වෘත්තියවේදීන් අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල

වෘත්තියවේදීන් අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල


වෘත්තියවේදීන් අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල

(09.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40 ක නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට නියමිත යි.

ඒ, බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ, තම සංගමය අද (09) දිනයේ වර්ජනයේ නිරත නොවුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (09) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

කෙසේ වෙතත්, ඒ සඳහා සහය දක්වන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා ෴


ගුරු සංගම්වලින් තද රතු එළියක්

(09.03.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 15 වැනිදා එක්දින සංකේත වර්ජනයක් දියත් කරන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා.

එහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (09) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.

එමෙන්ම බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40 කගෙන් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ද අද (09) සිට විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉහළ ගොස් ඇති ජීවන වියදම සහ බදු බරට එරෙහිව මෙන්ම, ඖෂධ හිඟයට විසඳුම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ සංකේත වර්ජනය අද (09) පෙරවරු 8 න් අවසන් කෙරුණා.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ තවත් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා.

තවද වැටුප් විෂමතා ගැටලුව, ඉහළ ගොස් ඇති ජීවන වියදම ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳව මෙන්ම උසස්පෙළ විභාග පිළිතුරුපත් පරීක්ෂකවරුන්ගේ දීමනා ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු සංගම් කිහිපයක් ඊයේ (08) උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් හමුවුණා.

+


14 වැනිදා දුම්රිය වර්ජනයක්

(09.03.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින (1) වර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

බදු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් එය ක්‍රියාත්මක කරන බවයි කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ ප්‍රකාශ කළේ ෴


මුදල් සහ ආරක්ෂාව ඉල්ලා මුද්‍රණාලයාධිපතිනියගෙන් ලිපියක්

(09.03.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැ යි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.

ඇය කියා සිටියේ අදාළ ලිපි මුදල් අමාත්‍යාංශයට සහ පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් භාර දුන් බව යි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත්, ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැයි මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ දැක්වෙනවා.

එමෙන්ම, පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 500 න් මේ වනවිටත් මුදලින් ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණක් බවද වාර්තා වනවා.

එසේ වුවද මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ වනවිට ඡන්දයට අදාළව රුපියල් මිලියන 250 කට අධික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බවද මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මේ අතර, පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වනදා සිට 31 වනදා දක්වා සිදු කිරීමට යෝජනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත යි.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තේරීම්භාර නිලධාරින් හෙට මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා ෴

+++++++

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම කඩිනමින් – තැපැල්පති

(09.03.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමේ හැකියාවක් තම දෙපාර්තමේන්තුව සතුව පවතින බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

එම තනතුරේ අද (09) වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ දින 4 ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අවසන් කළ හැකි බවයි ෴


කැලණියට හා කොළඹට කඳුළු ගෑස් ; සිසු නායකයන් නිදහස් කරන්නැ යි ඉල්ලීමක්

(09.03.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (08) රාත්‍රියේ සිදුකළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විරෝධතාව අතරතුර සරසවි සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවේ පසුවන කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂන නිදහස් කරන ලෙසට ඉල්ලා එම සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

පොලිසිය ප්‍රකාශ කළේ විරෝධතාවය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ – නුවර මාර්ගය අවහිර වීමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවති බවයි.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ (08) විසුරුවා හරිනු ලැබුවේ ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.

විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී කොළඹ රීඩ් මාවතේදී ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

පාසල් නිම වී නිවෙස් කරා යමින් සිටි සිසුන් පිරිසක් ද කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් අපහසුතාවයට පත්වුණා.

+

+


කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී කඳුළු ගෑස් එල්ල කිරීම ගැන සොයා බලනවා – අධ්‍යාපන ඇමති

(09.03.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්දය කල් දැමීම පිලිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

දින දෙකක් පුරා පැවැත්වෙන විවාදයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය විසින්.

මේ අතර, ආරක්ෂක අංශ විසින් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුලට ඇතුලු වී කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (09) ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගොනු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ෴


වැඩි කළ විදුලි බිලට එරෙහිව ප්‍රදේශ රැසක දී විරෝධතා

(09.03.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

වැඩි කළ විදුලි බිලට විරෝධය පළ කරමින් සහ තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක දී විරෝධතා පැවැත්වුණා.

එහිදී ජනතාව ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් සිය ගැටළු සඳහා විසඳුම් ලබා දෙන ලෙසයි.

වැඩි කළ විදුලි බිල වහා පහත හෙළන ලෙස බලකරමින් බදුල්ල නගරයේ දී ජාතික ජනබලවේගය විසින් පන්දම් විරෝධතාවය සංවිධානය කර තිබුණා.

මේ අතර කැස්බෑව පොල්හේන හන්දියේ දී ද වැඩි වූ විදුලි බිලට එරෙහිව ජාතික ජනබලවේගය විසින් පන්දම් විරෝධතාවක් සංවිධාන කර තිබුණ බව වාර්තා වෙනවා.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධන කළ විරෝධතාවක් පැවැත්වුණේ කන්තලේ නගර මධ්‍යයේ යි.

අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කර ඇති බව පවසමින් වෙනස නව සන්ධානය විසින් සංවිධාන කළ තවත් පන්දම් විරෝධතාවයක් පැවැත්වුණේ බොරැල්ල මංසන්දියේ දියි.

මේ අතර ගාල්ල නගරයේ දී ද ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තවත් විරෝධතාවක් පැවැත්වුණා.

එමෙන්ම වැඩි කළ විදුලි බිල සම්බන්ධව ලිඛිත විරෝධතාවක් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන විසින් විදුලි බලමණ්ඩලයට භාර දෙනු ලැබුවා.

+


මානව හිමිකම් කොමිසමෙන් විරෝධතාකරුවන්ට උපදෙසක්

(09.03.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

විරෝධතා පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවා දී අයිතියක් වුවද වෙනත් පාර්ශ්වයකට පීඩාකාරී අයුරින් විරෝධතා පැවැත්වීම අනුමත නොකරන බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

එහි කොමසාරිස් විජිත නානායක්කාර මේ බව පැවසුවේ, මහනුවර පැවති වැඩසටහනකින් පසු මාධ්‍යයට අදහක් දක්වමින්.

+


ආනයනික අර්තාපල් බද්ද ඉහළට

(09.03.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණයකර තිබෙනවා.

ඊයේ (08) සිට ක්‍රියාත්මක නව පරිදි ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 20 ක්ව පැවති බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට ඒ අනුව කටයුතු ද කර ඇත්තේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් ඇති අතර, මෙම බද්ද ඉදිරි මස 6 සඳහා වලංගු වනු ඇතියි.

+


මෙරටින් ඩෙංගු රෝගීන් 13,739 ක් වාර්තා වෙයි

(09.03.2023 – 10:03 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්.

එය සමස්ත රෝගීන් සංඛ්‍යවෙන් 41.2% ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *