විෂ අම්ලයක් හේතුවෙන් ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්‍රී මහා බෝධිය අනතුරක

විෂ අම්ලයක් හේතුවෙන් ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්‍රී මහා බෝධිය අනතුරක


විෂ අම්ලයක් හේතුවෙන් ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්‍රී මහා බෝධිය අනතුරක

(07.03.2023 – 19:05 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කරන වාෂ්පයේ ඇති විෂ අම්ල, ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ‘ඉලංකෙයි දෙමළ සංගම්’ (Sangam.org) වාර්තා කරනවා.

ලක්විජය බලාගාරය නොරොච්චෝලේ බලාගාරය ලෙසද හැඳින්වෙන අතර පුත්තලම, නොරොච්චෝලේ, කල්පිටිය අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටා තිබෙනවා.

එය ශ්‍රී ලංකාවේ විශාලතම තාප බලාගාරයයි.

පරිසරවේදීන්ට අනුව අන්තරායකර අම්ල රැගත් වළාකුළු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුරය දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතින බව Sangam.org වෙබ් අඩවිය උපුටා දක්වමින් ANI ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා.

මෙම විෂ වායුව නිසා බලාගාරය ආසන්නයේ ගස් දැනටමත් හානිවීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙම වායු විමෝචනය වීම හේතුවෙන් උස ගස්වල කොළ කහ පැහැයට හැරීමට පටන් ගෙන ඇති අතර, විෂ විමෝචනයේ බලපෑම පූජනීය වෘක්ෂය මත පෙනෙන්නට පටන් ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

තවද, නොරොච්චෝල බලාගාරයෙන් නිකුත් වෙන වාෂ්පයේ අඩංගු ආම්ලික තත්ත්වය පුත්තලම අවට මුහුදු ප්‍රදේශ වෙත ද පැතිර යමින් පවතින බව සඳහන්.

එබැවින් අනාගතයේදී මෙවැනි හානිකර ගල් අඟුරු බලාගාර යළි ගොඩනැගීම පරිසර පද්ධතියට තර්ජනයක් බව Sangam.org වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවේ පළමු ගල් අඟුරු තාප බලාගාරය සහ විශාලතම බලාගාරය ලක්විජය බලාගාරය චීන සමූහාණ්ඩුවේ EXIM බැංකුවේ ආධාර ඇතිව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන්නක්.

මෙම බලාගාරය වෙරළ තීරයේ සිට මීටර් 100 ක් රට අභ්‍යන්තරයේ පිහිටා ඇති අතර, ඉදිකිරීම් CMEC (චයිනා යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සංස්ථාව) විසින් සිදු කරන ලද අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.35 ක්.

මෙම බලාගාරය ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.

කල්පිටිය අර්ධද්වීපයේ ඉදිකෙරුණු මෙගා වොට් 900 ක ගල් අඟුරු තාප බලාගාරයෙන් නිකුත් වන වායු විමෝචනය අවසර ලත් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් වැඩි බව අනාවරණය වූ පළමු අවස්ථාව මෙය නොවේ.

නිතර බිඳවැටීම, අතරමැදි මෙහෙයුම් සහ විවෘත වළවල්වල අනපේක්ෂිත ලෙස පියාසර අළු ගබඩා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවටයි සැලකෙන්නේ.

මෙම බලාගාරයෙන් ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද මුදා හැරෙන අතර රත් වූ ජලය සාගරයට මුදා හැරීම නිසා තාප අපද්‍රව්‍ය සහ ජල දූෂණයක් ද සිදුවනවා.

මෙය දිගුකාලීන පාරිසරික බලපෑම් ඇති කරනු ඇති බවටයි Sangam.org වාර්තා කරන්නේ.

ලක් විජය බලාගාරයෙන් පිටවන වායුව පරිසරයට මෙන්ම ඒ අවට වෙසෙන ජනතාවට ද ඇතිකර ඇත්තේ සැලකිය යුතු අහිතකර බලපෑමක්.

ලක්විජය බලාගාරයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය ගල් අඟුරු ගබඩා කෙරෙන අංගනය සහ අංගනයේ මෙහෙයුම් සඳහා භූගත ජලය විශාල වශයෙන් ලබා ගැනීම ද දිගුකාලීන ගැටලු මතු කරනු ඇති බව Sangam.org වාර්තාවේ සඳහන්.

බොයිලර් පෝෂක, කන්ඩෙන්සර් සිසිලන වැනි විවිධ මෙහෙයුම් සඳහා ලක්විජය බලාගාරය මුහුදු ජලය භාවිතා කරනවා.

ඒ සඳහා ද එකවර විශාල ජල පරිමාවක් යොදා ගැනීම හේතුවෙන් බෙන්තික් ජීවීන්, ක්ෂුද්‍ර ජීවීන්, සහ සාගර ජීවීන්ගේ බිත්තර සහ කීට අවස්ථාවන් විනාශ වීමට මෙය හේතු විය හැකි බවටයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේදී හමුවන මුහුදු කැස්බෑ විශේෂ හතක් (7) අතුරින් පහක් (5) පුත්තලම – කල්පිටිය වෙරළ තීරයේ බිත්තර දැමීම සඳහා පැමිණෙන බව පාරිසරික අධ්‍යයන වාර්තා පෙන්වා දුන්න ද මේ වන විට බලාගාරය අවට ප්‍රදේශය ආශ්‍රිතව මුහුදු කැස්බෑවන් වැනි මුහුදු ජීවී විශේෂ දක්නට නොලැබෙන බවයි ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ.

බලාගාරයේ ඇති තවත් ප්‍රධාන ගැටළුවක් වන්නේ විදුලි උත්පාදන ක්‍රියාවලියේදී නිපදවන අළුයි.

‘පියාඹන අළු’ සහ ‘යටි අළු’ යනු ගල් අඟුරු දහන ක්‍රියාවලියේ අතුරු නිෂ්පාදන වන අතර, ‘පියාඹන අළු’ යනු පිටාර වායු සහිත දහන කුටිවලින් ගැලවී යන සියුම් අංශුයි.

‘පහළ අළු’ යනු බොයිලර් පතුලේ එකතු වන දහනය කළ නොහැකි අපද්‍රව්‍යයක්.

සුළං ඛාදනය හා කාන්දුවීම් සඳහා විවෘතව පවතින බැවින් ‘පියාසර අළු’ විවෘතව බැහැර කිරීම ද සැලකිය යුතු කරුණක්.

මෙම අළු මයික්‍රෝන 10 ට වඩා කුඩා බැවින් එය සුළඟින් පහසුවෙන් පාවී ගොස් කෘෂිකර්මාන්තයට බාධා කරන අතර, ජල සැපයුම් දූෂණය ඇතුලු විවිධ රෝගබාධ ද ඇති කරනවා.

නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශවල ළමුන් කිහිප දෙනෙකුට ම චර්ම රෝග වැළඳී ඇති බව වාර්තා වන්නේ ද එවැනි පසුබිමකයි.

සම මත ඇතිවන ලප සහ කුෂ්ඨ ලෙස ඇති මෙම චර්ම රෝගවලට අලුත උපන් බිළිඳුන් ද ගොදුරු වී ඇතැයි Sangam.org අධ්‍යයන වාර්තාවේ සඳහන්.

ගල් අඟුරු බලාගාරය ආශ්‍රිත කලාපයේ දරුවන් සහ වැඩිහිටියන් සමේ රෝගවලට අමතරව ශ්වසන රෝග වලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්ද පවතින අතර ගල් අඟුරු දූවිලි ආශ්වාස කිරීම බ්රොන්කයිටිස්, නියුමෝනියාව, ඇදුම, එම්පිසීමාව වැනි ස්වසන ආබාධ ඇතිවීමට සහ හෘද රෝග සඳහා ද හේතු විය හැකි බවයි Sangam.org වාර්තාවේ සඳහන් වන්නේ.

මේ සියල්ලටම අමතරව නොරොච්චෝලේ වෙත ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවුයේයැයි පැවසෙන අක්‍රමිකතා සංඛ්‍යාව ද විශාල අගයක්.

මෑතකදී ඒ පිළිබඳව වාර්තාවූ හොඳම උදාහරණයක් වූයේ පසුගිය වසරේ ඩුබායිහි ‘බ්ලැක් සෑන්ඩ්’ නමැති ආයතනයක් හරහා නොරොච්චෝලේ වෙත ගල්අඟුරු මිලදී ගැනීමට යාමේදී සිදු වූ වංචාවයි.

මෙම ටෙන්ඩරය පිරිනැමීමේදී ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝණය වී ඇති බවත් එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් පවසමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ 2022 සැප්තැම්බර් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිවාසිකම් පෙත්සමක් පවා ගොනු කළා.

එසේම පසුගිය සතියේ විදුලි වෘත්තීය සමිති අනාවරණය කරන ලද්දේ පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු තොග සහ ඒවාට ගෙවන ලද සැබෑ මුදල අතර දැවැන්ත වෙනසක් පවතින බවයි.

නොරොච්චෝලේ කියූ සැනින් සිහියට එන්නේ බිඳ වැටීමක් තරමට ක්‍රියා විරහිත වන මෙම බලාගාරය විවිධ හේතු මත අක්‍රිය වූ අවස්ථා ගණන 50 ක් පමණ වනවා.

එවැනි අවස්ථාවල නඩත්තු කටයුතු සඳහා චීන ඉංජිනේරුවන් කැඳවීමට ලංකා විදුලි බල මණ්ඩලය වැය කරන මුදල ද අතිමහත්.

මෙවැනි බිඳවැටීම් සඳහා ඒ හැර වෙනත් විකල්පයක් ද නොමැති වීම ද විස්මය දනවන කරුණක්.

කෙසේ වෙතත් ගල් අඟුරු හා ඩීසල් මත මෙරට විදුලි බල සැපයුම මුලුමනින්ම පාහේ රැඳී තිබුණද ඊට වඩා ලාබදයී පුනර්ජනනීය බලශක්ති උත්පාදන අවස්ථා ඕනෑ තරම් රට තුල ඇති බව විදුලි ඉංජිනේරුවන් සහ බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිටයි.

නමුත් දූෂණයට හා වංචාවට එරෙහිව කටින් බතල සිටුවන පාලකයන් ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම දින දිනම පමා කරන්නේ මන්දැයි යන්න තේරුම් ගැනීමට මෙරට හය-හතර තේරෙන දරුවෙකුට පව අසීරු කටයුත්තක් නොවේ ෴


07-03-2023

+


07-03-2023

+


07-03-2023

+


07-03-2023

+


IMF සහනය මාර්තු 20 ශ්‍රී ලංකාවට ලැබෙන ලකුණු

(07.03.2023 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව එළැඹෙන 20 වැනිදා එහි විධායක මණ්ඩලය වෙත යොමු කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලැබී ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණයට එළැඹි බවයි.

අමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඇති කරගත්තේ 2022 වසරේ සැප්තැම්බර් පළමුවැනිදායි.

+


රට ඉඳි බද්ධ රුපියලට බස්සයි

(07.03.2023 – 21:34 +0530 – hirunews.lk/sinhala)

රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් (1) දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මේ තීරණය ගෙන තිබෙනවා.

මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය පවසනවා ෴


‘සොත්ති උපාලි’ගේ පුතාගෙ සමිපතමයෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

(07.03.2023 – 23:21 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතව සිටින ‘සොත්ති උපාලි’ ගේ පුතාගෙ සමිපතමයෙකු විදෙස් රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමග විගේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායෙ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කොළඹ රාජකීය ගොල්ෆ් ක්ලබ්, බොරැල්ල ප්‍රදේශය අසල විදේශීය නිෂ්පාදිත රිවෝල්වර් අවිය සමඟ ‘ෂෙහාන් සිල්වා’ හෙවත් ‘ෂෙහාන්’ නමැති 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ජංගම දුරකථනය සමඟ විදේශීය නිෂ්පාදිත රිවෝල්වරය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ‘සොත්ති උපාලි’ගේ පුත් ‘ශිරන්ත ගයාන්’ හෙවත් ‘ගයියා’ගේ සමීපතමයෙකු බව පැවසෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *