සාකච්ඡා අසාර්ථකයි – පළාත් පහක (5) වෛද්‍යවරු අදත් (14) වර්ජනයේ

සාකච්ඡා අසාර්ථකයි – පළාත් පහක (5) වෛද්‍යවරු අදත් (14) වර්ජනයේ


සාකච්ඡා අසාර්ථකයි – පළාත් පහක (5) වෛද්‍යවරු අදත් (14) වර්ජනයේ

(14.03.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අවසන් විසඳුමක් ඉදිරිපත් නො වීම හේතුවෙන් සැළසුම් කර පරිදි අද (14) දිනයේ පළාත් 5 ක සියලුම රජයේ රෝහල්වල සංකේත වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සබරගමුව, වයඹ, ඌව, උතුරමැද සහ උතුර පළාත්වල රජයේ රෝහල්වල පෙරවරු 8 සිට එම වර්ජනය දියත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත් ඊයේ (13) වර්ජනය ක්‍රියාත්මක කළ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල අද (14) දින වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (13) සිට වෘත්තීයවේදීන් විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබෙනවා.

එවන් පසුබිමකයි ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයෙන් වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට කැඳවීමක් සිදුකර තිබුණේ.

එම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා.

මේ අතර ‘පුනරුදයේ නිතීඥවරුන්’ සංගමයේ සභාපති නලීන් පතිරණ ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙය පොදු ජනතාව බලාපෙරොත්තු වන වර්ජනයක් නොවන බවයි ෴

++++++++

අඛණ්ඩ වර්ජනයකට අපි එකග නෑ.. සෞඛ්‍ය අඛණ්ඩ වර්ජනයකට කොහොත්ම එක නෑ.. – GMOA මූණටම ලාල් කාන්ත කියයි..

(14.03.2023 – 09:20 +0530 – lankacnews.com)

15 වැනිදා සිදු කරන වැඩ වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පරිපාලන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

නමුත් අඛණ්ඩ වැඩ වර්ජනයක් පැවැත්වීමට මේ මොහොතේදී තමන් එකඟ නොවන බවද හෙතෙම පැවසීය.

පහළොස් වැනි දා (15) ගන්නා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් පාලකයන්ගේ ප්‍රතිචාර මැන බලා ඉන් අනතුරු වත්තීය ක්‍රියාමාර්ග ගැනීම වඩා සුදුසු බව ද හෙතෙම පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට තම පක්ෂයේ කෙසේවත් කැමති නැති බව ද හෙතෙම කියා සිටී.

ජනතාව සහ වර්ජකයන් ගැටෙන තැනකට තල්ලු කිරීමට පාලකයන්ට ඉන් ලොකු ඉඩක් ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.

වැඩ වර්ජනයක නිරත වෘත්තිය සමිති එකමුතුව විසින් කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක දී ඔහු මෙම අදහස් පළ කළේය.

+


පාසැල් සිසුන් ගිනි අව්වේ හෙල්මට් දාගෙන, කුඩ ඉහලගෙන විභාගය ලියයි..

(14.03.2023 – 06:20 +0530 – lankacnews.com)

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියන් හට 13 දින පාසල් පංති කාමයෙන් එපිට එලිමහනේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියන් දැඩි පීඩාවන්ට පත්වූහ.

සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව තිබූ අතර එහිදී පැවති අධික අව් රශ්මිය හේතුවෙන් සිසුවියන් දැඩි පීඩාවන්ට පත්වූහ. එහිදී ඇතම් සිසුවියන් විසින් අව් රශ්මිය ඉවසාගත නොහැකි වීමෙන් යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි අයුරු දැකගත හැකි විය.

මෙලෙස සිසුවියන් එලිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවටත් එලිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවටද සිසුවියන්ගේ දෙමාපියන් පවසා සිටියහ.

එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම තරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්වයක් බවටත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවටද දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


පළමුවෙනි දවසේ ගුටි කයි , දෙවෙනි දවසේ ගුටි කයි , තුන්වෙනි දවසේ ගුටි කයි , ඊළඟ දවසේ නම් හමුදාවටත් …

+


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් නැඟෙනහිර මුහුදට කඩොලාන

(14.03.2023 – 07:25 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2030 වසර වන විට එරට සහ ලෝකයේ බොහෝ වටිනා මුහුදු කලාපවල කඩොලාන පැළ මිලියන 10 ක් වගා කිරීම සදහා විශේෂ වැඩසටහනක් මේ වසරේ (2023) ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ නැඟෙනහිර පළාතේ මුහුදු තීරය ද ඇතුළු කර ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ඊයේ (13) පැවති සාකච්ඡාවක දී අවධාරණය කළ බව සඳහන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලීත් මසර් සුලෛමාන් අල අමෙරි (Khaled Masser Sulaiman Al Ameri) අතර යි මෙම විශේෂ හමුව ඊයේ (13) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වී ඇත්තේ.

මෙම හමුවේ දී විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ, නැගෙනහිර පළාතේ නව ආයෝජන අවස්ථා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට හඳුන්වාදීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කිරීම පිලිබඳව යි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශාඛාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ස්ථාපිත කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටි බව සඳහන්.

සංචාරක සහ කාබනික කෘෂිකර්මය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලැබෙන අයුරින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු වූ බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක කලාපවල නව ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කරන ලෙස ද තානාපතිවරයා මෙහි දී ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴


‘හරක් කටා’ සහ ‘කුඩු සළිදු’ දිවයිනට

(14.03.2023 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සලිදු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිදු’ ගුවන් මගින් අද (14) මෙරටට රැගෙන ඒමට නියමිත යි.

ඒ, පසුගියදා එරටට පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

හතර (4) දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු (2) ද ඇතුළත් වුණා.

පෞද්ගලික ජෙට් යානයකින් ‘හරක්කටා’ සහ ‘කුඩු සළිදු’ ඇතුළු තවත් පිරිසක් පෙබරවාරි මස 12 වනදා මැඩගස්කරයට පැමිණ තිබූ අතර ඔවුන් ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව යි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසට ‘හරක් කටා’ගේ බිරිඳද ඇතුළත්.

මොවුන් අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ, විදේශ කටයුතු අමාත්‍යංශයට පසුගිය දා දැනුම් දුන් අතර අනතුරුව යි ‘හරක්කටා’ සහ ‘කුඩු සළිදු’ මෙරටට රැගෙන ඒම සඳහා පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත්ව යනු ලැබුවේ.

මේ අතර ‘හරක් කටා’ගේ පියා සහ ‘කුඩු සළිදු’ගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, පොලිස් අත්අඩංගුවේ සිටියදී තම දරුවන් ඝාතනයට ලක්වීමේ සහ වධ හිංසාවලට භාජනය වීමේ අවධානමක් ඇති බවට පවසමින් ෴


පාසල් සිසුවෙකු දින 27 ක් තිස්සේ අතුරුදන්

(14.03.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – ස්ප්‍රිංවැලි වත්ත – නහවිල කොටසේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු දින 27 ක් තිස්සේ අතුරුදන්ව ඇති බවට වාර්තා වනවා.

ඔහුගේ දෙමාපියන් බදුල්ල පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ, පසුගිය මස 15 වනදා උපකාරක පන්තියකට යන බව පවසා තම දරුවා නිවසෙන් පිට ව ගිය බව යි.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ ස්ප්‍රිංවැලි, බැද්දගම මහ විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ෴


පේරාදෙණි සරසවියේ නවක සිසුන්ට මානසික පරීක්ෂණයක්

(14.03.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු (1) වසරේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් කර ගන්නා නවක සිසු සිසුවියන් මානසික පරීක්ෂණයක් සඳහා යොමු කරන බව එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසනවා.

පසුගිය කාල සීමාව තුළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සහ නිතී පිඨ සිසුන් කිහිපදෙනෙකු සියදිවි හානි කරගෙන තිබු අතර එවැනි තත්වයන් වැලැක්වීම මෙහි අරමුණ බවයි ඔහු කියා සිටියේ ෴


බූරු මූණාට රැකවරණය දුන් තවත් හතරක් (4) අත් අඩංගුවට

(14.03.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරූ මූණා’ට රැකවරණය දීමේ චෝදනාව මත තවත් පුද්ලයින් 4 දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුට පළායාමට අවශ්‍ය පහසුකම් ලබාදීම, රැකවරණය ලබාදීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා යි.

මොවුන් අවුරුදු 38 සහ 43 යන වයස්වල පසුවන කටුවැල්ලේගම, මීගමුව සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මීට අමතර ව සැකකරුට පළා යාම සඳහා ලබාදුන් මෝටර් රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට පෙර ‘බූරු මූණා’ට පොලිසියෙන් මුදවාගෙන රැගෙන යාමේ චෝදනාවට සැකපිට ශ්‍රමණවේශධාරීන් 2 ක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ව යි පසු වන්නේ ෴


රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි

(14.03.2023 – 07:55 +0530 – lankadeepa.lk)

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතකයා සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි.

දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් (2) පොලිස් නිල සුනඛ ‘ඒගල්’ට ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.

ගොයම් පැළ දෙකට (2) ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක (4) පමණ අතිශය දුෂ්කර ගමනක් ගොස් සැකකරුගේ නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් කොස්තාපල් බී.ජී. ජයරත්න (42320) මහතා පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබීය.

එම කොට්ටාශයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත.

පොලිස් නිල සුනඛ ‘ඒගල්’ හැසිරවනු ලැබූ පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න මහතා සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් ලංකාදීපයට මෙසේ පැවසීය :

“මෙම කාන්තාවගේ මළ සිරුර කුඹුරේ මඩ වගුරේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවා තිබෙන බව අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා දැනුම් දී තිබුණා. ඒ අනුව ගොයම් පැල දෙකක් (2) පොලිස් නිල සුනඛයා ට ඉව කිරීමට සැලැස්සුවා. ගොයම් පැළ දෙක ඉව කළ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන කුඹුරේ මඩ ගොහොරුවේ ඉදිරියටම ගමන් කළා. කුඹුරෙන් ගොඩ වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන තේ වතු මැදින් කඳු පල්ලම් බසිමින් ඉතා දුෂ්කර ගමනක නිරත වෙමින් කිලෝමීටර් හතරක (4) පමණ දුරක් ගෙවා නිවස පිහිටි ගෙවත්තට ඇතුළු වුණා.

පසුව එම නිවස ඉදිරිපිට සිටි එක් පුද්ගලයකුට ඉව කළ පොලිස් නිල සුනඛයා නිවස වටා එක් වරක් කැරකි නිවස තුලට ඇතුලු වුණා.

ඇතුළු වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙනම එම නිවසේ කාමරයකට ඇතුළු උනා. එහි තිබූ ඇඳට ඉව කළ නිල සුනකයා ඇඳ ලඟ බිම වාඩි වුණා. අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම නිවසේ සිටි යුද හමුදාවේ සෙබලෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිල සුනඛයා ලබාදුන් ඉව අනුවයි. පොලිස් නිල සුනඛයා ගෙවත්තට ඇතුළු වූ අවස්ථාවේ ඉව කළේද මෙම සැකකරුම බවද පොලිස් නිල සුනඛයා මෙහෙයවු ජයරත්න මහතා වැඩිදුරටත් කීය.

මෙම පොලිස් නිල සුනඛ ‘ඒගල්’ මීට පෙර අවස්ථා ගණනාවකදී ද අපරාධමය සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇති දක්ෂ පොලිස් නිල සුනඛයෙකු බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහන් කරයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාන්චන ගොඩකුඹුර, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙසේ ඝාතනයවී ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේ කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි දනුකා මධුවන්ති නම් 26 හැවිරිදි විවාහකකාන්තාවකි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *