හරක් කටාට-සළිඳුට මැඩගස්කර් යන්න ජෙට් එක බුක් කළේ මහනුවර උන්ඩියල්කරුවෙක්

හරක් කටාට-සළිඳුට මැඩගස්කර් යන්න ජෙට් එක බුක් කළේ මහනුවර උන්ඩියල්කරුවෙක්


හරක් කටාට-සළිඳුට මැඩගස්කර් යන්න ජෙට් එක බුක් කළේ මහනුවර උන්ඩියල්කරුවෙක්

(09.03.2023 – dinamina.lk)

මැඩගස්කරයේ දී එරට ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ සහ ‘සළිඳු මල්ෂිත ගුණරත්න’ හෙවත් ‘පානදුරේ කුඩු සළිදු’ යන ප්‍රබල අපරාධකරුවන් දෙදෙනා (2) මෙරටට රැගෙන ඒමේ කටයුතු ප්‍රමාද වෙමින් ඇත්තේ මෙම අපරාධකරුවන් දෙදෙනාව (2) රැගෙන එන ගුවන් යානය පිළිබඳ ගුවන් ගමන් කාල සටහන අදාළ ගුවන් සමාගම විසින් මෙතෙක් ලබා දී නැති නිසා බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම අපරාධකරුවන් දෙදෙනාව (2) මෙරටට රැගෙන ඒමට සිදුව ඇත්තේ සාමාන්‍ය මගී ගුවන් යානයකිනි. ඒ සඳහා ගුවන් සමාගම් සමඟ කර ඇති සාකච්ඡාවලදී එම සමාගම් බොහෝමයක්ම ආරක්ෂක තක්සේරුවක් කරමින් දැනුම් දෙමින් කොන්දේසි රැසක් මේ වන විට ඉදිරිපත්කර තිබේ. ඇතැම් ගුවන් සමාගම් ඉදිරිපත්කර ඇති කොන්දේසියක් වී ඇත්තේ එක් (1) යානාවක ගෙන ආ හැක්කේ එක් (1) අපරාධකරුවෙක් බවය. එසේම එම අපරාධකරු රැඳී සිටින ආසන පේලියේ සහ ඉදිරිපස ආසන පේලිය මගීන්ගෙන් හිස්ව තැබීමට සිදුවන බැවින් එම ආසනවලටද ගෙවීම් කළ යුතු බවට කොන්දේසියක්ද පනවා ඇත. මෙම අභියෝගය ජය ගනිමින් මෙම අපරාධකරුවන් දෙදෙනාව (2) ඉතා ඉක්මණින් මෙරටට රැගෙන ඒමට ක්‍රියා කරමින් සිටින්නේ අපරාධකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයන් විසින් එරට අධිකරණ වෙත මේ ගැන කරුණු වාර්තා කර ඉදිරිපත් කරන තර්ක මුල්කරගෙන මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි අවධානම් තත්ත්වයක් උද්ගත විය හැකි නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දැනටමත් මැඩගස්කරයේ නීතිඥ සමාගමක් ‘හරක් කටා’ ඇතුළු පිරිස නිදහස්කර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති බව ද මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. ඒ සඳහා මුදල් වැය කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ ‘හරක් කටා’ ඇතුළු පිරිසට ඩුබායි සිට මැඩගස්කරයට ගමන් කිරීමට පුද්ගලික ජෙට් යානයක් වෙන්කර දුන්නේ යැයි කියන පුද්ගලයාය. එම පුද්ගලයා ‘හරක් කටා’ගේ මෙරට මත්කුඩු ජාලයේ මුදල් උණ්ඩියල් කරන පුද්ගලයා බවත් මේ වන විට ඔහු ඩුබායි හී රැඳී සිටින බවත් බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. මේ පුද්ගලයා මහනුවර පදිංචිකරුවෙක් වන අතර මෑත කාලයේ ඔහු කඩුවෙල වැලිවිට පදිංචිව සිට ඇති බවට තොරතුරු ද හෙළිවෙමින් තිබේ.

ඩුබායි හිදී මෙයට පෙර අත්අඩංගුවට පත්වූ ‘හරක් කටා’ මැඩගස්කරය වෙත පුද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇත්තේද කිසිවකුගේ සැකයට ලක් නොවන්නටය. මලයාසියාවට යාමට සූදානම්ව ඩුබායි ගුවන්තොටුපොළට පසුගිය වසරේ පැමිණි ‘හරක් කටා’ව ගුවන්තොටු පොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඩුබායිවලින් පිටතට ගිය පළමු අවස්ථාවේදීම මැඩගස්කරයේ දී ඔහු හසුවී තිබෙන බව ද බුද්ධි අංශ සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ


පොම්පකරු බිය ගන්වා තෙල් ගහගෙන සල්ලිත් කොල්ල කාලා

(09.03.2023 – dinamina.lk)

මීගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලකට ඊයේ (08) පෙරවරු 11:15 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු (2) ඔවුන් පැමිණි යතුරුපැදියට ඉන්ධන ලබාගෙන, පසුව ගල්කටස් වැනි අවියක් පෙන්වා පොම්පකරු බිය ගන්වා ඔහු සතුව තිබූ රුපියල් 14,000 ක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මොවුන් ඉන්ධන පිරවුම්හලෙන් කේතක අංකය නොමැතිව රුපියල් 5000 ක පමණ ඉන්ධන ලබාගෙන ඇති බවත්, ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලට පොම්පකරුවන් සන්තකයේ රුපියල් 10,000 කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තබා නොගන්නා ලෙසට උපදෙස් දී ඇති අවස්ථාවක මෙම සිදුවීම සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ පවත්වන බව මීගොඩ පොලිසිය පවසයි.

හෝමාගම සහකාර පොලිස් අධිකාරි එච්. ආර්. වෙදමුල්ල මහතාගේ උපදෙස් මත, මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ප්‍රියන්ත, පොලිස් පරීක්ෂක අමිල යන නිලධාරීහු ද, බුද්ධි අංශ නිලධාරීහු ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති ෴


කෑගල්ල බන්ධනාගාරයෙන් පැන්න මැල්සිරිපුර රැඳවූවා වෙඩි කා මරුට

(09.03.2023 – dinamina.lk)

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ඊයේ (08) අලුයම 02:00 ට පමණ බන්ධනාගාරය පිටුපස වසා දමා තිබූ ටකරමක් කපා පැන යාමට උත්සාහ දරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මැල්සිරිපුර දිවුල්කඩ ඉඹුල්ගොඩ හේන ලිපිනයේ පදිංචිව සිටි මුණසිංහ අප්පුහාමිලාගේ අජිත් කුමාර නමැති 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා විවාහ වී පසු කලදී දෙදෙනා වෙන් වී සිට ඇති බවත් පොලිසිය පැවසීය. පසුව බිරිය විසින් කුරුණෑගල අධිකරණයේ නඩු අංක 58012/22 යටතේ නඩත්තු නඩුවක් පවරා ඇති බවත් නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් වරෙන්තු ගණනාවක් නිකුත් කර තිබේ.

පසුව පොලිසිය මඟින් සැකකරු පෙබරවාරි 20 වැනිදා අත්අඩංගුවට ගෙන 21 වැනිදා කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී වරෙන්තුකරු මාස 9 කට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් 21 වැනිදා බන්ධනාගාර නිලධාරින් විසින් කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා තිබේ.

ඊයේ (08) වැනිදා සැකකරු පාන්දර 01:45 ට පමණ නැගිට බන්ධනාගාරය පිටුපස කොටසක ටකරන් සෙවිලි කර ඇති ටකරමක් කපා පිටතට රිංගා යාමට උත්සාහ දරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය සැකකරුගේ පාදයකට හා පපුවේ වම් පසට එල්ල වීමෙන් පසුව සැකකරු බන්ධනාගාරය වටා දිව ගොස් කෑගල්ල නගර සභා කාර්යාලයේ මිදුලට බැස නගර සභා ශාලාව ඉදිරිපිටින් දිව ගොස් බැම්මකින් පහළට පැන කොන්ක්‍රීට් කානුවක වැටී ඇති බවත් පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවැසුවේ ඒ පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කෑගල්ල පොලිසිය වෙන වෙනම පරික්ෂණ පවත්වන බවයි ෴


අඹුසැමි ආරවුලක් නිසා ගම්පොළ තාත්තෙක් දරු තිදෙනාට (3) වස දී තමනුත් වස බීලා

(09.03.2023 – dinamina.lk)

• ඥාතීන්ගේ මැදිහත්වීමෙන් පිරිස රෝහලේ
• වස දෙන්න පෙර පවුලේ ඡායාරූපත් බලලා

ගම්පොළ, දැල්පිටිය සෙවනක් ජනපදයේ පදිංචි පියකු සිය දරු තිදෙනාට (3) වස පොවා ඔහුද වස පානය කිරීමෙන් සිව්දෙනාම (4) ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගම්පොළ පොලිසිය පැවසීය.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු හතරක් (4) වූ පිරිමි දරුවකු, අවුරුදු දහතුනක් (13) හා අවුරුදු හතක් (7) වන ගැහැනු ළමුන් දෙදෙනකු (2) සමඟ හතළිස් (40) හැවිරිදි ඔවුන්ගේ පියාය. දීර්ඝ කාලයක් පැවැති අඹුසැමි ආරවුලක් මීට හේතු වී ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය අනාවරණය කරගෙන ඇත.

බිරිය නිවෙසින් පිටව ගොස් ඇති අතර, පියා සමඟ මෙම දරු තිදෙනා (3) නි‍වසේ සිට ඇත. එහිදී රාත්‍රී 10:00 ට පමණ පියා දරුවන්ට නොදැනෙන සේ පැණිබීම බෝතලයකට වස දමා දරුවන් තිදෙනාට (3) බීමට සලස්වා ඇති අතර, ඔහුද ඔහුගේ කාමරයට ගොස් අරක්කු සමඟ වස පානය කර ඇත. රාත්‍රී 11:30 ට පමණ දරුවන් දෙදෙනකු (2) වමනය කිරීම හා පියාද වමනය කිරීම නිසා 13 හැවිරිදි වැඩිමහල් දියණිය මේ බව අසල නිවෙසේ සිටින සිය ලොකු තාත්තාට දැනුම් දී තිබේ. පසුව ඔවුන් එක්ව මේ සියලු දෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇත.

පානය කිරීමට ගෙනා වස බෝතලය ද පසුව නිවෙසේ තිබී සොයාගෙන ඇත. වස පානය කිරීමට ප්‍රථම මෙම සැමියා සිය බිරියගේ හා දරුවන්ගේ ඡායාරූප ඇඳ මත තබාගෙන බලමින් සිට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔවුන් සියල්ල ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබේ ෴


කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට

(08.03.2023 – 17:08 +0530 – lankadeepa.lk)

බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද (08) දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි.

‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය.

එහිදී ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ ෴

+

+

+


අල්ලස් දූෂණ කොමිසම ප්‍රබල දේශපාලකයින්ගේ පර්යේෂණ යට ගහයි…

(09.03.2023 – 06:17 +0530 – lankacnews.com)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙරට ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි වලට අදාළ විමර්ශන සැලසුම් සහගතව යටගසා ඇතැයි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ සාමාජිකයෙකු විසින් මේ සම්බන්ධ තොරතුරු තමන්ට හෙළිකරන ලද බවය.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ රාජපක්ෂ පවුලට සම්බන්ධව නිරූපමා රාජපක්ෂ සහ තීරු නඩේෂන් සම්බන්ධයෙන් පැවති පර්යේෂණ වලට ද සිදුවූ දෙයක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.

මෙවැනි සිදුවීම් වලට එරෙහිව රටේ ජනතාවට ජාත්‍යන්තරයේ පිහිට පැතීමට සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙන ලද දුෂණයන්ට එරෙහි සම්මුතිය අනුව කටයුතු කිරීමට මේවන විට හැකියාව පවතින බවත් ඒ සඳහා අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුව හරහා වහා සම්මත කර ගැනීම සඳහා බලපෑම් කිරීමට මහජනතාව කටයුතු කල යුතු බවත් ඔහු පෙන්වා දී තිබේ.

+


ණය පිට ණය ගැනීම හරහා නැවතත් රට ණය උගුලක සිර කිරීම ආණ්ඩුවේ සූදානම යි – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

(08.03.2023 – facebook.com/UdayaGammanpilaFanPage)

ණය පිට ණය ගැනීම හරහා නැවතත් රට ණය උගුලක සිර කිරීම ආණ්ඩුවේ සූදානම බවත් මෙම ණය ගැනීම හේතුවෙන් තවත් වසර පහකින් (5) පමණ මීටත් වඩා දැවැන්ත ආර්ථික අර්බූදයක මේ රට යළි සිර වනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.03.08) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

ණය ගැනීම විසඳුම නොවේ

ඊයේ (07) ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අයිඑම්එෆ් ණය මේ මාසයේ ලැබෙන බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළා. එතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නු අයෙකුට තේරෙන්නේ ආණ්ඩුව වැරදි පාරේ යන බවයි. ආණ්ඩුව යන පාර වැරදියි කියලා සිතන අයට විකල්පය මොකක්දැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියා. අපි දැන් සෑහෙන කාලෙක සිට විකල්පය කියනවා. එතුමන්ට ඇහෙන් නැති එකයි ප්‍රශ්ණය. අපි සූදානම් එතුමා යන ගමන වැරදි වන්නේ ඇයි කියන එකත් ඊට පසු හරි පාර මොකක්ද කියන එකත් කියා දෙන්න.

ආණ්ඩුවේ උපාය මොකක්ද? මුලින්ම ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ණයහිමියන්ගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා. ඊලඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක් ලබා ගෙන සංචිත වැඩි කර ගන්නවා. දැන් ඔන්න අපි බංකොලොත් භාවයෙන් මිදිලා. ඊලඟට? මේ බංකොලොත් භාවයෙන් මිදීම ප්‍රයෝජනයට අරගෙන වැඩි වුණු සංචිත පෙන්වමින් ණය පිට ණය අරන් නැවතත් රට ණය උගුලක සිර කිරීමයි.

ඉදිරි වසර තුනට (3) ලබා ගන්න දැනට සැලසුම් කරලා තිබෙන ණය බැලුවොත් මූල්‍ය අරමුදලෙන් ඩොලර් බි 2.9 යි. ලෝක බැංකුවෙන් ඩොලර් බි 1.5 යි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන (1) යයි. බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 2 යි. ඔක්කොම ඩොලර් බිලියන 7.4 යි. මේ හැම ශතයක්ම පොලිය සමග ආපසු ගෙවන්න ඕනෑ. ඒ අතරේ 2025 සිට දැනට නතර කරලා තිබෙන ණය ආපසු ගෙවීම පටන් ගන්න ඕනෑ. ඒ කියන්නේ තවත් වසර පහකින් (5) මීට වඩා දැවැන්ත ආර්ථික අර්බූදයක මේ රට යළි සිර වෙනවා කියන එකයි. අපි මේ හදන්නනේ අපි සිර වුණු අර්බූදයට වඩා ලොකු අර්බූදයක ඊලඟ පරම්පරාව හිර කරලා අපි තාවකාලිකව ගොඩ යන්නයි.

‘තව වසර පහකින් (5) මම බලයේ නෑනෙ’ කියා ජනාධිපතිතුමා නම් හිතනවා ඇති. 2015-2019 යුගයේ වත්මන් ජනාධිපතිතුමා අගමැති ධූරයේ සිට ලබාගත් දැවැන්ත ණය තොගයෙන් හදපු බෝම්බය තමයි ගෝඨාභය ජනාධිපතිතුමා අතේ පත්තු වුණේ. මේ හදන්නේ ඊලඟ ජනාධිපතිටත් ඒ වගේම බෝම්බයක් හදලා තියලා දේශපාලනයෙන් සමු ගන්නයි.

අපි ආර්ථික අර්බූදයක සිර වුණේ ණය ගැනීම නිසා නම් විසඳුම තව දුරටත් ණය ගැනීම වෙන්නේ කොහොමද? හේතුව සහ විසඳුම දෙකම එකක් වෙන්න බැහැ. ඒක හරියට සීනි වැඩිපුර කාලා දියවැඩියාව හැදුනු කෙනෙකුට බෙහෙත් විධියටත් සීනිම දුන්නා වගේ වැඩක්නෙ.

අර්බූදයට විසඳුම දේශීය ආර්ථිකය සවිමත් කිරීමයි

අපි සාමාන්‍යයෙන් වසරකට භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 22 ක් වැය කරනවා. ඒ වගේම අපනයන වලින් ඩොලර් බිලියන 12 ක්, ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7 ක්, සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 4 ක් වශයෙන් ඩොලර් බිලියන 23 ක් සොයා ගන්නවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1 ක් වැඩිපුරත් තිබෙනවා. අපට ප්‍රශ්නය තිබෙන්නේ සෑම වසරකම ඩොලර් බිලියන 5 ක් ණය ගෙවන්න ඕනෑ. ඒකට ඩොලර් නෑ. ඉතින් අපේ අර්බූදය විසඳෙන්නේ ගෙවන ණය ප්‍රමාණය අඩු කලොත් ද? වැඩි කලොත්ද? ජනාධිපතිතුමා හිතන්නේ ණය තව වැඩි කර ගන්න ඕනෑ කියලා. නමුත් ණය වැඩි වුණාම ප්‍රශ්නය උග්‍ර වෙනවා. ඒ වගේම ගත්ත ණය නොගෙවා ඉන්න බෑ. එහෙම නම් කරන්න තිබෙන්නේ අපනයන වැඩි කරන එකයි. එය ක්ෂණිකව කරන්න බෑ. අපනයන වැඩි වන තුරු ආනයන අඩු කරන එකයි. ඒකට හදන්න පුළුවන් හැමදේම මේ රටේ හදන්න ඕනේ. වවන්න පුළුවන් හැමදේම මේ රටේ වවන්න ඕනේ. ‘සිරිලක දේ සිරි සැප දේ’ කියලා අපේ රටේ නිෂ්පාදන මිල දී ගන්න ජනතාව පොලොඹවන වැඩපිලිවෙලක් ආණ්ඩුවෙන් දියත් වෙන්න ඕනේ. විශේෂ ප්‍රාගුණ්‍ය පිලිබඳ ආර්ථික විද්‍යාවේ න්‍යාය විදේශ විනිමය අර්බූදයක දී අදාල නෑ. මේ අර්බූදයෙන් ගොඩ එන්න කළ යුතු දේ පිලිබඳ පසුගිය වසරේ දී අපි ඇමති ධූර අහිමි කර ගනිමින් එළි දැක්වූ ‘මුළු රටම හරි මගට’ වැඩපිලිවෙලේ තිබෙනවා. විකල්පය මොක්කද කියලා දන්නේ නැතිනම් ඒ වැඩපිලිවෙල අධ්‍යනය කරන්න කියා අපි ජනාධිපතිතුමාට ආරාධනා කරනවා.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය
මැතිවරණය පවත්වයි ද ?

පිළිතුර
මැතිවරණය පැවැත්විය යුතුයි. සාමාන්‍යයෙන් බදාදා දිනයේ පැවැත්වෙන ජාතික ආරක්ෂක සභාව හදිසියේ ම අඟහරුවාදා උදයට ගෙන ඒමේ එකම අරමුණයි තිබ්බේ. ඒ භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණ කොමිසමේ රැස්වීමට සහභාගි වීම වැළැක්වීමේ ජනාධිපතිතුමන්ගේ උපායයි. ආණ්ඩුව ‘මැතිවරණ භීතිකාව’ කියන මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ නිසා මැතිවරණය කල් දමන්න කළ හැකි හැම දේම කරනවා. නමුත් මේ හැංගිමුත්තන් සෙල්ලම හැමදාමත් කරන්න බැරි වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත මෙම මුදල් ලබාදෙන ආකාරය පැහැදිලි කළ යුතුයි.

ප්‍රශ්නය
රුපියල ශක්තිමත් වීම ඔබතුමා දකින්නේ කොහොමද ?

පිළිතුර
අපේ රුපියල දුර්වල උනේ ‘ආර්ථික විකෘතියක්’ නිසා. පසුගිය කාලයේ ගත්ත වැරදි තීන්දු නිසා ‘විදේශ විනිමය කළු වෙළෙඳපොළ’ හැදුනා. අපට ලැබුණු තොරතුරු වලට අනුව පසුගිය ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු මුදල් අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් මේ කළු සල්ලි වෙළඳපොලෙන් ලාභ ලබන තැනක හිටියා. ‘මමත් කළු වෙළෙඳපොළේ ඩොලර් ගන්නවා. ඕක මහ දෙයක් නෙවෙයි’ කියමින් කළු වෙළෙඳපොළ ආරක්ෂා කරමින් කතා කරපු ලෝකයේ එකම මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ.

ඔවුන් තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කළු වෙළෙඳපොළ සකසා තිබුණා. ඒ නිසා කළු වෙළෙඳපොළ හරහා ගනුදෙනු කරන්න ජනතාව පුරුදු වුණා. අපේ රටට ඩොලර් නොපැමිණියේ මේ කළු වෙළෙඳපොළ නිසා. ඒ නිසා තමයි කෘතිම ආකාරයට රුපියල 378 දක්වා පිරිහීමට ලක් වුණේ. ක්ෂණිකව රුපියල ශක්තිමත් වීමට බලපෑවේ IFC (International Finance Corporation) එක ලංකාවේ බැංකු 3 කට ලබාදුන්න ණය නිසා බැංකු අතර විදේශ විනිමය හුවමාරු වෙළඳපොළට මුදල් ලැබීමයි. නමුත් රුපියල කොහොමත් ක්‍රමානුකූලව ශක්තිමත් වෙමිනුයි තිබුණේ. මොකද කළු වෙළදපොළ හරහා ගනුදෙනු කරපු අය බැංකු හරහා ගනුදෙනු කරන්න පෙළබෙමින් සිටියා. සංචාරකයන් අපනයනකරුවන් විදෙස් ගත ශ්‍රමිකයන් කියන මේ තුන් ගොල්ලොම කළු වෙළඳපොළෙන් බැංකු පද්ධතිය වෙත මාරු වෙමින් ඉන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් විදිහට රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි අපේ බලාපොරොත්තුව.

මෙම මාධ්‍ය හමුව සඳහා කොළඹ නාගරික මන්ත්‍රීනී සුමිත්‍ර ලතා මහත්මිය සහ පිවිතුරු හෙළ උරුමය මැද කොළඹ සංවිධායක මේනක නෙරංජන් මහතාද සහභාගී විය.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *