‘ඇල්ල ඔඩිසි’ හා ‘සීතාවක ඔඩිසි’ ගැන CIDයෙන් විමර්ශනයක්

‘ඇල්ල ඔඩිසි’ හා ‘සීතාවක ඔඩිසි’ ගැන CIDයෙන් විමර්ශනයක්


‘ඇල්ල ඔඩිසි’ හා ‘සීතාවක ඔඩිසි’ ගැන CIDයෙන් විමර්ශනයක්

(05.03.2023 – 10:59 +0530 – hirunews.lk/sinhala)

‘සීතාවක ඔඩිසි’ සංචාරක දුම්රියේ හදිසියේ ඇතිවූ තිරිංග දෝෂය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද (05) උදෑසන 7 ට කොළඹ – කොටුවේ සිට ‘වග’ දුම්රිය ස්ථානය බලා ධාවනය කිරීමට නියමිතව තිබූ ‘සීතාවක ඔඩිසි’ සංචාරක දුම්රිය එහි තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මිනිත්තු 40 ක් පමණ ප්‍රමාද වී ධාවනය කිරීමටයි කටයුතු කර තිබුණේ.

සෑම ඉරිදා දිනයකම කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා ඇති සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

පසුගිය මස 26 වනදා සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ පළමු (1) ගමන් වාරය සිදුකළ අතර, එහි දෙවන (2) ගමන් වාරය අද (05) උදෑසන 7 ට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් දුම්රිය පද්ධතියේ ඇතිවූ තිරිංග දෝෂය හේතුවෙන් මිනිත්තු 40 ක් පමණ ප්‍රමාදවී ධාවනය වීමෙන් ගමනාන්තය වන වග දුම්රිය ස්ථානයට යන විට විනාඩි 35 ක් පමණ ප්‍රමාද වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත ගෙන් විමසීමක් සිදුකළ අතර, ඔහු කියා සිටියේ දුම්රියේ තිරිංග පද්ධතියේ දෝෂය පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

මේ අතර පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා ‘ඇල්ල ඔඩිසි’ දුම්රියෙන් ගමන් ගන්නා එක් මගියෙකුගෙන් රුපියල් 36,000 ක් අය කරන ප්‍රවේශපත්‍රයක් අලෙවි කිරීමට දරණ උත්සහය සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත් ‘ඇල්ල ඔඩිසි’ දුම්රිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට අමතරව පැමිණිල්ලක් ලෙස ‘සීතාවක ඔඩිසි’ දුම්රිය පිළිබඳව ද පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (06) එම අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත සඳහන් කළේ ෴

+++++++++

රියදුරන් නොමැතිව ‘උදයදේවී’ දුම්රිය නතර වෙයි

(05.03.2023 – 17:23 +0530 – hirunews.lk/sinhala)

පළමුවරට රියදුරන් නොමැතිවීම හේතුවෙන් කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන ‘උදයදේවී’ සීඝ්‍රගාමි දුම්රිය ධාවනය නතරවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙලෙස එම දුම්රිය ඊයේ (04) සහ අද (05) ධාවනය නොවූ බවයි.

එමෙන්ම රියදුරන් නොමැතිව හෙට (06) දිනයේද උදයදේවි දුම්රිය ධාවනය නොවන බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.

මෙම දුම්රියේ රියදුරු පසුගියදා විශ්‍රාම යාමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට එක්ව ඇති නමුත් ඉදිරි කාලය සඳහා ඔහුට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් නොමැතිවීම හේතුවෙනුයි මෙම ගැටලුව උද්ගතව ඇත්තේ.

කෙසේ වෙතත් දීර්ඝ සති අන්තයක ‘උදයදේවී’ සීඝ්‍රගාමි දුම්රිය ධාවනය නොවීමෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර දුම්රිය දෙපාර්තමේන්තුවටද විශාල පාඩුවක් සිදුවන බව සඳහන්.

එමෙන්ම තවත් දුම්රිය කිහිපයක් රියදුරන් නොමැතිවීම හේතුවෙන් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

++++++++

මේ අතර වසර 38 ක සිය සේවා කාලය තුළ වසර 23 ක්ම උඩරට මාර්ගයේ සේවය කළ දුම්රිය රියදුරෙක් දුම්රියට වැඳ සේවයෙන් විශ්‍රාම ගැනීමේ පුවතක් වාර්තාවනවා.

ඔහු එලෙස ඊයේ (04) සේවයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ අවසන් වරට ධාවනය කළ දුම්රියේ සෑම නැවතුම් ස්ථානයකදීම ඔහු වෙනුවෙන් උපහාර පිදීම් සංවිධාන කර තිබීමද විශේෂත්වයක්.

බොහෝ දෙනා ධාවනයට වැඩි කැමැත්තක් නොදක්වන උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තමා වඩාත් ප්‍රියකළ බවයි සිරිල් සුගතදාස නැමැති මෙම දුම්රියේ රියදුරා ප්‍රකාශ කළේ ෴

+

(Photos from ada.lk)


ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගැනීමේ සිද්ධියකට පුද්ගලයෙක් අත්අඩංගුවට

(05.03.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ රුපියල් දහසේ (1000) නෝට්ටු ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්පිතිගම රන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගනුදෙනු කළ ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු පහක් (5) පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඊයේ (04) පස්වරුවේ පොල්පිතිගම ඉන්ධනහලකට ලැබී තිබූ සැකසහිත ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු දෙකක් (2) සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඉන්ධන ලබාගැනීමට පැමිණි කාන්තාවක් විසින් එම මුදල් නෝට්ටු ලබා දී ඇති බවයි.

පසුව එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ පොල්පිතිගම නගරයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකින් තමන් ලබාගත් මුදලක් සමඟ මෙම ව්‍යාජ නෝට්ටු ලැබුණු බවයි.

පසුව පොලිසිය යළිත් මෙම කාන්තාව යොදවා උකස් මුදලක් ලබාගැනීමට සැළැස්වීමේදී අදාළ රන් භාණ්ඩ අලෙවිසැලේ හිමිකරු විසින් තවත් ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබා දී තිබෙනවා.

එහිදී 61 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴


ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය දිවයිනට

(05.03.2023 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය දිවයිනට අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

මගීන් 413 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 29 දෙනෙකු රැගත් ඒ 380-800 වර්ගයේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 449 යානය අද (05) අලුයම 03:10 ට කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු කියා සිටියේ.

මෙම යානය මීට පෙර ද දෙවතාවක් (2) දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි බලා ගමන් ගනිමින් සිටියදී අවශ්‍ය තරම් ඉන්ධන ලබාගැනීමේ අරමුණිනුයි මෙලෙස කටුනායකට පැමිණ ඇත්තේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපල ඛනිජතෙල් පර්යන්තයෙන් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක (1,68,00,000) ජෙට්-ඒ වර්ගයේ ඉන්ධන ලීටර 62,800 ක් ලබාගෙන ඇති බව සඳහන්.

ඩුබායි ගුවන් තොටුපල අවට මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාලගුණ තත්ත්වය නිසා එකවරම ගුවන්තොටුපලට ගොබැස්සවීමට නොහැකි වුවහොත් වට කිහිපයක් ගමන් කිරීමටයි එම යානය මෙලෙස ඉන්ධන ලබාගෙන ඇත්තේ ෴


කොරෝනාවට සමාන වෛරසයක් ඉන්දියාවේ

(05.03.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසයට සමාන, උණ සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බවයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම වෛරසය ආසාදනය වූවන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගයි ඉන්දීය සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඇත්තේ.

එහිදී මෙලෙස ව්‍යාප්ත වන්නේ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරස් කාණ්ඩයට අයත් ‘එච් 3 එන් 2’ උප ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා ෴


බලපිටියේ හෝටල් හිමියෙක් ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට

(05.03.2023 – 11:01 +0530 – hirunews.lk/sinhala)

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ රැසක් සමඟ බලපිටියේ සංචාරක හෝටල් හිමිකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මෙම ව්‍යාපාරිකයාට අයත් බලපිටිය – ගොරකගොඩ පිහිටි නිවසේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (04) සිදුකළ වැටලීමකදීයි.

යම් අපරාධයක් කිරීමේ අරමුණින් සැකකරු අදාළ ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබන්නට ඇති බවට සැක පළ කරනවා.

මේ අතර කේරළ ගංජා කිලෝ 01 කට අධික ප්‍රමාණයක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දඩල්ලගේ මංජුල’ යන අය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්යබලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 36 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


මෝල්කාරයොයි රජය එකතු වෙලා අපිව විනාස කළා – ගොවියන්ගෙන් මැසිවිලි

(05.03.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් වී මිලදී ගැනීම සඳහා පාලන මිලක් යෝජනා කළද එම මිලට වී මිල දී ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවට ගොවි සංවිධාන චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයින් ඉතා අඩු මිල ගණන් යටතේ ගොවීන්ගේ වී මිලදී ගන්නා බවයි.

මෙවර මහ කන්නයේ වගාකළ වී අස්වනු නෙලීම මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකදීම ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ තමන් වගාව වෙනුවෙන් වැය කළ මුදල පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

රජය විසින් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් සියයක (100) පාලන මිලක් ප්‍රකාශයට පත් කළ ද එම මිලට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් නොමැති වීමත්, එම පසුබිම හමුවේ පෞද්ගලික ව්‍යාපාරිකයින් වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 80 කට මිල දී ගැනීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව ගොවීන් පෙන්වාදෙනවා.

මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් වී අස්වනු වියලා ගැනීමට නොහැකිව ප්‍රදේශ රැසක ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

පුලතිසි ගොවි ව්‍යාපාරය පවසන්නේ රජය වී සඳහා පාලන මිලක් නියම කළ ද වී මිල දී ගැනීම සඳහා රජය මේ වනතෙක් කිසිඳු සූදානමක් නොමැති බවයි.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවීන්ට මෙවර වී අස්වනු නෙලීම සඳහා රජය විසින් ලබාදෙන බවට පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය ද මෙතෙක් නොලැබීමෙන් ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

මේ වනවිට පොලොන්නරුව ගල්බුද්ධ යාය ව්‍යාපාරයේ ගොවීන් මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර, විදේශාධාර ලෙස ලබා දී ඇති ඩීසල් ද මෙතෙක් තමන්ට නොලැබුණු බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර රුපියල් මිලියන 149 ක් වැය කරමින් 2018 වසරේ ක්‍රියාත්මක කළ ජපන් තාක්ෂණික වී වගා ව්‍යාපෘතිය අමාත්‍ය රොෂාන් රණසිංහගේ නිරීක්ෂණයට ලක් වුණා.

ජපන් කෘෂි තාක්ෂණය ආදර්ශයට ගනිමින් අනුරාධපුර නාච්චදූව ගොවි ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක කළ ආදර්ශ වී වගා ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවටයි ගොවීන් චෝදනා කළේ.

කුඹුරු හෙක්ටයාර 26.5 ක කුඩා ලියැදි 526 ක් ජපන් තාක්ෂණයට අනුව සංවර්ධනය කිරීමට මෙහිදී සැළසුම් කර තිබූ අතර ඒ සඳහා ජපාන රජයෙන්
රුපියල් මිලියන 11.34 ක් සහ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 138.6 ක් ලබා දී තිබෙනවා.

+


මිරිස්සේ කසළ ගැටළුවක් නිසා සංචාරකයින් අපහසුතාවක

(05.03.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයක් දිනාගෙන ඇති මිරිස්ස සංචාරක කලාපයේ ඇති ගරාඩුව ඇළට කසළ බැහැර කිරීම හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී ඇති බවට සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් චෝදනා කරනවා.

මිරිස්ස – උඩුපිල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගරාඩුව ඇළට එහි අවට ඇති හෝටල් කිහිපයකින් කුණු කසළ බැහැර කිරීමෙන් ප්‍රදේශය අවට දැඩි දුර්ගන්ධයක් හමන බවටයි ප්‍රදේශයේ හෝටල් හිමියන් පෙන්වා දෙන්නේ.

ඒ හරහා සංචාරකයින් පවා මෙම ප්‍රදේශය ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගත වෙමින් පවතින බයි සංචාරක හෝටල්හිමිකරුවන් සඳහන් කළේ ෴


නුවරඑළියේ දී ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 කට තුවාල

(05.03.2023 – 17:18 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්තශාලාව අසළ දී එළවළු ප්‍රවාහන කරන ලොරියක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (05) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එළවළු රැගෙන ඒමට නුවරඑළිය – ආර්ථික මධ්‍යස්ථානයට යමින් තිබූ ලොරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

ලොරියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් ප්‍රපාතයට පෙරළී ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇති බවයි නුවරඑළිය පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ෴

+


(05.03.2023 – facebook.com/accident1stofficial/)

වරකාපොල නගර මධ්‍යයේදී සිමෙන් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක (බල්කර්) ටයරයක් පිපිරීයෑමත් සමග රියදුරාට රථය පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් අද (05) අලුයම 04:30 ට පමන සිදුවූ අනතුරකින් එක් (1) පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ මාර්ගයේ ගමන්කල අයෙකු වන අතර අනතුරින් වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුවුනා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *