බර වාහන පැදවිය හැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු වෙයි

බර වාහන පැදවිය හැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු වෙයි


බර වාහන පැදවිය හැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු වෙයි

(11.03.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට ලියාපදිංචි වී ඇති කලින් කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20 ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කරන්නේ, 2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් කල් ඉකුත් නොවීමත්, ඒවා ලබාගත් රියැදුරන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම අනිවාර්ය නොවීමත් අනතුරු රැසකටම හේතු වී ඇති බවයි.

2009 වසරට පෙර නිකුත් කර ඇති NDL අක්ෂර සහිත කාඩ්පත්/රිය බලපත් පොත් දහ අට ලක්ෂ පනස් හතර දහස් විසි හතක් (18,54,027) නිකුත් කර ඇති අතර ඒවා සැහැල්ලු සහ බර කාණ්ඩ වශයෙන් වෙන් වෙන්ව ලබා දී ඇති නමුත් නිශ්චිත කාලයකට වලංගු කර නැහැ.

එමෙන්ම 2009 වසරෙන් පසු A අක්ෂරය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදුව තිබෙනවා.

එලෙස නිකුත් කර ඇති මුළු බලපත්‍ර සංඛ්‍යාව විසි නව ලක්ෂ පනස් අටදහස් නවසිය විසිපහක් (29,58,925).

කෙසේ වෙතත් ඒ අතරිනුත් කොටසක් අලුත් කළ යුතු නැති බලපත්‍ර ලෙස පවතිනවා.

පසුකාලීනව සුහුරු රිය බලපත්‍ර මුද්‍රණය කිරීමට පටන් ගත් අතර මේ වන විට රියැදුරු බලපත්‍ර එක්කෝටි විසි අට ලක්ෂයකට (1,28,00,000) ආසන්න ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර තිබෙනවා.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ජීවිත රැසක් අහිමි කරමින් සිදු වූ රදැල්ල බස් අනතුරයි.

එහිදී මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන්ගේ මෙහෙයවීම මත මෝටර් රථ පරීක්ෂකවරුන් නව (9) දෙනකුගෙන් යුත් විමර්ශනයක් සිදු කළ අතර එහිදී බස් රථයේ රියැදුරු වයස අවුරුදු 65 ක් වන විවිධ රෝගවලින්​ පෙළෙන පැරැණි රිය බලපතක් ඇති අයෙකු බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙවන් අනතුරු රැසක්ම පැරැණි රිය බලපත් යාවත්කාලීන නොවීම නිසා වාර්තා වීම සැලකිල්ලට ගෙන එම බලපත්‍ර වලින් බර වාහන බලපත්‍ර ඇති සියලු දෙනාගේ බලපත්‍ර යාවත්කාලීන කිරීමට නිර්දේශ කර තිබෙනවා ෴


විවෘත කිරීමකට ගිය විදුරට සහ ඩී.බී ට බමුණාකොටුවේදී හූවක්

(11.03.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකට වාරියපොල – වල්පොල – බමුණාකොටුව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ එම ප්‍රදේශයේ ඉදිකර ඇති සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේයි. එම අවස්ථාව වනවිට රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් ද එහි පැමිණ සිටියා.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ අදාළ සංස්කෘතික මධ්‍යස්ථානයේ විවිධ උත්සව මීට පෙර ද පැවැත්වුණු බැවින් එය යළි විවෘත කිරීම අනවශ්‍ය බවයි.

නියමිත වේලාව ද ඉක්මවා එම ස්ථානයට පැමිණි අමාත්‍ය විදුර වික්‍රමනායකට ප්‍රදේශවාසීන් විසින් හූ හඩ නගිමින් විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, වාරියපොල – නුවරකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් අදාළ විරෝධය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එම විරෝධය පිටුපස යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක බවයි.

+

+


මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමට ගිය වනජීවී වෛද්‍යවරයාට දිවියාගෙන් ප්‍රහාරයක්

(11.03.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යාල වනෝධ්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව ඌව පළාත් බාර වනජීවී වෛද්‍ය ඩබ්ලිවු. ඒ. ධර්මකීර්ති ප්‍රමුඛ කන්ඩායමක් අද (11) පෙරවරුවේදී රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී එකවරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍ය මාලක අබේවර්ධනගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා තිබෙනවා.

වනජීවී නිළධාරීන් ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැළයට පැන ගොස් තිබෙනවා.

දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ වනජීවී වෛද්‍යවරයා වහාම වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

එහිදී වනජීවී වෛද්‍ය වරයා සැත්කමකටද ලක් කොට තිබෙනවා.


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රටින් යන්න හදද්දි ආපහු හරවා යවලා – නිලධාරින් දෙදෙනෙකු (2) ගේ වැඩ තහනම්

(12.03.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ විදෙස් තහනමක් යැයි පවසා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හට විදෙස් ගමන් වළක්වාලීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටයුතු කිරීමේ පුවතක් වාර්තා වනවා.

ඊයේ (10) රාත්‍රියේ දී හිටපු අමාත්‍යවරයා සිය පෞද්ගලික කටයුත්තක් සඳහා විදෙස්ගත වීමට ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදියි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම සංචාරයට පැමිණි හිටපු අමාත්‍යවරයාව යළි හරවා යවා ඇත්තේ.

නමුත් එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා ගුවන් තොටුපළේ සිටි ආගමන හා විගමන නිලධාරින්ට පවසා ඇත්තේ තමන්ට එවැනි තහනමක් අධිකරණය විසින් පනවා නොමැති බවයි.

නමුත් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ විදෙස් ගමන් තහනම් නියෝගය පනවා ඇති බවත් එම නිලධාරින් අලුත්ගමගේ හට දන්වා තිබෙනවා.

කෙසේවෙතත් මේ පිළිබඳ හිටපු අමාත්‍යවරයා මතුගම අධිකරණයෙන් කළ සොයා බැලීමක දී හෙළි ව ඇත්තේ එවැනි තහනමක් අධිකරණය මගින් පනවා නොමැති බවත්, කොළඹ මහාධිකරණයේ මීට පෙර තමන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති අතර, එම ඉවත් කිරීම ද සිදුව ඇත්තේ අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් වන සාධක ඉදිරිපත් වීමෙන් අනතුරුව බවත් වාර්තාවනවා.

මේ බව හිටපු අමාත්‍යවරයා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට දැනුම්දී ඇති අතර, එය දත්ත ලඝු සටහනේ සිදු වූ තාක්ෂණික දෝෂයක් බවත්, රටින් පිටවීමේ හැකියාව අලුත්ගමගේ හට ඇති බවත් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (12) දිනයේ දී රටින් පිටව යනු ඇති.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකුගේ (2) වැඩ තහනම් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෙට (13) දිනයේ දී විශේෂ පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා ෴


ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සංවිධානවල සහාය

(11.03.2023 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ (10) උදෑසන සිදු කරනු ලැබුවා.

සංවර්ධන ආයතන සමග පැවති හමුවේ ප්‍රථිපලයක් ලෙස ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය සහ JICA ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ අවශ්‍ය සහය ලබා ගැනීමද සිදු කරනු ලබනවා.

විශේෂයෙන්ම මුල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහය ලබා ගැනීමට දැනටමත් එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරනු ලබනවා.

එමෙන්ම අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කල හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සාමුහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවරයන් වනවා ෴

+++++++++

විදුලියෙන් රතු එළියක්

(12.03.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් අමාත්‍යවරයා ඒ සඳහා සූදානම් වන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.

අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඊයේ (11) වාර්තා වුණා.

සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදීයි මෙම කරුණු අනාවරණ වී තිබුණේ.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඇතුලු ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඔවුන්ට ලබාදිය හැකි සහය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ සහාය ලබා ගැනීම ද සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මුල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහය ලබා ගැනීමට දැනටමත් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේ වසර 3 කට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවන තෙල් සංස්ථා සහ විදුලිබල මණ්ඩල සාමුහික ගිවිසුමෙන් රජය ඉවත් වන බවයි ෴


රිජ්වේ ආර්යා ළමා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟයක්

(12.03.2023 – 08:49 +0530 – hirunews.lk/sinhala)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ සේනාපති ප්‍රකාශ කළා.

රෝහල් කාර්ය මණ්ඩලයේ සිටිය යුතු සේවක සංඛ්‍යාව 800 ක්.

කෙසේ වෙතත් දැනට එහි සේවය කරනු ලබන්නේ 600 ක් පමණ බවයි වාර්තා වන්නේ.

2019 වර්ෂයේ සිට කණිෂ්ඨ කාර්යමණ්ඩලය සඳහා බඳවා ගැනීම් සිදු නොකිරීම මෙලෙස සේවක හිඟයක් ඇතිවීමට හේතුව බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ෴


යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කතක් මරුට

(12.03.2023 – 08:59 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගයකට යතුරුපැදියක් ඇතුලු කළ කාන්තාවන් දෙදෙනෙකු (2) දුම්රියේ ගැටීමෙන් එක් (1) කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) පස්වරුවේ හික්කඩුව – කුරුදුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ කාන්තාව වන අතර, අනෙක් කාන්තාව බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


IMF ණය අපට ලැබෙන්නෙ මෙහෙමයි – තවත් සංවිධාන කිහිපයකින් ලංකාවට මුදල්

(12.03.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) වසරක් තුළ අවස්ථා 8 ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන ණය මුදල වන අමෙරිකානු ඩොලර් බිලියන 03 ක මුදල ලැබීමට නියමිත බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හිමිගැන්වෙන මුදල සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයෙකු සති අන්ත පුවත්පතකට පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම මාසය අවසන් වීමට පෙර අදාළ ණය මුදලේ පළමු පියවර වෙනුවෙන් සහ එය ලබා ගැනීම වෙනුවෙන් වන ගිවිසුම්වලට එළඹීම ද සිදු කිරීමට නියමිත බවත්, ඉන් පසුව අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තුන්සිය පනහක (350) පමණ මුදලක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

අයි.එම්.එෆ්. ගිවිසුම්වලින් අනතුරුව ලෝක බැංකුවෙන් ද අවස්ථා දෙකක (2) දී ශ්‍රී ලංකාවට මුදල් ප්‍රදානයන් සිදු කෙරෙනු ඇති.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ එම මුදල් ප්‍රමාණයන් පිළිවෙළින් අමෙරිකානු ඩොලර් දස ලක්ෂ පන්සීයයත් – එක්දහස් පන්සීයයත් (500-1500) අතර මුදලක් හිමිවීමට නියමිත බවයි.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් දස ලක්ෂ හයසීයක (600) මුදල් ප්‍රදානයක් ලැබෙනු ඇති.

කෙසේවෙතත් මේ දිනවල ශීඝ්‍රයෙන් ඩොලරයේ අගය මෙන් ම රුපියලේ ද අගය වෙනස් වීමේ සිදුවීම සම්බන්ධයෙන් සහ ඉදිරියේ දී ඩොලරයේ අගය රුපියල් 390 ක් දක්වා ඉහළ යාමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙක් කළ ප්‍රකාශය ගැන ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ අයි.එම්.එෆ්. ණය ලැබීමෙන් හෝ ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *