‘විරෝධතා විසිරුවා හැරීමට විෂ දුම් වර්ග භාවිත කරනවා’ යැයි චෝදනාවක් – අනුර කුමාර දිසානායක

‘විරෝධතා විසිරුවා හැරීමට විෂ දුම් වර්ග භාවිත කරනවා’ යැයි චෝදනාවක් – අනුර කුමාර දිසානායක


‘විරෝධතා විසිරුවා හැරීමට විෂ දුම් වර්ග භාවිත කරනවා’ යැයි චෝදනාවක් – අනුර කුමාර දිසානායක

(09.03.2023 – 16:41 +0530 – hirunews.lk/sinhala)

විරෝධතා විසිරුවා හැරීමට ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම්වර්ග භාවිත කරන බවට සැකයක් මතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

එහි දී ඔහු කියා සිටියේ, “මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන විශාල සැකයක් තිබෙනවා. නිමල් සහෝදරයා මිය යන්නේ, කඳුළු ගෑස් වැදිලා, පැයක් එකහමාරකට ආසන්න කාලයක් ඔහු ඉඳලා, වමනෙ දමා, ක්ලාන්තයක් ඇවිත්, අවසානයේ ඔහු මිය යනවා. එය මිනිස්සුන්ට යට වීමකින් හෝ ප්‍රහාරයකින් හෝ වාහනයකට යටවීමකින් නොවෙයි. මේ කඳුළු ගෑස්වල ප්‍රතික්‍රියාවක් හේතු කොටගෙන තමයි ඔහු මිය යන්නේ. මේ මරණය ඝාතනයක්.

පෙරෙයිදා (07) දිනයේ මිය ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරී, ප්‍රියන්ත වන්නිනායක සොහොයුරා මිය යන්නේ වෙඩි උණ්ඩයකට හේ හදිසි අනතුරකට නොවෙයි. කඳුළු ගෑස්වල ප්‍රහාරය හේතුකොටගෙන. මුහුණ සෝදාගෙන ටික වේලාවකින් ඔහු මිය යනවා. මේවා ඝාතන. මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන පවා විශාල සාධාරණ සැකයක් තිබෙනවා. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතුයි. රසායනික අවි පාවිච්චි කරනවාදැයි සැකයක් තිබෙනවා. ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම්වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවාදැයි සැකයි. රනිල් වික්‍රමසිංහ ඉතාමත් මුග්ධ වියරු මනසකින් මේ රට පාලනය කරන්න උත්සාහ දරනවා. මේ අනතුර අපි කලින්ම හඳුනා ගෙන තිබෙනවා. මේ අනතුර පරාජයට පත් කිරීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා.” යනුවෙන්.


වසන්ත මුදලිගේට සිතාසි ; 27 උසාවියේ පෙනී සිටින්නත් දැනුම්දෙයි

(09.03.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.

අද (09) පස්වරුවේ මෙම සිතාසිය මුදලිගේ වෙත නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

කොළඹ මහාධිකරණය විසින් අදාළ සිතාසිය නිකුත් කර තිබෙනවා.

සිතාසියෙන් මුදලිගේට දන්වා ඇත්තේ මෙම මස 27 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ෴


කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් සිසුන් 06 දෙනාට ඇප

(09.03.2023 – 17:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනාට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන් බව පොලිසිය පවසනවා.

මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (08) රාත්‍රියේ දීයි ෴


සාමාන්‍ය පෙළ තවත් කල්යාමේ අවදානමක

(09.03.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නියමිත පරිදි අවසන්කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල්දැමීමට සිදුවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියාසිටියේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

පවතින ආර්ථික ගැටලු හමුවේ උත්තර පත්‍ර ඇගයීමේදී දැනට ලබාදෙන දෛනික දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් අයදුම්කිරීම ප්‍රමාද කරනු ලැබුවා.

එම නිසා අයදුම්කිරීම් කාලය ඊයේ (08) දක්වා දීර්ඝ කෙරුණු අතර ඒ සඳහාත් ගුරුවරුන් නිසිපරිදි ඉල්ලුම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන්ගේ ඉල්ලීම මත උත්තර පත්‍ර ඇගයීමේදී දැනට ලබාදෙන රුපියල් 500 දීමනාව රුපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ දමන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහෙත් අනුමැතිය හිමිවී ඇත්තේ දීමනාව රුපියල් දෙදහසක් (2000) දක්වා ඉහළ දැමීමට පමණයි.

එය ප්‍රමාණවත් නොවන බව ගුරු සංගම් ප්‍රකාශ කරන අතර ඊයේ (08) මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ගුරු සංගම් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

+


‘සෙලෙන්දිවා’ ඈවර කෙරේ

(09.03.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ රජය විසින් හිමිකාරිත්වය දරණ දේපළ විකිණීම හෝ පැවරීම සඳහා ස්ථාපිත කරන ලද ‘සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්’ සහ ‘සෙලන්දිවා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්’ යන සමාගම් ස්වේච්ඡාවෙන් ඈවර කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම අද (09) ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම් දුන්නා.

ඒ එම සමාගම්වල ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ‘වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ’ ලේකම් කපිල රේණුක පෙරේරා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සමාගම් ස්වේච්ඡාවෙන් ඈවර කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ලබන ජුලි මස 18 වනදා එය කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

+


මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් – ගුවන් ටිකට් මිලත් අඩුවන ලකුණු

(09.03.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රමෝපාය ලබන මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජයට අනුමැතිය ලැබීමට සමගාමීව වාණිජ ණයදෙන්නන් සමග ද සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනය ලබා ගැනීම සදහා වන කාර්ය මණ්ඩල අනුමැතිය ලද වහාම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ මධ්‍යකාලීන ණය ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කර දිගුකාලීන ණය තිරසරභාව ලගාකර ගැනීම සදහා කැපවන බව මහබැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම සියලු‍ කටයුතු ඉදිරි මාස හය (6) තුළ අවසන් කිරීමට බලාපොරොත්තුව වන බව මහබැංකු අධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වසර දහයකදී (10) ණය තිරසරභාව ළඟා කරගත යුතු අතර එම කාලය තුළ ණය බර අඩුකරගැනීමට අදාළ මාර්ග සිතියම ද ඉදිරිපත් කළ යුතු වනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (09) දිනයේත් ශක්තිමත් වුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.36 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 325 ක් ලෙසයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම ශක්තිමත් වීමත් සමඟ එහි වාසිය ගුවන් මගීන්ට ලබාදීම සඳහා ගුවන් ටිකට්පත් ගාස්තු සංශෝධනයට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කළා.

ගුවන් ප්‍රවේශ පත් වෙන්කර ගැනීමේදී ඊට අදාළ ගෙවීම් සිදු කරනු ලබන්නේ ඩොලර්වලින් වන අතර ඩොලරයේ අගය පහළ යාමේ වාසිය ගුවන් මගීන්ට කඩිනමින් ලබාගත හැකි බවයි එම ගුවන්සේවය සඳහන් කළේ.

මේ අතර තිරිඟු පිටි මිල අඩුවීමත් සමඟ ආපනශාලාවල ආහාර මිල ගණන් අඩුකර ඇති අතර පරිප්පු සමඟ පාන් බාගයක මිල රුපියල් 150 සිට 130 දක්වා පහත දමා තිබෙනවා.

එමෙන්ම කොත්තු සහ කෙටි ආහාර මිල ගණන්ද අඩුකරන ලෙසයි අද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ආපනශාලාවලින් ඉල්ලා සිටියේ.

මේ අතර ලංකා සතොස ආයතනය භාණ්ඩ 7 ක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ඒ අනුව, වියළි මිරිස් කිලෝවක් රුපියල් 75 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1500 ක් ලෙසයි.

පාන් පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 230 ක් ලෙස දැක්වුණා.

පරිප්පු කිලෝවක් රුපියල් 19 කින් අඩු කරමින් නව මිල රුපියල් 339 ක් ලෙස දක්වා තිබෙනවා.

සුදු සීනි කිලෝවක් රුපියල් 11 කින් අඩු කර ඇති අතර එහි නව මිල 218 ක් ලෙස සටහන් වුණා.

දේශීය රතු කැකුළු කිලෝවක මිල රුපියල් 9 කින් අඩු කරමින් රුපියල් 155 ක් ලෙස දැක්වුණා.

දේශීය නාඩු කිලෝවක් රුපියල් 7 කින් සහ ලොකුළුෑණු කිලෝවක් රුපියල් 6 කින් අඩු කර ඇති අතර ඒවායේ නව මිල ගණන් පිලිවෙලින් දැක්වුණේ රුපියල් 188 ක් හා රුපියල් 129 ක් ලෙසයි ෴


රක්ෂණ වාරික ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්

(09.03.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

වාරික නොගෙවූ වාහන 1500 ක් පමණ 2021 වසරෙන් පසු රක්ෂණ සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම ඇතැම් රක්ෂණ සමාගම් අත්තනෝමතිකව වාරික මුදල් දෙගුණයකින් ඉහළ නංවා ඇති බවයි ඔහු කියා සිටියේ.

එවන් පසුබිමක් තුළ රක්ෂණ සමාගම් බදු නිසිලෙස ගෙවා ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් ඉල්ලා සිටියා ෴


සියයට 25 ක තරුණ නියෝජනයට අනුමැතිය

(09.03.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

යෝජිත පළාත් පාලන ජන්ද විමසීමේ පනත් කෙටුම්පත යටතේ සියයට 25 ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ එකඟත්වය හිමිව තිබෙනවා.

ඒ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එය රැස්වූ අවස්ථාවේදියි.

එහිදි පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන ජන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා ද සමගින් සලකා බලා එකගත්වය ලබා දී තිබෙනවා.

මේ අතර, සමගි ජන බලවේගය විසින් ගෙන ආ සර්වජන ජන්ද බලය පිළිබද කල් තැබිමේ දෙදින (2) විවාදය අද (09) පළමු (1) දිනට පැවැත්වුනා.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හමුවීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 14 දෙනෙකු ඊයේ (08) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි බවයි ෴


මැතිවරණ කල් දමන ආණ්ඩුවට සෞඛ්‍ය පාඩමක්
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව (2023.03.09)

+


විරෝධතාවලට වතුර ගහන්නේ අශූචි කලවම් කරලා.. ඇගම කහනවා.. කදුළු ගෑස් කල් පැනලා.. සිහි නැති වෙනවා..

(09.03.2023 – 22:22 +0530 – lankacnews.com)

විරෝධතා සඳහා ආණ්ඩුව විසින් එල්ල කරමින් සිටින ජල හා කදුලු ගෑස් වල කිසිදු ප්‍රමිතියක් නැතැයි ජාතික ජනබලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා චෝදනා කරයි.

පසුගිය දිනවල ජාතික ජන බලවේගය විසින් පවත්වන විරුද්ධාව සඳහා එල්ල කර ඇති ජලයේ අසූචි මිශ්‍ර බවද හෙතෙම පැවසීය. එම ජල ප‍්‍රහාර වලින් පසු මුළු ශරීරයම කසන බවත් ඔහු සදහන් කරයි.

එල්ල කරන ලද කඳුළු ගෑස් නිසා විරෝධතාකරුවන් කිහිපදෙනෙකුම සංකූලතා සහිතව රෝහල් ගත කර ඇති බවත් හෙතෙම පැවසීය. ඒවා කල් ඉකුත් වී ඇති බවත් ප‍්‍රමිතියක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ පිළිබඳව ඉදිරියේදී ජාත්‍යන්තර පැමිණිලිකර බව ද ඔහු කියා සිටියේ පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *