මැතිවරණ කොමිසම මුදල් ඉල්ලා මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් නෑ

මැතිවරණ කොමිසම මුදල් ඉල්ලා මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් නෑ


මැතිවරණ කොමිසම මුදල් ඉල්ලා මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් නෑ

(16.03.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ, මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන රජයෙන් ලැබෙනු ඇති බවට තවදුරටත් විශ්වාස කරන බවයි.

පසුගිය 12 වැනි දා ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයා වෙත යළිත් ලිපියක් යොමු කළා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නො හැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බව යි.

මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ මස 09 වැණි දා පැවැත්වීමට නියමිත ව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනි දා දක්වා කල් දමනු ලැබුවා.

+


පොළොන්නරුවේ මනුෂ්‍ය ඝාතනයක් (ආනන්තරිය පාප කර්මයක්)

(16.03.2023 – 09:09 +0530 – hirunews.lk/sinhala)

පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පොළොන්නරු රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ඊයේ (15) මෙම ඝාතනය සිදු වී ඇති අතර, මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 46 ක පොළොන්නරුව-වැවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු 14 වැනි දා රාත්‍රියේ බීමත් ව නිවසට පැමිණ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බව සඳහන්.

එහි දී මරණකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහර දීමට උත්සාහ කර ඇති අතර, ඊට මරණකරුගේ පුතා සහ දියණිය මැදිහත් වී ඇති බව යි වාර්තා වන්නේ.

පසු ව මරණකරු ඔවුන්ට ද පහර දීමට උත්සාහ කර ඇති අතර, පුත්‍රයා විසින් යකඩ පොල්ල උඳුරාගෙන පියාගේ හිසට පහර දී ඇති බව වාර්තා වනවා.

ඝාතනය සිදු කළ වයස අවුරුදු 16 ක පුත්‍රයා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර, පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොළොන්නරු පොලිසිය මඟින් මෙහෙයවනු ඇති ෴


පනාගොඩ කඳවුරෙන් ආයුධ සොරා ගැනීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(16.03.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

පනාගොඩ යුධ හමුදා කඳවුරේ සෙබළෙකුට අයත් ටී 56 ගිනි අවියක් සහ පතරොම් 90 ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 30 ක් වන හිටපු යුද හමුදා සෙබලෙකු සහ අවුරුදු 36 ක් වන යුධ හමුදා සැරයන්වරයෙක්.

අදාළ සැරයන්වරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ ටී 56 ගිනි අවිය සහ පතරොම් තොගය සොයා ගෙන තිබෙනවා ෴


බූරූ මූණාට විදෙස් ගමන් තහනමක්

(16.03.2023 – 09:46 +0530 – hirunews.lk/sinhala)

‘රවිදු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරූ මූණා’ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

පොලිසිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි මෙම තහනම පනවා ඇත්තේ.

පසුගිය දෙසැම්බර් 18 වන දා හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරු ඝාතනය කිරීම ‘රවිදු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරූ මූණා’ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වනවා.

එමෙන්ම ඔහු මනුෂ්‍ය ඝාතන රැසක ප්‍රධාන වෙඩික්කරු ලෙස ද කටයුතු කර ඇති බව සඳහන් ෴


අන්තරේ හා එක්ව අරගල කරන්න යාපනේ සූදානම්?

(16.03.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙමළ ජනතාවට අලුත් කාරණාවක් නොවන බවත් දෙමළ ජනතාවට ඇති ඊට වඩා බරපතළ ගැටලු සම්බන්ධයෙන් දකුණේ ජනතාව සුබවාදීව බැලීමට සූදානම් නම් පමණක් එක්ව අරගල කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අලගරාසා විජයකුමාර් පවසනවා.

පසුගිය දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් යාපනයට ගොස් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා පැවත් වූ සාකච්ඡාවේ දී ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එහි දී යාපනය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි කර ගැනීමට සියලු විශ්වවිද්‍යාලවල සහයෝගය අවශ්‍යව ඇතැයි වසන්ත මුදලිගේ තම සංගමයෙන් ඉල්ලා සිටි බවයි.

තව ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සියලු විරෝධතාවලට යාපනයේ විශ්වවිද්‍යාලයේ සහයෝගය ලැබී නැතැයි මුදලිගේ කියා සිටි බව ද ඔහු පැවසුවා.

වසන්ත මුදලිගේගේ, මෙම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් තම සංගමය ඔවුන් වෙත ප්‍රතිචාර දක්වා සිටි බව පැවසූ යාපනය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, දෙමළ ජනතාව දීර්ඝ කාලයක සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නැයි ඉල්ලා සිටියත් එම ඉල්ලීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ ආණ්ඩු එම පනත දෙමළ ජනතාව මර්දනයට යොදා ගත් බව මුදලිගේ ඇතුළු පිරිසට පෙන්වා දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන්න දෙමළ ජනතාවට සමාන්‍ය කාරණයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් යාපනය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් එහි දී පවසා ඇත්තේ දෙමළ ජනතාවට ඊට වැඩි බරපතළ ගැටලු රැසක් ම පවතින බවයි.

දෙමළ ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු දකුණේ ජනතාව වෙත අවබෝධ කරදීමට දකුණේ විශ්වවිද්‍යාලවල සහාය අවශ්‍ය බව තම සංගමය වසන්ත මුදලිගේ ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටි බව කී යාපනය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පරිහානියට පැවති යුද්ධය ප්‍රධාන හේතුවක් වූ බව පිළිගන්නේදැයි තමන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටි බව ද පැවසුවා.

එබැවින් මෙරට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දකුණේ විශ්වවිද්‍යාල සංගම් අවබෝධයෙන් ඒ වෙනුවෙන් හඬ අවදි කිරීමට සූදානම් නම් පමණක් තම සංගමය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ අරගලයන්ට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව සිය සංගමය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජීතයන් පිරිස වෙත අවධාරණය කර සිටි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා ෴


ඔන්ලයින් ක්‍රමයට දුර ගමන් බස්වල ආසන වෙන් කරන්න අවස්ථාව

(16.03.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේ පහසුකම මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා.

ඊයේ (15) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊට අදාළ ආසන වෙන් කිරීමේ කවුළුව විවෘත කිරීම සිදු කෙරුණේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගේ ප්‍රධානත්වයෙන්.

එහි දී එම ආසන වෙන් කිරීම් වලට අදාළ වෙබ් අඩවිය ( https://sltb.eseat.lk/ ) විවෘත කෙරුණු අතර පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන් ම ක්‍රියාත්මක 1315 ක්ෂණික දුරකථන අංකය හරහා ද ආසන වෙන් කර ගත හැකියි ෴


අදත් (16) වායුව නරක අතට

(16.03.2023 – 12:35 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් වාර්තා වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවලින් අනාවරණය කරනවා.

ඒ අනුව අද (16) පෙරවරු 11:30 වන විට දිවයිනේ නරක ම වායු තත්ත්වය කොළඹ නගරයෙන් වාර්තා වී ඇති අතර එහි වායු ගුණාත්මක අගය දැක්වුණේ, අදාල දර්ශකයේ එකක 135 ක් ලෙසින්.

ඊට අමතරව, ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 130 ක අගයක් ද, යාපනේ නගරයෙන් 128 ක් හා බත්තරමුල්ල බස්නාහිරින් ඒකක 121 ක අගයක් වාර්තා වී තිබෙනවා.

වායු ගුණාත්මක දර්ශකයට අනුව සෞඛ්‍යට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101 – 150 දක්වා වූ මට්ටමයි ෴

++++++++

වායු දූෂණ තත්ත්වයේ ඉහළ යාමක්

(16.03.2023 – 14:30 +0530 – hirunews.lk/sinhala)

වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද (16) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල වායු තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 158 ක් ලෙස දැක්වුණා.

එය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙන්නේ ෴


බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න හැදූ 16 ක් අත්අඩංගුවට

(16.03.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් මඩකලපුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මුලතිව් ප්‍රදේශයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් කොකුවිල් පොලිස් වසමේ ස්විස් ගම්මානයේ නිවසක් වටලා ඇති අතර එහි දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී මිනිස් ජාවාරම් මාෆියාවේ සාමාජිකයකු මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයන් 16 දෙනකුගෙන් මුදල් ලබා ගෙන ඔවුන්ව මඩකලපුව මුහුදේ සිට බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට බලා පිටත් කර යවන ලෙස පවසා මෙමෙ පිරිස ගෙන්වාගෙන තිබෙනවා.

මෙම පිරිස මඩකලපුව ස්විස් ගම්මානයේ නිවසක් කුලියට ගෙන මාසයක පමණ කාලයක සිට එහි නැවතී සිට ඇති බවයි පොලිසිය කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කුඩා ළමුන් 3 දෙනෙකු, ගැබිණි කාන්තාවන් 3 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමින් 8 දෙනෙකු සහ නිවස කුලියට ගැනීම සඳහා ඔවුන්ට උපකාර කළ පුද්ගලයෙකු ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අද (16) බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


දුම්රියක් වාහනයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

(16.03.2023 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මහනුවර සිට මාතර බලා ධාවනය වූ සියනෑ කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ අහංගම – වැල්හේන්ගොඩ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් සහ 35 හැවිරිදි තරුණයෙක්.

මෙහි දුම්රිය ගේට්ටුවක් නොමැති අතර, ‘බෙල් ඇන්ඩ් ලයිට්’ ක්‍රමයට සංඥා දැල්වෙමින් තිබියදී මෝටර් රථය හරස් මාර්ගයට ඇතුළු කර ඇති අතර එය දුම්රියෙහි ගැටී මීටර් 300 ක් පමණ ඈතට විසී වි ගොස් තිබෙනවා.

අනතුරෙන් මියගිය දෙදෙනා (2) ඥාතීන් වන අතර කාන්තාව ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා නැවත නිවෙස වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්වුණා.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයක දී ද මෙම ස්ථානයේ අනතුරු රැසක් සිදුව තිබෙනවා.

+

+

https://www.youtube.com/watch?v=SwZubl_mOtI

+


වැඩ වැරුම ගැන පසුවිපරමක්

(16.03.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (15) සිදු කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (16) පෙරවරුවේ සිට තාවකාලික ව අත්හිටුවීමට වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කළා.

ඒ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියට ජනාධිපති ලේකම්වරයාගෙන් සාධනීය ප්‍රතිචාර හිමි වීම හේතුවෙන්.

ඒ අනුව අද (16) පෙරවරු 08:00 සිට වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කළ බව යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40 ක් සිදු කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වුණා.

ඊයේ (15) පැවති වැඩ වර්ජනය හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් බිලියන 46 ක් අහිමි වූ බවට ගණන් බලා තිබූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම ගණනය කළ නොහැකි බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් අද (16) දිනයේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළා.

ඒ අනුව අද (16) පෙරවරුවේ සිට දුම්රිය ධාවන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.

කෙසේ වුවත් ඇතැම් දුම්රිය ස්ථානවල විශාල වශයෙන් මගී ජනතාව රැස්ව සිටියේ ප්‍රමාණවත් පරිදි දුම්රිය නොමැති වීම හේතුවෙන්.

එමෙන්ම ගුරු වෘත්තීය සමිති ද සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළා.

කෙසේ වෙතත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහිමට පත්විය හැකි විසඳුම් නො ලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ.

කොළඹ වරායේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන ආකාරය දක්නට ලැබුණු අතර, සේවක පැමිණීමද ඉහළ අගයක් ගෙන තිබුණා.

කොළඹ ජාතික රෝහලේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර සෙසු රෝහල්වල කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වුණා.

මේ අතර අභියෝග රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කළ සෞඛ්‍ය ක්ෂේත්‍රෙ යේ නිරත පිරිස් ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

+


මුදල් පමාව ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම රැස්වේ

(16.03.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවාගේ ප්‍රධානත්වයෙන්.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුදල් තවමත් ලබා නොදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් මේ මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා දක්වා කල්දමනු ලැබුවා.

කෙසේ වෙතත්, ඡන්ද විමසීමට මුදල් ඉල්ලා පසුගිය 12 වනදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකළ ද ඊට තවමත් පිළිතුරක් ලැබී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *