මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට

මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට


මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට

(25.02.2023 – divaina.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන හා ගාමිණි ලොකුගේ ඇතුළු 39 දෙනෙකු ගොනු කර ඇති පෙත්සම විරෝධතා ගොනු කිරීම සඳහා ලබන මැයි 22 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය.

මැයි 09 වැනිදා හා මැයි 10 වැනිදා රටපුරා සිදුවූ දේශපාලනඥයන් ඇතුළු පිරිසකගේ නිවාස හා දේපළ විනාශ කිරීම් සිදු වූයේ ආරක්‍ෂක හමුදා හා රාජ්‍ය බුද්ධි අංශවල අඩු ලුහුඩුකම් නිසා දැයි සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත්කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාවේ පිටපතක් ඊයේ (24 දා) අධිකරණයට භාරදෙනු ලැබීය. එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා යෙදවිය හැකි පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ත්‍රිවිධ හමුදාවල පුහුණුවලත් ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ඒවා වළක්වා ගැනීමට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බවත්, එබැවින් ඔහුට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකළ යුතු බවත් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ එම කමිටු වාර්තාව මගින් නිර්දේශ කොට ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය.

පෙර නඩු දිනයේදී නිකුත් කළ නොතිසි අනුව එම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියහ.

සිය සේවාදායකයා වෙනුවෙන් ලිඛිත විරෝධතා නොව ලිඛිත ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්‍ෂා කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

~ ඒ.ජේ.ඒ. අබේනායක

+++++

+


රුපියල් ලක්ෂ 53 ක් වංචා කළ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට

(25.02.2023 – 09:28 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් ලක්ෂ 53 කට අධික මුදලක් වංචා කළ එම ආයතනයේම ගණකාධිකාරීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ (24) මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු චෙක්පත් උපයෝගී කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴


දුම්රිය දෙපාර්තමේන්තුවේ භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි ගැන තීන්දුවක්

(25.02.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම අදහස් පළ කළේ නාවලපිටිය සිට නානුඔය දක්වා පවතින දුම්රිය ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


පුංචි ඡන්දයට මුදල් ගන්න මැතිවරණ කොමිසමෙන් කතානායකට ලිපියක්

(25.02.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් යොමුකර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (24) රාත්‍රියේ මෙම ලිපිය යොමුකළ බවයි.

මේ අතර, පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන මස 03 වනදා යළි රැස්වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම රැස්වීමෙන් අනතුරුව එදිනම නැවත මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එදිනම ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර, මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් ඊයේ (24) ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි.

+


ළමා සහ වයෝවෘද්ධයින් අතර අපස්මාරය ඉහළට

(25.02.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ළමා හා වයෝවෘද්ධ පිරිස් අතර බහුලව අපස්මාරය (Epilepsy) (මීමැස්මොරය) රෝගී තත්ත්වයන් දක්නට ලැබෙන බව ‘ශ්‍රී ලංකා අපස්මාර සංගමය’ පවසනවා.

එහි සභාපති, ස්නායු විශේෂඥ වෛද්‍ය, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂාර ගුණරත්න සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවේ අපස්මාරය වැළදුනු රෝගීන් දෙලක්ෂ පනස්දහසකට (2,50,000) අධික සංඛ්‍යාවක් සිටින බවයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පාලනය කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


සිපෙට්කෝ ලැබූ බිලියන ගණනේ ලාභය ගැන සේවකයෝ කටඅරිති

(25.02.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස 6 ක් තුළ රුපියල් බිලියන 20 ක ලාභයක් ලබා ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.

මේ අතර විදුලි බිල වැඩි වීමේ වගකීම විදුලිබල මණ්ඩලයේ සේවකයින් මත පැටවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා උත්සහ කරන බවට ලංකා විදුලි පොදු සේවක සංගමය චෝදනා කරනවා.

මේ අතර විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ප්‍රදේශ කිහිපයකදී පන්දම් විරෝධතා සංවිධානය කර තිබූ අතර නුගේගොඩ නගරයේදී ද පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා.

මේ අතර අද (25) වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන බැවින් එය පෞද්ගලීකරණයට කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ.

+


පන්සල වැහෙන්න කලින් හිමි නමක් දෙන්න

(25.02.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ගමේ විහාරස්ථානයට හිමිනමක් ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගම්වැසියන් පිරිසක් පිළිබඳව පොළොන්නරුව, ලංකාපුර තල්පොත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔවුන් පවසන්නේ හිමිනමක් නොමැති වීම හේතුවෙන් විහාරස්ථානය විනාශ මුඛයට යමින් පවතින බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය 1950 දශකයේදී ආරම්භ කෙරෙන්නේ මෙම ප්‍රදේශයේ ගොවි ජනපද ආරම්භ කිරිමත් සමඟයි.

දහම් පාසලක්, මරණාධාර සමිතියක් ඇතුළු සුබසාධක කටයුතු රැසක් මෙම විහාරස්ථානය හරහා දිගුකලක් ප්‍රදේශවාසින්ට හිමිවූයේ එහි වැඩසිටි හිමිවරුන් විශාල පිරිසකගේ දායකත්වයෙන්.

නමුත් වසරකට ආසන්න කාලයක සිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ භාරකාර හිමිනමක් නොමැතිකමින් දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරය විනාශ මුඛයට යමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම පසුබිම හමුවේ ප්‍රදේශයේ බෞද්ධ දරුවන්ගේ වසර ගණනාවක සිට ඉගෙනුම ලැබූ දහම් පාසල වැසී ගොස් තිබෙනවා.

ප්‍රදේශාවසීන් පවසන්නේ විහාරස්ථානයේ හිමිනමක් නොමැති වීම හේතුවෙන් ගමේ සිල් සමාදන් වීම, දානමය පුණ්‍ය කර්ම, පාංශූකූල කටයුතු සඳහා වෙනත් දුර බැහැර විහාරස්ථාන වෙත යාමට සිදුව ඇති බවයි.

සිය විහාරස්ථානය වෙත කඩිනමින් භාරකාර හිමිනමක් යොමු කරන ලෙසට ඉල්ලා සිටින තල්පොත, බෞද්ධාර්ථ ගම්මානයේ වැසියන් මෙලෙස විරෝධතාවක ද නිරත වූයේ සිය ගැටලුව බලධාරින්ගේ අවධානයට යොමු කිරීමේ අරමුණින්.

+


මැටි වළඳට මුන්දලමේ දී වැදුණු හෙණ

(25.02.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය බොහෝ පුද්ගලයින්ගේ ජන ජීවිතයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

එවන් පසුබිමක මෙරට පාරම්පරික කර්මාන්ත රැසක් ද විවිධ හේතු නිසා වැනසෙමින් පැවතීම කණගාටුවට කරුණක්.

මේ තොරතුරු, මුන්දලම, පුලිච්චංකුලම ප්‍රදේශයේ කුඹල් කර්මාන්තයේ නිරත ජනතාව පත්ව සිටින පීඩාව පිළිබඳවයි.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පුලිච්චංකුළම ගම්මානයේ පවුල් රැසක් දිවි සරිකරගනු ලබන්නේ මැටි වළං කර්මාන්තයෙන්.

පාරම්පරික කර්මාන්තයක් ලෙසින් පැවත එන මෙම මැටි වළං කර්මාන්තය හේතුවෙන් අවට ගම්වල සිටින පිරිසට ද වක්‍ර රැකියා අවස්ථා රැසක් උදා වී තිබුණා.

එහෙත් කොවිඩ් වසංගතය සහ පසුගිය කාලයේ රට තුළ උද්ගත වූ තත්ත්වය හමුවේ මෙන්ම අමුද්‍රව්‍ය සොයා ගැනීම, මැටි ප්‍රවාහන බලපත් ලබාගැනීමේ ගැටළු හේතුවෙන් එම කර්මාන්තයේ නියැලෙන්නන් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇලුමිනියම් වළං සහ ප්ලාස්ටික් භාජන දේශීය වෙළෙඳපොල ආක්‍රමණය නිරීම හේතුවෙන්ද තම නිෂ්පාදන අලෙවි කිරීමට දැඩි බාධා මතුව ඇති බවයි.

පුලිච්චංකුළම ගම්මානයේ මැටි වළං කර්මාන්තයේ නිරත වී සිටින පිරිස ඉල්ලා සිටින්නේ තම නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා නිසි වෙළෙඳපොලක් නිර්මාණය කර දෙන ලෙසයි.

+


ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි – වෘත්තීය සමිති

(25.02.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සමග අද (25) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වු බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

ඒ අනුව ඔවුන් සැලසුම් කළ පරිදි මාර්තු මස 01 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි පවසන්නේ.

වෛද්‍ය, බැංකු, වරාය, විදුලිය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තීය සමිති 40 ක් පමණ නියෝජනය කරන වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (25) පළමු වතාවට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළේ රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවයි.

අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමතරව, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එක්ව සිටියා.

එහිදී වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් විසින් බදු සම්බන්ධ යෝජනා මාලාවක් ලබාදී ඇති අතර, ඔවුන් පනවා ඇති බදු සම්බන්ධයෙන් කඩිනම් සහනයක් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, රටේ ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ලබාගැනීම අදාළ පියවර හේතුවෙන් එවැනි සහනයක් ලබාදිය නොහැකි බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *