සඟුනට පුදන අටපිරිකරයේ ප්‍රමිතිය ගැන පැමිණිල්ලක්

සඟුනට පුදන අටපිරිකරයේ ප්‍රමිතිය ගැන පැමිණිල්ලක්


සඟුනට පුදන අටපිරිකරයේ ප්‍රමිතිය ගැන පැමිණිල්ලක්

(04.03.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ පූජාභාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් නුගේගොඩ ප්‍රදේශයේ පරීක්ෂාවක නිරත වුණා.

ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවයි.

අටපිරිකර හා පූජා භාණ්ඩ අලෙවියේදී වෙළෙඳුන් ප්‍රමිතිය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන කරන බවට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මඟින් නුගේගොඩ ප්‍රදේශයේ අටපිරිකර අලෙවිසැල් පරීක්ෂා කිරීමක් සිදු කෙරුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2015 නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව අටපිරිකර, තනිපට සිවුර, දෙපට සිවුර , අඳනකඩය , පාත්‍රය සහ බඳ පටිය යන ද්‍රව්‍ය වල උපරිම සිල්ලර මිල නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ තොරතුරු හා නිෂ්පාදිත දිනය සටහන් කිරිම අනිවාර්යයි.

කෙසේ වෙතත් මෙම තොරතුරු ඇතුලත් නොකර භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් හිමියන්ට දඩ නියම කිරීම ද මෙහිදී සිදුව තිබෙනවා.

දඩ නියම කිරීමේදී තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් 1000 සිට 10,000 දක්වා ද, සමාගමක් නම් රුපියල් 10,000 සිට ලක්ෂය (1,00,000) දක්වා දඩ නියම කෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

+


උමා ඔය ව්‍යාපෘතිය ජුනිවල අවසන්

(04.03.2023 – 15:13 +0530 – hirunews.lk/sinhala)

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කර එළැඹෙන ජුනි මාසය වන විට එය ජනතා අයිතියට පත්කළ හැකි බව වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

උමාඔය කරදගොල්ල විදුලි බල ව්‍යාපෘතිය හා අලිකොටආර ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 2008 වර්ෂයේදී ආරම්භ කෙරුණේ ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි.

2015 වර්ෂයේදී උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණද කොවිඩ් වසංගතය ඇතුළු කරුණු හේතුවෙන් එය දිගින් දිගටම ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් මේ වන විට එම ව්‍යාපෘතියේ වැඩකටයුතු සියයට 97 ක් අවසන් කර ඇති අතර එය ජනතා අයිතියට පත්කළ පසු මොගාවොට් 120 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවයි වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

මේ අතර උමාඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මාසිකව ගල්අඟුරු නෞකා තුනකට වැය වන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගත හැකි බව ද
අමාත්‍යවරයා සඳහන් කළා.

+


අරගලකරුවන් ජනපති මැදුරට කළ හානිය රුපියල් ලක්ෂ 16 කට අධිකයි

(04.03.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි 09 වැනිදා අයුතු ලෙස ඇතුළු වූ අරගලකරුවන් සිදු කර ඇති අලාභය රුපියල් ලක්ෂ 16 කට අධික බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, සිදු වූ අලාභය පිළිබඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී රුපියල් 1,78,50,000 ක මුදලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගැනුණේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේයි.

එහිදී ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම මුදල් අල්ලස් පනත යටතට අදාල වන්නේ දැයි විමසා බලන ලෙසයි.

ඒ අනුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබන 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් සුගීෂ්වර බණ්ඩාරගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් එම මුදල් හිටපු ජනාධිපතිවරයාගේ බවට එම ප්‍රකාශයේ සඳහන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වී සිදු කර ඇති අලාභය රුපියල් මිලියන 1.67 ක් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙතෙක් ලැබී නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 73 දෙනෙකු නම් කර ඇති අතර අධිකරණ නියෝග ප්‍රකාරව ඇප මත මුදා හැර ඇති ඔවුන්ගෙන් සමහරෙක් නිසි පරිදි පොලීසියට වාර්තා නොකරන බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

+


ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිගේ මුදල් කොල්ල කෑ අය අල්ලයි

(04.03.2023 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවාට තර්ජනය කර දෑත්වලට මාංචු දමා මුදල් කොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙකු (2) බොරැල්ල පොදු සුසාන භූමිය අසල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ල කෑ අත් ඔරලොසුවක් ඇතුළු භාණ්ඩ නැවත ලබාදීමට නම් රුපියල් ලක්ෂ පහක (5,00,000) මුදලක් රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙස කොල්ලකරුවන් ලබාදුන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ දැනුම්දීම මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

+

+


පොලිස් නිලධාරීන් බව පවසා යතුරුපැදි සොරකමේ ගිය පිරිසක් අල්ලයි

(04.03.2023 – 16:12 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් බව පවසමින් යතුරුපැදිවල ලේඛන රැගෙන ගොස් පසුව ඒවා සොරකම් කළ පුද්ගලයින් සිව්දෙනෙකු (4) ජා ඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කළා.

සැකකරුවන් සමඟ යතුරු පැදි 6 ක් මුදල් සහ රන් භාණ්ඩ ද සිය භාරයට ගැනීමටයි වැටලීම් නිලධාරීන් කටයුතු කළේ.

බියගම, කඳාන, කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ආදී ප්‍රදේශ ගණනාවක මොවුන් මෙම සොරකම් සිදුකර ඇති අතර ඒවා ආරක්ෂක කැමරාවල ද සටහන්ව තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුනායක සහ ජා ඇල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ෴


රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා යතුරුපැදියක් රුපියල් 8000 කට අලෙවි කර මත්කුඩු ලබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට

(04.03.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

කටාන ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා යතුරුපැදියක් සොරකම් කර එය රුපියල් 8000 කට හෙරොයින් පැකට් 4 ක් සඳහා අලෙවි කළ සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුගෙන් යතුරුපැදිය මිලදී ගත් පුද්ගලයා ද පසුව අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අද (04) පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

යතුරුපැදිය මිලට ගෙන හෙරොයින් පැකට් 4 ක් ලබා දුන් සැකකරු ළඟ තිබී තවත් හෙරොයින් මිලිග්‍රෑම් 5800 ක් ද පොලීසිය සොයා ගත්තා.

මෙම සැකකරුවන් දිවුලපිටිය බටේපොල සහ ඉහළගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ 16 කට අධික ප්‍රමාණයක් සමඟ හබරාදූව – හිටියනගල – තල්පේ සහ පිටිදූව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විදේශිකයින් 4 දෙනා මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණා ෴


නැති උපකරණ හදාගෙන සිදුකළ සැත්කම

(04.03.2023 – 19:26 +0530 – sinhala.adaderana.lk)

රට තුළ පවතින ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය මැද එම අභියෝගය භාරගනිමින් සාර්ථකව සිදුකළ ශල්‍යකර්මයක් පිළිබඳව මහනුවර තෙල්දෙණිය මූලික රෝහලෙන් තොරතුරු වාර්තා විය.

අදාළ ශල්‍යකර්මයට ලක්කර තිබුණේ අන්නස්‍රෝතයේ පිළිකාවක් හටගෙන තිබූ 67 හැවිරිදි කාන්තාවකි.

රෝහල සතු සීමිත සම්පත් ප්‍රමාණය භාවිත කර 67 හැවිරිදි කාන්තාවකගේ අන්නස්‍රෝතයේ තිබූ පිළිකාවක් සාර්ථකව ඉවත් කිරීමට මෙලෙස සමත්වී තිබුණේ මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍යවරුන් පිරිසකි.

තෙල්දෙණිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා,

“බෙහෙත් දෙන්න භාවිත කරන සිරින්ජර් ටිකක් කපලා ‘පෝට්’ හදාගත්තා. ලොකු සිරින්ජරයක් මාර්ගයෙන් එන්ඩෝස්කොපි උපකරණය ඇතුළු කළා. ඒ ලැබෙන දර්ශන හරහා අපි මේ සැත්කම කළා. අමාරු වෙලාවේ රට දාලා යනඑක නෙමෙයි කරන්න ඕනේ. අපිට අධ්‍යාපනය දුන්නේ මේ රටේ ජනතාව. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ. ජපානය, කොරියාව මීට වඩා විනාශ වුණා. එදා ඒ අය රට දාලා ගියානම් අද ජපානයවත් කොරියාවවත් නැහැ.”

අවශ්‍ය උපකරණ රෝහල තුළ නොතිබුණත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ බැරෑරුම් අභියෝගය භාර ගන්නේ රෝගියාගේ ජීවිතය බේරාගැනීම සිය එකම පරමාර්ථය කරගනිමිනි.

ශල්‍යකර්මයට භාජනය වූ කාන්තාව,

“පැය 12 ක ශල්‍යකර්මයක් කියලා දොස්තර මට කිව්වා. ඇහැට පෙනෙන දෙවිවරු තමයි දොස්තරලා කියන්නේ.”

රට තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය ගැටලු රැසක් මේ වනවිට නිර්මාණය කර ඇතත් එම අභියෝග ජයගනිමින් වෛද්‍යවරුන් කළ මෙම කාර්යය සැබවින්ම අගය කළ යුත්තකි.

+


2020 ජනවාරියෙන් පසු ගත් පුද්ගල, සුළු හා මධ්‍ය පරිමාණ ණය ප්‍රතිව්‍යූහගතකරණයට චක්‍රලේඛයක් එයි

(04.03.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේ ජනවාරි පළවනදායින් පසු ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ඒකපුද්ගල ණය ප්‍රතිව්‍යූහගත කිරීම හෝ ප්‍රතිලේඛන ගත කිරීම සිදුකළ හැකි චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය දැනටමත් මෙරට බැංකු වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඉන්දියාවේ සංචාරයකට එක්ව සිටින විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් අතර සාකච්ඡාවක් ද අද (04) පැවැත්වුණා.

ඒ හයිද්‍රාබාද් මන්දිරයේදීයි. ඉන්දු – ලංකා සබඳතා වල වත්මන් තත්ත්වය පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එහිදී මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම පිලිබඳව අවධානය යොමුකරමින් පවතින තත්ත්වය සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

ඒ යටතේ ආයෝජන, වෙළඳ සහ සංවර්ධන හවුල්කාරිත්වය පිලිබඳව සාකච්ඡා කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *