මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වගේ – උදය ගම්මන්පිල

මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වගේ – උදය ගම්මන්පිල


මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වගේ – උදය ගම්මන්පිල

(13.03.2023 – facebook.com/UdayaGammanpilaFanPage)

(2023 මාර්තු 13 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.)

1949 මුදල් නීති පනත ඉවත් කර ඒ වෙනුවට සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් පසුගිය මාර්තු 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 3 සහ 4 වගන්ති අමු අමුවේ උල්ලංඝණය කරන නිසා ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතියකින් තොරව මේ පනත සම්මත කර ගැනීමට බෑ කියලා තීන්දු කරන මෙන් ඉල්ලමින් අද (13) දිනයේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්ඩී 9/2023 යන නඩුව ගොනු කළා.

අපට තිබෙන තොරතුරු අනුව මේ පනත ඉදිරිපත් කිරීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්ලු. නමුත් අද අපි ණය ගනීවි. හෙට ඒ මුදල් වාෂ්ප වේවි. රටේ ආර්ථිකය නියාමනය කරන මහ බැංකුව රටේ පාලනයෙන් ගිලිහුනොත් ඒ ගිලිහීම සදාකාලික වේවි. ඩොලර් ලබා ගන්න ජනතා පරමාධිපත්‍ය රටේ ස්වාධිපත්‍ය විකුණා දමන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නෑ. අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් කරන්න ආණ්ඩුවට මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙන්න බෑ. ව්‍යවස්ථාවයි මූල්‍ය අරමුදලේ ගිවිසුමයි අතර පරස්පරයක් තිබෙනවා නම් වෙනස් කළ යුත්තේ මූල්‍ය අරමුදලේ ගිවිසුම මිස ව්‍යවස්ථාව නොවේ.

මේ පනතේ 4 වන වගන්තියෙන් කියනවා මහ බැංකුවේ සියළුම කොටස් අයිති ආණ්ඩුවටයි කියලා. ඒ කියන්නේ මහජන මුදල් තමයි මහ බැංකුවේ ආයෝජනය කරන්නේ. නමුත් 5 වන වගන්තියෙන් කියනවා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කියලා. මේ රටේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කරන්නේ රටේ ජනතාව. ඒ අය තනතුරු දරණ කාලය පුරාම ජනතාව ආණ්ඩුවේ කටයුතු පිලිබඳ විමසිල්ලෙන් ඉන්නේ. ජනතාව නැතත් විපක්ෂය සහ ජනමාධ්‍ය විමසිල්ලෙන් ඉන්නේ. ඒ අය වරදක් කලොත් ඊ ලඟ මැතිවරණයේ දී දඬුවම් කළ හැකියි. ඒ නිසාම ජනතා මතයට විධායකය සහ ව්‍යවස්ථාදායකය යම් සංවේදි බවක් තිබෙනවා. නමුත් මහ බැංකුවේ නිලධාරින්ට ජනතාව ගැන කිසිම සංවේදිතාවයක් තිබෙන්න හේතුවක් නෑ. ඒ නිසා මහ බැංකුව ස්වාධීන වුණොත් ඔවුන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරාවි. ඊටත් වඩා භයානක වන්නේ ඔවුන්ට විදේශ ශිෂ්‍යත්ව දෙන, විදේශ සංචාර දෙන, ජාත්‍යන්තර සංවිධාන වල රැකියා අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර තානාපති කාර්යාලවල ඕනෑ එපාකම් මත ක්‍රියා කිරීමට උත්සාහ ගනිවි. මේ සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලංකා ආණ්ඩුවේ ග්‍රහණයෙන් මුදවා හැරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණයට නතු කරන එකයි.

ආණ්ඩුව කියන්නේ මහ බැංකුව ස්වාධීන කිරීම මූල්‍ය අරමුදලේ ණය ලබා ගන්න සම්පූර්ණ කළ යුතු කොන්දේසියක්ලු. අපි මීට පෙර 16 වතාවක් මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගත්තා. මහ බැංකුව ස්වාධීන කරන්න කිව්වේ නෑනෙ. වෙනත් කිසිම රටකට මේ කොන්දේසිය දැමූ බවට වාර්තා වෙන්නේ නෑ. එහෙම නම් මේ උත්සාහ කරන්නේ අපේ අසරණකම පාවිච්චි කරලා අපේ රට මූල්‍ය අරමුදලේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් කර ගන්නයි.

භාණ්ඩාගාර ලේකම් මහ බැංකුවෙන් ඉවතට

මහ බැංකුව ආණ්ඩුවේ බැංකුකරු වගේම මූල්‍ය උපදේශක කියලා මේ පනතේ 7 වන වගන්තියෙන් කියනවා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය නියෝජිත කියලාත් තිබෙනවා. මහ බැංකුව ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්ති රාමුවට සහය ලබා දිය යුතුයි කියා 6 වන වගන්තියෙන් කියනවා. මේ වගන්ති අනුව පේන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසන මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සකසන භාණ්ඩාගාරය අතර සමීප සම්බන්ධතාවයක් තිබිය යුතු බවයි. භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වෙන්නේ මේ නිසා. නමුත් නව පනතින් භාණ්ඩාගාර ලේකම් මහ බැංකුවේ පාලක සභාවෙන් ඉවත් කරලා. ඒ අනුව ආණ්ඩුව සහ මහ බැංකුව සමග විශේෂයෙන් භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර තිබිය යුතු අත්‍යාවශ්‍ය බැඳීම ඉවත් කරලා. ඒ පියවර අරගෙන තිබෙන්නේ මහ බැංකුව ආණ්ඩුවෙන් ගලවලා අරන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනයට යටත් කර ගන්නයි.

මෙන්න මේ කාරණා නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. අපි විශ්වාස කරනවා මෙම පනත ජනතාවගේ අනුමැතියකින් තොරව සම්මත කළ නොහැකි බවට තීන්දුවක් ලබා දීලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැක දීමට කටයුතු කරාවි කියලා.

මෙම අවස්ථාව සඳහා පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් උපුල් කෝණාර, සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් යන මහත්වරුන් ද සහභාගීවිය ෴

+

+++++++++

Central Bank will be in the grip of the IMF and Western embassies

(13.03.2023 – facebook.com/UdayaGammanpilaFanPage)

We challenged the constitutionality of Central Bank Bill tabled in Parliament by filing SD 9/2023 before the Supreme Court today. Since it grossly violates Article 3 & 4 of the Constitution, in my opinion, it cannot be passed without the approval of the people at a referendum.

Reportedly, enactment of this bill is a condition imposed by the IMF. If there is a conflict between the Constitution and the agreement with the IMF, we can’t amend the Constitution to accommodate the agreement. Instead, the IMF Agreement should be suitably amended to comply with the Constitution.

In terms of Section 4 of the Bill, Central Bank is fully owned by the Government. It means public funds have been invested in the Central Bank. However, Section 5 says the Central Bank shall have financial and administrative autonomy. How can a public institute exist without Government control? Both executive and legislature are sensitive to public opinion since they have to face the public in every five years for re-election. Media and the Opposition are also watchful of activities of the Government. However, People have no opportunity to appoint or remove Central Bank officers. Therefore, they are not sensitive to aspirations and welfare of the public. They may act as they wish. In a worst scenario, they may act as advised by the IMF or Western embassies. Hence, crucial public institute like Central Bank must always be within People’s radar.

In terms of Section 7 of the Bill, Central Bank is the banker, financial advisor and fiscal agent of the Government. Section 6 says that the Central Bank shall support general policy framework of the Government. These two sections reflect the interwoven roles of Central Bank who formulates monetary policy and the Treasury who formulates fiscal policy. That’s why Treasury Secretary becomes an ex officio member of the Monetary Board under the prevailing law. Unfortunately, this Bill has severed this essential link between the Central Bank and the Government by denying a seat of the Governing body to the treasury secretary.

These are among other reasons for us to challenge the Bill before the Supreme Court.

+


‘නව මහ බැංකුව පනත්’ ආර්ථික ඝාතක වුවමනාවක් ද?

(13.03.2023 – 17:58 +0530 – lankaleadnews.com)

ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා සහ මහ බැංකුව පිහිටුවීම සඳහා මුදල් නීති පනත් සම්මත කරනු ලබන්නේ 1949 දීය. ඉන් පසුව 2014 දක්වා එම පනත් කාලීන අවශ්‍යතාවයන්ට අනුව අවස්ථා 22 කදී සංශෝධනය කර ඇත. නමුත් වර්තමාන ආර්ථික සහ මූල්‍ය අපදාව අවස්ථාවේදී හදිසි කටයුත්තක් ලෙස එම පනත් සම්පූර්ණයෙන්ම ඉවත් කර නව මහබැංකු පනතක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කටයුතු කිරීම පිළිබඳව බරපතළ සැකයක් මතුවේ. විශේෂයෙන්ම වත්මන් විදේශ විනිමය අර්බුදයට මූලික හේතුව ලෙස සලකන 2017 දී සම්මත කළ විදේශ විනිමය පනත සංශෝධනය කිරීම ඉහළම ප‍්‍රමුඛතාවයක් ලබාදිය යුතු අවස්ථාවක් ඒ වනවිට ‘මහ බැංකුව ස්වාධීන කිරීමේ’ නාමයෙන් නව මූල්‍ය පනතක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පැහැදිළි නැත. මේ වන විට පනත අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ගැසට් කර ඇතත් ආණ්ඩුවේ කිසිදු බලධාරියෙකු එම අවශ්‍යතාවය කුමක්දැයි පැහැදිලි කර නැත.

ඒ පිළිබඳව අදහස් දක්වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ පී. සමරසිරි මහතා ප‍්‍රශ්න කරන්නේ අදාළ පනත් ඉදිරිපත් කරනු ලබන්නේ ‘බිඳවැටී ඇති මහ බැංකුව නගා සිටුවීමටද එසේ නැතිනම් මුල්‍ය පද්ධතිය විනාශ කිරීමටද’ යනුවෙනි. පසුගිය කාලය තුළ එතුමා ද ඇතුළුව විවිධ පාර්ශ්ව විසින් මහබැංකුවේ නිලධාරීන්ගේ නොසැළිකිළිමත් භාවය, අකර්යක්ෂතාවය සහ අත්තනෝමතික භාවය පිළිබඳව බරපතළ චෝදනා එල්ලකරනු ලැබීය. වත්මන් විදේශ විනිමය සහ මූල්‍ය අර්බුදයට එම තත්වය ප‍්‍රභල හේතුවක් වූ බවටද සාක්ෂි ඉදිරිපත්විය. විශේෂයෙන්ම මහබැංකු බැඳුම්කර වංචාවට ඉඩසැළසීම පමණක් නොව වංචාවක් ලෙස සැළකෙන ඩොලර් මිලියන 12,000 ක් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම ආදියට වගකිව යුත්තේ ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ මහ බැංකු නිලධාරීන් බව ඉතා පැහැදිළිය. උදාහරණයක් ලෙස ඒ ආකාරයට 2015 සිට 2019 දක්වා වසර 5 ක් වැනි කෙටිකාලයකදී ආපසු ගෙවිය යුතු ස්වෛරීබැඳුම්කර හෙවත් වාණිජ ණය 7.2% ක් තරම් ඉහළ පොළියට ඩොලර් මිලියන 12,000 ක් නිකුත් කළ අවස්ථාවේදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය හොබවනු ලැබුවේ මහබැංකුවේ වර්තමාන අධිපතිවරයාය.

එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ අනුමැතිය අනිවාර්ය වේ. ශ‍්‍රි ලංකාවේ වෙළඳ හිගය ගෙවුම් ශේෂය සහ ද්‍රවශිල සංචිත ප‍්‍රමාණයන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇති එතුමාට එසේ ඉහළ පොලියට කොටිකාලීන වාණිජ ණය එතරම් ප‍්‍රමාණයක් ලබාගත් විට ගොවාගත නොහැකිවීම නිසා අර්බුදයක් ඇතිවන බව තේරුම් ගැනීමේ අමාරුවක් තිබිය නොහැක.

එතුමාට පමණක් නොව අංක ගණිතය සමත් වූ ඕනෑම පහළ නිලධාරියකුද වුවද ඒ බව වටහා ගත හැක. ඊට අමතරව බැංකු සහ මූල්‍ය ආයතන පාලනය කිරීමේ දුර්වලතා පිළිබඳව මෙන්ම එම ආයතන වලට උවමනා ආකාරයට ක‍්‍රියාකිරීම හෝ නිෂ්ක‍්‍රීය ව සිටීම පිළිබඳව ද මහ බැංකු නිලධාරීන් ට එරෙහිව චෝදනා එල්ල වේ. නමුත් බැංකු පද්ධතිය තුළ උසස් නිලධාරීන් පත්කිරීමේ දී මහ බැංකුවේ අධීක්ෂණයට සහ අනුමැතියට යටත් වුවද මහ බැංකු නිලධාරීන්ගේ ඒකාග‍්‍රතාවය හෝ විශ්වාසනීයත්වය පිළිබඳව එවැනි සොයා බැලීමක් සිදු කිරීම සඳහා යාන්ත‍්‍රනයක් නැත. නමුත් මුදල් නීති පනත ඉවත් කර නව මහබැංකු පනතක් හඳුන්වාදීම මගින් එවැනි බරපතළ වැරදි නිවැරදි කිරීම සඳහා අපේක්ෂාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනේ.

‘මහ බැංකුව ස්වාධීන කිරීම’ හෙවත් ‘මූල්‍ය අරමුදලේ ආධිපත්‍යයට යටත් කිරීම’ සඳහා ඉඩ සැලසීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලේ ණය කොන්දේසියක් බව ඉතා පැහැදිලිය. මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 2.9 ක් ණය පහසුකම් ලබාදීම සඳහා කොන්දේසි 15 ක් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා විසින් සඳහන් කර ඇත. ඒ අනුව රටේ මූල්‍ය පද්ධතිය දුර්වල කර මහ බැංකු නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට රටේ මුදල් පාලනය හැසිරීම සඳහා ඉඩ සැලසීම ඒ අතුරින් එක් කොන්දේසියක් බව නව පනත් අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ. ‘ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාංගයක් බවට පත්කිරීමේ ක‍්‍රියාවලිය’ට ‘මහ බැංකුව ස්වාධීන කිරීම’ යන ලේබලය ඇලවීම මගින් ඊට මහජන සහාය ලබාගත හැකි යැයි ආණ්ඩුව විශ්වාස කරන බව පෙනේ. එනම් මහ බැංකුව ඇමතිවරයාගේ හෝ ජනාධිපතිවරයා ගේ දේශපාලන බලපෑම්වලට යටත් නොවී කටයුතු කිරීම සඳහා නව පනත් හඳුන්වා දෙන බව පැවසීම මගින් මහජනයාට ‘මොඩචූන්’ එකක් ලබා ලබා දිය හැකි බවය. ඊට හේතුව දේශපාලනයකරණයට මෙන්ම දේශපාලනඥන්ට එරෙහිව රටේ බරපතළ විරෝධයක් පැවතීමය. සමාජ මනෝභාවය සහ රටේ පවතින ආපදා තත්ත්වය වාසියට හරවා ගනිමින් මූල්‍ය අරමුදලේ ඒ කොන්දේසිය ඉටු කළ හැකි යැයි ආණ්ඩුවේ සහ මූල්‍ය අරමුදලේ බලධාරීන් කල්පනා කිරීම ඉතා තර්කානුකූල යැයි පිළිගැනීමට සිදුවේ.
නමුත් වසර 72 ක් විවිධ අර්බුදවලට මුහුණ දෙමින් ස්ථාවරව පැවති මූල්‍ය පද්ධතිය මෙම නව පනත මගින් දුර්වල කෙරෙන බව පනතේ ප‍්‍රතිපාදන වලින් පැහැදිලි වේ. වත්මන් විදේශ විනිමය අර්බුදයට මූලික වශයෙන් වගකිව යුතු 77 සිට නඩත්තු කළ ආර්ථික මොඩලයේ අවුල මෙන්ම 2017 දී සම්මත කළ විදේශ විනිමය පනත මගින් නිර්මාණය කර ඇති අවුල නිවැරදි කිරීමකින් තොරව ‘කෝකටත් තෛලය’ ලෙස ‘මහ බැංකුව ස්වාධීන කිරීම’ මගින් මූල්‍ය පද්ධතිය බිඳ වැටීම නිසා නව අර්බුදයක් නිර්මාණය වීමේ අනතුරක් මතුවන බව ඉතා පැහැදිලිය. ප‍්‍රධාන වශයෙන් නව පනත මගින් මූල්‍ය පද්ධතියේ පදනම වන දේශීය මුදල් ඒකකය නීතිගත කිරීමට අදාල ප‍්‍රතිපාදන ඉවත් කර ඇත. නමුත් දැනට තිබෙන මුදල් නීති පනතේ පළමු පරිච්ඡේදය වෙන්කර ඇත්තේ ඒ සඳහාය.

ඒ අනුව නව බැංකු පනත් ක‍්‍රියාත්මක වීමේ දී ශ‍්‍රී ලංකාවේ නීතිය මගින් පිළිගත් ප‍්‍රමිතියක් මුදල් ඒකකයක් නොමැති තත්ත්වයක් ඇතිවේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ රුපියලට අමතරව හෝ ඒ වෙනුවට වෙනත් විදේශීය මුදල් ඒකක භාවිතා කර ගෙවීම් කිරීමේ හැකියාව ලැබේ. මේ වන විට ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර මුදල් ඒකක ඒකාබද්ධකරණයක් පිළිබඳව කතා කෙරෙන තත්ත්වයක් තුළ නව පනත හදුන්වා දීමේ මූලික අරමුණ වන්නේ ඊට පහසුකම් සැලසීම යයි උපකල්පනය කිරීමේ වරදක් නැත. මේ වන විට ‘ඉන්දියාවේ රිසර්ව් බැංකුව’ ඒ සඳහා පහසුකම් සලසා ඇත.

එවැනි තත්ත්වයක් තුළ මේ වන විට ශේෂපත‍්‍ර වල රුපියල් වලින් සඳහන් වටිනාකම් අනුව කුණු කොල්ලයට දේපළ මිලදී ගන්නා ඉන්දියානු ජාතිකයින්ට නව පනත යටතේ තම වත්කම් සහ වගකීම් ඇමෙරිකානු ඩොලර් හෝ ඉන්දියානු රුපියල් වලින් දැක්වීමේ හැකියාව ලැබේ. ඒ අනුව රටේ මූල්‍ය පද්ධතිය රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සහ සංවර්ධනය කිරීම සඳහා වන උපාංගයක් ලෙස නොව එම ක‍්‍රියාවලිය අවුල් කරන බාධකයක් බවට පත් වනු ඇත. නව පනත මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම මහ බැංකුවේ මූලික වගකීමක් ලෙස දක්වන්නේ නැත. ඒ වෙනුවට මුදල් පාලනය ස්ථාවරත්වය සහ මිල ස්ථාවරත්වය පිළිබඳ වගකීම පමණක් පවරා ඇත. ඊට අමතරව නව පනත මගින් මහ බැංකුව පුර්ණ වශයෙන් ස්වාධීන ආයතනයක් බවට පත් වන අතර රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව විසින් මේ වන විට ඉටු කරන භූමිකාව විවිධ බාහිර බලපෑම් නිසා ඉටු නොකර සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස රජයට ණය ලබා ගැනීම සහ මුදල් සැපයුම ආදිය පිළිබඳව අත්තනෝමතික තීන්දු ගැනීමේ බලයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව සහ මුදල් පාලන බලයට අභියෝග කිරීමේ හැකියාවද ලැබේ.

නව පනත් අනුව මහ බැංකු නිලධාරීන්ගේ තීන්දු පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට මහා භාණ්ඩාගාරයට හෝ පාර්ලිමේන්තුවට බලයක් නැත. එම ආයතන වලින් ඉදිරිපත් වන ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කළ හැකි අතර ඉල්ලා සිටින තොරතුරු ලබා නොදී සිටීමේ හැකියාවද ඇත. ඒ අනුව මෙම පනත් තුළ මහජන පරමාධිපත්‍යය නොසලකා කටයුතු කිරීමේ බලයක් මහබැංකුවේ නිලධාරීන්ට පළාත් මණ්ඩලවලට ලැබෙන අතර එම තත්ත්වය මගින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පැහැදිලිව පෙනේ. මහජන වගවීමකින් තොරව සහ විනිවිදභාවයකින් තොරව තීන්දු ගැනීමේ බලය රටේ ආර්ථිකයට අදාළව ප‍්‍රබල භූමිකාවක් ඉටු කරන ආයතනයක නිලධාරීන් අතළොස්සකට ලබාදීම පවතින අර්බුදය උත්සන්න කිරීමට පමණක් නොව නව අර්බුද නිර්මාණය කිරීමට ද හේතු විය හැක.

ඒ අනුව මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් රටේ ව්‍යවස්ථාවට පවා පටහැනිව සම්මත කිරීමට උත්සාහ කරන ‘නව මහබැංකු පනත්’ ඉතා පැහැදිලිවම ‘ආපදා යටත්විජිතවාදී මෙහෙයුමක්’ බව තහවුරු වේ. ආපදා තත්ත්වය තුළ මූල්‍ය අරමුදලට ලැබී ඇති කේවල් කිරීමේ බලය යොදා ගනිමින් සහ ඩොලර් බිලියන 2.9 ‘කැරට් අලය’ පෙන්වමින් ආණ්ඩුව එතැනට තල්ලු කිරීමට මූල්‍ය අරමුදල සමත් වී ඇත. ඒ සඳහා මහ බැංකු නිලධාරීන්ගේ ආශිර්වාදය අවවාද සහ අනුශාසනා ලැබෙන බවට සැකයක් නැත. ඔවුන් විසින් තමාගේ දුර්වලතා සහ අකාර්යක්ෂමතාව වලට නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කරන ප‍්‍රධානතම හේතුවක් වන්නේ පවතින නීතියේ අඩුපාඩු කම් ය. එසේ ම දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කරති. ඒ මගින් නව නීතියක අවශ්‍යතාවය සාධාරණීකරණය කිරීමට හැකියාව ලැබී ඇත. නමුත් ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම හෝ එම ආයතනයේ පාලනයට යටත් කිරීම මගින් එම ආයතනයේ ස්වාධීනත්වයට සිදුවන හානිය පිළිබඳව එම නිලධාරීන් අතරින් හෝ මහ සමාජයෙන් විරෝධයක් මතු වන්නේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිපැදීම මගින් අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන ලෙසට විවිධ පාර්ශව වලින් ආණ්ඩුවට බලපෑම් එල්ල වන තත්ත්වයක් තුළ සහ ‘පසුගිය ආණ්ඩුව එසේ නොකළ බැවින් අර්බුදය උත්සන්න වූ බව’ට මත නිර්මාණය කෙරෙන තත්ත්වයක් තුළ එවැනි විරෝධයක් මතු වන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවිධ තනතුරු දරා ඇති සහ පුහුණුවීම් අවස්ථා ලබාගෙන ඇති නිලධාරීන් මූල්‍ය අරමුදල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම පිළිගත හැකි තත්ත්වයකි. එසේ නොවන සහ මූල්‍ය පද්ධතිය කළමනාකරණයට අදාළ ව නව පනත් මගින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව අවබෝධය සහිත සෙසු නිලධාරීන් මෙම තත්ත්වය තුළ නිහඬව සිටීම ඉතාම කණගාටුදායක තත්වයකි. දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව රාජකාරි කිරීමේ සාධාරණ සිතුවිල්ල මත සද්භාවයෙන් නව පනත ට සහයෝගය දක්වන පිරිස් ද මහබැංකු සේවකයින් අතර සිටිය හැක. එසේ වුවත් රුපියල පා කිරීම සඳහා බලපෑම් එල්ල කළ සහ වර්තමාන මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වූ නව පනත් ද අදාළව ගැඹුරු හැදෑරීමක් සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට බාධාවක් තිබිය නොහැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *