ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු


ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු

(03.03.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, කූඨ ලේඛන සකස්කර ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල්, රුපියල් 21,56,200 ක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු විදුහල්පතිවරයා ඇතුලු තුන්දෙනෙකුට (3) එරෙහිව පවරා ඇති නඩුව අද (03) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මතයි.

එමෙන්ම ඔහුගේ ඇපකරුවන්ට නොතිසි නිකුත් කිරීමටද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළා.

2018 සිට 2020 දක්වා කාලය තුළ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් මුදල් වංචා කර ඇති බවට 2021 වසරේ ඔක්තෝම්බර් 26 වනදා ගාල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණේ එම විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා විසින් ෴


මඩකලපු දුම්රිය කැන්ටිමේ කැරපොත්තන් සහ කුහුඹුවන්

(03.03.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වන මීනගයා නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරයේ කොන්ත්‍රාත්කරුට එරෙහි ව නීතිමය පියවර ගැනිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

ඒ, පෙරේදා (01) රාත්‍රියේ එම දුම්රිය මඩකලපුවෙන් ගමන් ආරම්භ කිරිමට පෙර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම දුම්රියේ භෝජනාගාරය පරික්ෂා කිරීමේදී එහි ආහාර ගබඩා කරන ස්ථානයෙන් කැරපොත්තන් සහ කුහුඹුවන් හමුවීම හේතුවෙන්.

එමෙන්ම ඇතැම් ආහාරවල කල් ඉකුත්වීමේ දිනය ද සටහන් වී නොතිබුණු අතර, කොන්ත්‍රාත්කරුට දැඩි ලෙස අවවාද කර නඩු පැවැරිමට කටයුතු කළ බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ ෴


මාදම්පේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

(03.03.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

හලාවත – මාදම්පේ – සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී 07:30 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්.

ගින්නෙන් කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර රැසක් විනාශ වී ඇති අතර, අපනයනය සඳහා සකස් කර තිබූ කොහු තොගයක් ද විනාශ වී තිබෙනවා.

ගින්න හට ගත් අවස්ථාවේ කර්මාන්තශාලාවේ කිසිවෙකුත් සිට නැහැ.

හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වූ බව පොලීසිය සඳහන් කළා ෴


නව විදුලි ගාස්තුවෙන් අහිතකර බලපෑම් – ඇඟලුම් කර්මාන්තකරුවන් කියයි

(03.03.2023 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ඇණවුම් පහත බැස ඇති අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ දැමීම, ඉදිරියේදී මෙරට ඇඟළුම් කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදය පවසනවා.

එහි උපසභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති සමඟ සංවාදයට එක්වෙමින් කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා නිෂ්පාදන පිරිවැය සියයට 05 කින් පමණ ඉහළ ගොස් ඇති බව යි.

එසේම මෙරටට ලබාදී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය නැවත ලබාගැනීමට සඳහා සිදු කෙරෙන අයදුම් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී බව ද ඔහු පෙන්වා දුන්නා.

+


පළමු වරට ගාලු මුවදොරින් කැස්බෑ බිත්තර සොයා ගැනේ

(03.03.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

පළමු වතාවට ගාලු මුවදොර වෙරළ තීරයේ කැස්බෑවන් බිත්තර දමා තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම සඳහන් කළේ බිත්තර 2,000 ක් පමණ මෙහි තිබී සොයා ගත් බවයි.

ඒවා ආරක්ෂා කිරීමට වැඩසටහනක්ද දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති අතර, අද (03) දිනයේ එම බිත්තරවලින් පැටවුන් පැමිණීම සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

+


ලූෂන් පුෂ්පරාජ් නැවතත් මව්බිමට ගෞරවය ගෙන එයි

(03.03.2023 – 06:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සුපිරි කාය වර්ධන සූරී ‘ලූෂන් පුෂ්පරාජ්’ ඊයේ (02) ‘ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරගාවලිය’ සඳහා සහභාගි වුණා.

එහි දී ඔහු තරග වැදුණේ, ‘සුපර් හෙවි බොඩි බිල්ඩිං’ තරග කාණ්ඩය යටතේ යි.

එම ඉසවුවෙන් ලූෂන් පුෂ්පරාජ්ට සිවු (4) වැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා.

‘ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන තරගාවලිය’ පැවැත්වෙන්නේ, ඇමරිකාවේ ඔහායෝවල වන අතර, තරගයෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කර සිටියේ, තමන් සියලු ම ශ්‍රී ලාකිකයන් වෙත ආචාරය හා ස්තූතිය පුද කර සිටින බව යි ෴


රුපියල් 12,000 බෙහෙත රුපියල් 33,000 ට විකුණු ආසිරි රෝහලේ බෙහෙත් වංචාව

+


තිරප්පනය ප්‍රදේශයේ දී සිදු වූ වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට

(03.03.2023 – 21:40 +0530 – hirunews.lk/sinhala)

අද (03) සවස නුවර – යාපනය A-09 ප්‍රධාන මාර්ගයේ තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක මිය ගොස් තිබෙනවා.

මන්නාරම, සිලාවතුර, බණ්ඩාරවේලී පුදේශයේ පිරිසක් ගමන් ගත් වෑන්රථයක් වංගුවක දී මාර්ගයෙන් ඉවතට පැන පෙරැළි යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදු වූ අවස්ථාවේ දී වෑන් රථය එම අවස්ථාවේ මාර්ගය අසළ සිටි කාන්තාවකගේ ගැටී තිබුණා.

එම අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ එම කාන්තාව ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් අනුරාධපුර මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

පසුව ඇය රෝහලේ දී මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂ්කා සංජීවනී කරුණාරත්න නමැති දෙදරු මවක්.

අනතුරට පත් වෑන් රථයේ ගමන් කර ඇත්තේ මන්නාරම සිලාවතුර බංඩාරවේලි ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මවක, පියෙකු හා දරුවන් සිව් (4) දෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.

කෙසේවෙතත් එම පිරිසට අනතුරින් කිසිඳු හානියක් සිදු වී නැහැ.

පොලිසිය පවසන්නේ, රියදුරුට නින්දයාම හෝ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය හෙට වැසේ

(03.03.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නාර්යාලය පවසනවා.

ඒ, ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිතව ඇති බැවින්.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

+++++++++++

අද (04) ජල කප්පාදුවක් – වැල්ලම්පිටිය, කොළොන්නාව මාර්ගත් වැසේ

(04.03.2023 – 07:16 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 2 සිට හෙට (05) පස්වරු 2 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 01 සිට කොළඹ 04 දක්වාත් කොළඹ 7 සිට කොළඹ 11 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එමෙන්ම කඩුවෙල නගරය සහ ඒ අවට මෙන්ම කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවෙනවා.

මේ අතර මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත හේතුවෙන් අද (04) උදෑසන 9 සිට හෙට දහවල් 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය ප්‍රකාශ කළා ෴


ගෝල්ෆේස් වෙරළෙන් හමු වූ බිත්තරවලින් බිහි වූ කැස්බෑ පැටව් මුදාහැරේ

(03.03.2023 – 22:40 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර වෙරළ තීරයෙන් හමු වූ කැස්බෑ බිත්තරවලින් බිහි වූ කැස්බෑ පැටවුන් සාගරයට මුදාහැරීම අද (03) පස්වරවේ සිදුකෙරුණා.

ගාලුමුවදොර වෙරළ තීරය ආශ්‍රිතව කැස්බෑ බිත්තර හමු වු පළමු අවස්ථාව මෙය බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කලේ.

මේ අතර, ලෝක වනජීවී දිනය යෙදී තිබෙන අද (03) දිනයේ ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

ලෝක වනජීවී දිනය අදට (03) යෙදී ඇති අතර මෙවර එහි තේමාව වනජීවී සංරක්ෂණය සඳහා හවුල්කාරීත්වය යන්නයි.

මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරික, ආරක්ථිකමය, අධ්‍යාපනික, සංස්කෘතික සහ සෞන්දර්යාත්මක වටිනාකම් ඇගයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2013 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ලෝක වනජීවී දිනය සැමරීම වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ බස්නාහිර පලාත් කලාප කාර්යාලය විසින් සංවිධානය කළ වැඩසටහන අද (03) පෙරවරුවේ පැවැත්වුනේ ගාලුමුවදොර මුහුදු තීරයේදී.

එම අවස්ථාවේදී පළමු වතාවට ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් හමු වු කැස්බෑ බිත්තර සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කෙරුණා.

ලෝකයේ කැස්බෑ විශේෂ 07 ක් ජීවත්වන අතර ඉන් විශේෂ 05 ක් ශ්‍රී ලංකාව ආශ්‍රිත වෙරළ කලාපයේ දැක ගත හැකියි.

වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කලේ ගාළුමුවදොර වෙරළ තීරය ආශ්‍රිතව දක්නට ලැබුනේ බටු කැස්බෑ විශේෂය බවයි.

පසුගිය ජනවාරි මාසයේ මෙම වෙරළ තීරයේ පළමු වතාවට කැස්බෑ බිත්තර හමු වී ඇති අතර ඒවා සංරක්ෂණය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණා.


කැල්සියම් සහ යකඩ පෙති හිඟ නැහැ – පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කියති

(04.03.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ යකඩ පෙතිවල හිඟයක් නොමැති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපතිනී දේවිකා කොඩිතුවක්කු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, මේ වන විට ගර්භනී මව්වරුන්ට අවශ්‍ය ඖෂධ මාස 2 ට පමණ ප්‍රමාණවත්ව පවතින බවයි.

මේ අතර ඖෂධ හිඟය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලිවලට අදාළව වගඋත්තරකාර පාර්ශ්වය වන සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණ ද කිසිදු නිලධාරියෙකු ඊට සහභාගී වී තිබුණේ නැහැ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසිනුයි අදාළ පැමිණිලි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණේ.

එම පැමිණිලි පිළිබඳ විමර්ශනයට සියලු‍ පාර්ශ්ව කැදවා තිබූ අතර පැමිණිලිකාර පාර්ශ්වයන් පමණක් ඊට සහභාවී තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *