෙසේද යන්නත්, යළිත් එවැනි අනතුරක් සිදු නොවන්නට අවශ්‍ය පියවර ගැනීමත් මොවුන්ගේ කාර්‍ය්භාරය වනවා.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ස්වාධීන සංචිතයක් ලෙස ක්‍රියාත්මක වන ගුවන් යානා අනතුරු විමර්ශන කන්ඩායමේ පුහුණු කිරීමේ කටයුතු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රතිමියට අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *