කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායයි

කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායයි


කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායයි

(25.02.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කිහිපයකට සම්බන්ධ, විදෙස් ගමන් තහනමක් ද නිකුත් කර තිබූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලින් විදේශ ගත වීමට තැත් කිරීමේදී ආගමන විගමන නිලධාරින් විසින් රඳවාගෙන කටුනායක පොලීසියට භාරදීමෙන් පසු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ අදාළ පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ ගත වීමට තැත් කර ඇති බව සඳහන්.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් පැනවූ නියෝගය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබී ඇති අතර, ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරින් විසින් ඒ පිළිබඳව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු රඳවාගෙන ගුවන්තොටුපල පොලීසිය වෙත භාර දී තිබුණා.

ඒ අනුව අදාළ පුද්ගලයා පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ ඉන් පිටතට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ අදාළ පුද්ගලයා නිදහස් කර ගැනීම සඳහා භික්ෂුන් වහන්සේ දෙනමක (2) ලෙස වෙස්වලා ගත් දෙදෙනෙකු (2) ගුවන්තොටුපල පොලීසිය වෙත පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වන බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු වන අතර, පසුගියදා හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ද සම්බන්ධ බවයි වාර්තා වන්නේ ෴

++++++

ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට

(25.02.2023 – 20:32 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු (2) මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවා.

සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණා.

මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

+

(26.02.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

මනුෂ්‍ය ඝාතන 19 ක් සිදුකර ඩුබායි වෙත පලායාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල පොලීස් භාරයෙන් මිදී පලා යෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල පොලිසියේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයෙකු ඇතුළු සිව්දෙනා (4) ඊයේ (25) රාත්‍රියේ මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

එහිදී ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා (2) ඇප මත මුදාහැරුණු අතර, සැරයන්වරයා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ ෴


ජනාධිපති කරන ලොකු වරදක් ගැන අමරසේකර ඔහුටම ලියයි…

(26.02.2023 – 06:20 +0530 – lankacnews.com)

ජනවරම අනුව සකස් කළ නව ව්‍යවස්ථාව මහජනයාට ඉදිරිපත් නොකිරීමේ වරද සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි :

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

ජනාධිපතිවරයාගේ ජනවරම අනුව සකස් කළ නව ව්‍යවස්ථාව මහජනයාට ඉදිරිපත් නොකිරීමේ වරද පිළිබඳව

ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති තනතුරට පත්වුවද ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට විශේෂිත ජනවරමක් ඇත. ඒ අනුව ඔබතුමා විසින් නියෝජනය කරනු ලබන්නේ නියමිත කාලයට පෙර ඉල්ලා අස් වූ හිටපු ජනාධිපතිවරයාගේ ජනවරම බව පිළිගත යුතුය. මේ රටේ 69 ලක්ෂයක ජනතාව නියෝජනය කරන එම ජනවරම ප්‍රධාන වශයෙන් නිර්මාණය වන්නේ මූලික පොරොන්දුවක් මතය. එනම් අප රට මුහුණ දෙන බරපතළ ප්‍රශ්න රාශියකට හේතු වී ඇති පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමය. ඒ අනුව මහජන අදහස් ලබා ගනිමින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය. බොහෝවිට ඔබතුමාගේ පක්ෂය ද එම කමිටුවට යෝජනා ඉදිරිපත් කරන්නට ඇත.

නමුත් හිටපු ජනාධිපතිවරයා තම ජනවරමට ගරු කරමින් නව ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කිරීමට ක්‍රියා කිරීම වෙනුවට තම සහෝදරයා වෙනුවෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය. ඒ මගින් එතුමා තමා බලයට පත් කළ බලවේග සහ බිත්තිවල චිත්‍ර අඳිමින් සමාජය තුළ නව අපේක්ෂා ජනිත කළ තරුණයින් විසින් ඉල්ලා සිටි මහා වෙනස හෙවත් ‘සිස්ටම් චේන්ජ්’ අවතක්සේරු කරනු ලැබීය. එම වරදට එතුමාට පමණක් නොව සමස්ත ජනතාවට බරපතළ වන්දියක් ගෙවීමට සිදු වී ඇත. කෙසේ වෙතත් දැන් එතුමාගේ ජනවරම නියෝජනය කරන ඔබතුමාට එම වරද නිවැරදි කිරීමට අවස්ථාව උදා වී ඇත.

නමුත් ඔබතුමාගේ මෙන්ම රටේ අවාසනාවකට එම වරද නිවැරදි කිරීම වෙනුවට ඔබතුමා විසින් ඊට වඩා බරපතළ වරදකට මුල පුරා ඇති බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය. එනම් බලය විමධ්‍යගත කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට රට වැසියන් ලෙස සමානාත්මතාවය සහතික කිරීම වැනි ඔබතුමා විසින්ම සඳහන් කරන යහපත් දේ ඉටු කිරීම සඳහා නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම වෙනුවට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් නව අර්බුදයක් නිර්මාණය කිරීමය.

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් උතුරේ සාමාන්‍ය ජනතාව කුලවාදයෙන් පීඩාවට පත්කරන බෙදුම්වාදී බලලෝභී දේශපාලනඥයන් අතට පොලිස් සහ ඉඩම් බලතල ලැබෙනු ඇත. ඒ මගින් නිර්මාණය වන පොලිස් රාජ්‍යය තුළ ‘පළාත් පොලිසිය’ පාලනය කිරීමේ පූර්ණ බලය මහ ඇමතිවරයාට ලැබෙන අතර ඒ තුළ එම ජනතාවට යහපතක් සිදුනොවන බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි.

ඒ ආකාරයට ඔබතුමා විසින් 13 වැනි සංශෝධනය පරිපාලන වශයෙන් බලාත්මක කිරීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කළහොත් ඊළඟ පියවර වන්නේ ෆෙඩරල් බලතල ක්‍රියාත්මක කිරීම මගින් මධ්‍යම රජය සමග ගැටුම් නිර්මාණය කිරීමය. එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපෙන බව සහ එය අවසන් වන්නේ රට දෙකඩ කිරීම මගින් බවට ජාත්‍යන්තර දේශපාලන තත්වයන් හොඳින් හදාරන ඔබතුමාට වටහා ගැනීම අමාරු නැත. එසේ වුවහොත් ඒ මහා ඓතිහාසික පාපකර්මයට ඔබතුමාට පුද්ගලිකව වගකීමට සිදුවනු ඇත.

නමුත් නව ව්‍යවස්ථාවක් මගින් උතුරේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම මගින් බෙදුම්වාදී දේශපාලනඥයින් නිරායුධ කිරීමේ හැකියාව ඇත. නව ව්‍යවස්ථාවක 13 ක් නොමැති බැවින් බෙදුම්වාදී අනතුරින් රට ගලවා ගැනීමේ හැකියාව ඔබතුමාට ලැබෙන අතර ඒ මඟින් නව ඉතිහාසයක් නිර්මාණය කිරීමට ඔබතුමාට අවස්ථාව ලැබෙනු ඇත. එසේම එමගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අපේක්ෂා ඉටු කළහොත් ඔබතුමාට ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ද අවස්ථාවක් නිර්මාණය විය හැක.

ඒ සඳහා වන පළමු පියවර දැනට සකස් කර ඇති නව ව්‍යවස්ථාව රටේ ජනතාවට ඉදිරිපත් කිරීම බව ඉතා පැහැදිලිය. ඒ නිසා මේ වන විට ජනාධිපති කාර්යාලයට බාර දී ඇති විදවත් කමිටු වාර්තාව සහ නව ව්‍යවස්ථා කෙටුම්පත වහාම ප්‍රකාශයට පත් කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මේ වගට,

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව


‘ලංකා ගාඩියන්’ වෙබ් අඩවියේ ‘ඇමරිකාවේ රාජ්‍ය ඔත්තු සේවය’ට කඩේ ගිය නමක් නැති ලියුම්කරුට පිළිතුරක්

(25.02.2023 – 23:11 +0530 – lankaleadnews.com)

පසුගිය පෙබරවාරි 23 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෙරටට හොර රහසේ පැමිණ ගිය ‘ඇමරිකානු රාජ්‍ය ඔත්තු සේවයේ’ නිලධාරින් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආගමනය තුළින් මතුවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබදව හෙළිදරව්වක් කරන ලදී.

කෙසේ වුවද මෙම හෙළිදරව්වත් සමගම විජාතික බලවේගවලට කඩේ යන ඔවුන්ගේ කුළීහේවායන් නැවතත් අවිස්සී ඇති බවක් පෙනෙන්නට තිබේ.

එයට උදාහරණයක් ලෙස ඉකුත් දා ‘ලංකා ගාඩියන්’ වෙබ් අඩවියේ නමක් නැති ලියුම්කරුවකු විසින් පළ කර ඇති එක්තරා ලිපියක් දැක්විය හැකිය.

විමල් වීරවංශ මහතාගේ හෙළිදරව්ව දිරවාගත නොහැකි වූ මෙම ලියුම්කරුවා තමන්ගේ ස්වාමිවරුන්ගේ මතවාදය ඒ ලෙසින්ම මෙම ලිපියට ඔබ්බවා ගතමනාවට කඩේගිය සේපාල් අමරසිංහලා මෙන්ම රැඩිකල් විග්‍රහයක් සිදු කොට තිබේ.

‘ව්‍යාජ දේශප්‍රේමය’ යන වචනයෙන් පටන්ගෙන ‘දේශප්‍රේමය යනු පාදඩයාගේ අවසාන රැකවරණය’ යන්නෙන් විග්‍රහ කිරීමට ඔහු යොදාගෙන තිබූ වචන බොහෝමයක් ‘තමන්ගේ නොවන අනුන්ගේ ඇදුම්’ වැනි වචන වීම තුළ ලියුම්කරුගේ උපත සොයාගැනීමට එතරම් අපහසු නැත.

තමන්ගේ නොවන අනුන්ගේ ඇදුම්වලින් විලි වහගන්නා මෙරට ඇති ප්‍රධානම දේශපාලන ව්‍යාපාර මොනවා දැයි දේශපාලන මොටෙයියන් පවා දන්නා කාරණයකි.

බටහිර අධිරාජ්‍ය ගැති කදවුර තුළ කිරිබී හැදී වැඩුනු වුන් පමණක් නොව මාක්ස්වාදය හෝ උග්‍ර සමාජවාදීන් ලෙස හදුන්වන වුන් ද ජාතිකත්වය හෝ ජාතිකවාදය ප්‍රිය නොකරන බව සත්‍යයකි. එයට හේතුව වන්නේ ඔවුන්ව ඔවුන් අදහන රැකවලුන් විසින් බෞතීස්ම කර ඇති ආකාරයේ ඇති අවුලය.
‌‌‌‌‌‌‌‌‌‌
මෙරට මුල් ඉදිරුණු හා ‘ට්‍රෙන්ඩ්’ එකට බලහත්කාරයෙන්ම මුල් උදුරුවා ගත් ලිබරල් ධනවාදීන් හෝ මාක්ස්වාදීන් සිංහල බෞද්ධ ජනවිඥානය මත ගොඩනැගුණු මෙරට මහා සමාජය කිසිදා නිවැරදිව කියවාගෙන නැත. එම ජන සමාජය කියවාගෙන තම ගමන ඒතුළින් මතුකරගත් නායකයන්ට ඔවුන් පහර ගසන්නේ දේශප්‍රේමය කුමක්දැයි නිවැරැදිව අවබෝධ කොට ගෙනදැයි ප්‍රශ්නයක් මතුවේ.

ඔවුන්ගේ දේශප්‍රේමීත්වය හා සහෝදරත්වය ඇත්තේ සටන්පාඨවල මිස සැබෑ මහපොළොවේ නොවන බව සටන මගහැර යන්නන් සහ සටන අතරමග දමා දුවන රැඩිකල් අයියලා හොදින් දන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ඔවුන් සැමදා මෙරට මහා ජනසමාජය හා එම සමාජයේ ජන විඥානය සමාජගත කරන නායකයන් හදුන්වන්නේ ‘පාදඩයන්’ ලෙසය. එයට හේතුව වන්නේ ඔවුන්ට අවශ්‍ය විජාතික ප්‍රතිසංස්කරණ රට තුළ සිදුකිරීමට ජාතිකවාදීන් කිසිදා ඉඩ නොදෙන බව දන්නා නිසාය.

එනිසා ජාතිකවාදී නායකයන් කුමන හෙළිදරව්ව සිදුකළ ද ඔවුන් එය දකින්නේ රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා පාස්කු ප්‍රහාරය දුටු ආකාරයටමය.

මාතෘභූමිය ඒකීය බව කියන්නට ඔවුන්ගේ දිව නැවෙන්නේ නැත. මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස පිළිගන්නට එම අනාගාමිකයන් අකමැති ය.

‘පරයන්ට’ (ලාල්කාන්ත කියන ලෙස පිට එවුන්ට) අවශ්‍ය ලෙස මෙම භූමිය මෙන්ම සමාජ දේහය හසුරවමින් පවතින බව පිළිගන්නට මෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හා මාක්ස්වාදී අයියලා කැමතිම නැත.

රටට අනතුරක් ඇති බව කීමට ප්‍රධාන ලෙසම මෙම රැඩිකල් අයියලා අකමැති වන්නේ එමගින් තම පැවැත්ම අහෝසිවන බව දන්නා නිසාය. දේශපාලනයේදී එක් පිළක හරිහැටි කෙලින් හිට ගැනීමටවත් බැරි දේශපාලන කුලීකරුවන් තම පැවැත්ම හදාගැනීමට ‘ට්‍රයි’ කරන්නේ එසේ ය.

‘ලංකා ගාඩියන්’ වෙබ් අඩවියේ නමක් නැති ලියුම් කරුගේ විග්‍රහය ද එවැනිම එකක් යන්න අපගේ විශ්වාසයයි.

– බද්දේ


මාලිගාකන්ද අධිකරණයෙනුත් උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

(26.02.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකු සහ ඔවුන්ගේ නියෝජිතයන්ට කොළඹ රෝහල් චතුරස්‍ර කළාපයට ඇතුලුවීම වළක්වාලමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබෙනවා.

ජාතික රෝහල, ඇස් රෝහල, හෘද රෝහල, මරදාන ප්‍රධාන රෝහල් චතුරශ්‍රයන් හි කටයුතුවලට බාධා වන අයුරින් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට උද්ඝෝෂකයින්ට ඇතුලුවීම වළක්වාලමිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

එමෙන්ම ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහාමාර්ගය සහ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි සිදු කිරීම ද තහනම්වනවා.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) පෙරවරුවේ නියෝග කර තිබුණේ මෙම උද්ඝෝෂකයන්ට ජනාධිපති මන්දිරය සහ කාර්යාලය මුදල් අමාත්‍යාංශය මෙන්ම ගාලු මුවදොරට පෙළපාලිවලින් ඇතුලුවීම තහනම් බවයි.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බව මෙම නියෝගවල සඳහන්.

++++++++++

+

https://www.youtube.com/watch?v=WywfIWdeIIA

+

+

+

+

+

++++++++++

විරෝධතාකරුවන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

(26.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගය විරෝධතා පාගමනට එල්ලවූ ජල හා කදුළු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 10 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

‘මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය අද (26) පස්වරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබුවේ විහාරමහා දේවී උද්‍යානය අසළින්.

පසුව පාගමන ටවුන් හෝල් පසුකර ඉදිරියට පැමිණීමට උත්සහ කිරීමත් සමඟ පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *