නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි


නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

(23.02.2023 – navy.lk/si/)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles – ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයක් මත වෙරළ හා කලපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් මෙම රථ නිෂ්පාදනය කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් නාවික හමුදා මැරීන් බළඝණය විසින් සිදුකරනු ලබන වෙරළ හා කලපු ආශ්‍රිත ආරක්‍ෂක මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව සිදුකරනු ලබන නීති විරෝධී කටයුතු මැඩපැවත්වීමේ මෙහෙයුම් ඇතුළු මෙහෙයුම් කටයුතු වෙනුවෙන් මෙම රථ ඉදිරියේදී කාර්යක්‍ෂම හා ඵලදායි ලෙස යෙදවීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු සනත් පිටිගල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා Ideal Motors සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිතාසි

(23.02.2023 – 20:34 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඖෂධ හිඟය නිර්මාණය සහ ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් කඩවීමක් යැයි චෝදනා කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසින් ගොනු කරන ලද පෙත්සමට අනුව පරීක්ෂණයක් පවත්වන්නටත්, ඊට අදාළව සිතාසි නිකුත් කිරීමටත් මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

රටක ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහළ යාම මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පිළිගැනීම ද ඉතිහාසයේ පළමු වරට සිදු වූ සිදුවීමක් බවයි වාර්තා වන්නේ.

මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා පැවසූයේ මෙය සමස්ත ශ්‍රී ලංකාවාසී ජනයා ලද විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර අත්තනෝමතික ලෙස කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියාකලාපවල ප්‍රතිඵලයක් ලෙස මෙරට මනුෂ්‍ය ජීවිත සාපරාධී ලෙස ඝාතනයට ලක් වීමට කිසිසේත් ඉඩ තැබීමට තම වෘත්තීය සමිති සන්ධානය සූදානම් නැති බවයි ෴


ජවිපෙට ගහන්න තවත් කටක් – දමිතා අබේරත්න පොළොන්නරුවෙන් සජබෙ වේදිකාවට

+


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මරුට

(24.02.2023 – 00:01 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැලිගම ප්‍රදේශයේ දී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, අදාළ සැකකරු විසින් මාදූව – ඇල්ලෝවිට ප්‍රදේශයේ ‘සඟවා ඇති අවි ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ දී එහි තිබූ ජීව අත් බෝම්බයක් ගෙන පොලිස් නිලධාරින් වෙත බෝම්බයේ අගුළු ගලවා එල්ල කිරීමට උත්සාහ කර ඇති’ බවයි.

එහිදී ‘පොලිස් නිලධාරියෙකු විසින් ආත්ම ආරක්ෂාව සඳහා තම රාජකාරී ගිනි අවියෙන් සැකකරු දෙසට වෙඩි තබනුලැබ ඇති’ අතර තුවාල ලැබූ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මේ වනවිට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයෙකු බවත්, ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වැනි දින ඇවරිවත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට හිසට ගිනි අවියක් එල්ල කර වෙඩි තැබීමට උත්සාහ දැරීමේ සිද්ධිය සහ මෙම වසරෙ ජනවාරි මස 09 වැනි දින ඇවරිවත්ත ප්‍රදේශයේ දී ම තවත් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට වෙළෙඳසැල අසලට පැමිණ ගිනි අවිය සකස් කිරීමේ දී එහි මැගසින් කොටස ගැලවී බිම වැටීම හේතුවෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම මෙම සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියකට ද සම්බන්ධ අයෙකු බවත් හෙළිව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සඟවා තිබූ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසින් 01 ක් හා ජීව පතොරම් 02 ක් පොලිස් විමර්ශන නිලධාරින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය විමර්ශන සිදු කරන අතර හෙට (24) දිනයේ දී මීගමුව රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කිරීමට නියමිතයි ෴


වාහන අමතර කොටස් මිල සියයට 300 කින් ඉහළට

(24.02.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපෙළේ වාහන අමතර කොටස් මිළ සියයට 300 අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වෙළඳපල ආරංචි මාර්ග පවසනවා.

පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් පවසන්නේ ප්‍රධාන වශයෙන් බැටරි, ආලෝක ලාම්පු, කණ්නාඩි, වාහන තහඩු සහ එන්ජින් ඇතුළු වාහන අමතර කොටස් වල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, වෙළඳපළේ වාහන අමතර කොටස් හිඟයක් පවතින බවට ද වාර්තා වනවා.

අමතර කොටස් ආනයනකරුවන්, චෝදනා කරන්නේ ආනයනය කිරීමේ දී ඇතැම් මුල්‍ය ආයතන ණයවර ලිපි නිකුත් නොකිරිම හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට බාධා එල්ල වී ඇති බවයි.

එවන් පසුබිමක පසුගිය වසර 05 තුළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ වාහන සියයකට (100) පමණ යෙදිය හැකි අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී පසුගිය දා විනාශ කෙරුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු ආදායම් අධීක්ෂණ බලකායේ අධ්‍යක්ෂක ඩී.බී.එම්. සමරතුංග කියා සිටියේ, එම අමතර කොටස් වෙළඳපළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවධානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බවයි ෴


කිරින්දේ දී එංගලන්ත තරුණියකට අතවර කිරීමට ගිය ධීවරයෙකු අත්අඩංගුවට

(24.02.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද ගොඩාන හන්දියේ නවාතැන්පලක් අසල මාර්ගයේ රැඳී සිටි එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එංගලන්ත ජාතික තරුණිය සිය මවුපියන් සමග කිරින්ද ඇතුළු අවට ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව රාත්‍රි නවාතැන් ගැනිම සදහා ප්‍රදේශයේ පිහිටි නවාතැන්පලක් අසලට පැමිණ ඇති බව සඳහන්.

එහිදී තරුණිය මාර්ගය අසල රැදී සිට ඇති අතර දෙමාපියන් දෙදෙනා (2) අදාළ ලැගුම්හලට ගොස් ඇත්තේ නවාතැන් ගැනීමට හැකිදැයි පරීක්ෂා කිරීමටයි.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකරු එහි තනියම රැඳී සිටි තරුණියට අතවර කිරීමට තැත්කර ඇති අතර පසුව එංගලන්ත තරුණිය ඔහු සමග පොර බැදීමේදී සැකකාර ධීවරයා ජංගම දුරකතනයද දමා පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරුවයි සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර දුම්රියේ ගමන් කරමින් සිටිය දී දුම්රිය මාර්ගයේ පිටත සිට විදේශීය සංචාරකයෙකුට සෙරප්පුවකින් පහර දීම සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරු අද (24) බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය අගහරුවාදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙමින් තිබූ දුම්රියේ ගමන්කරමින් සිටිය දී මෙම විදේශිකයා අදාළ ප්‍රහාරයට ලක් වුණේ, බණ්ඩාරවෙළ සහ කිණිගම දුම්රිය ස්ථාන අතරදියි ෴


අධ්‍යාපන අමාත්‍යාංශයට කඩාවැදීමේ සිද්ධියට ඇල්ලූ පිරිස 59 ක් දක්වා ඉහළට

(24.02.2023 – 12.58 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිදුකළ විරෝධතාවයේදී ගුරුවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.

මෙම විශ්වවිද්‍යාලය යළි විවෘත කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඇතුළු වී එහි විරෝධතාවයක නිරත වුණේ ඊයේ (23) පස්වරුවේයී.

එහිදී අත්අඩංගුවට ගැනුණු සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට භික්ෂූණ් වහන්සේ 45 නමක් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද ඇතුළත්.

එහිදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් දෙදෙනා (2) පොලිස් ඇප මත මුදාහැරීමටයි ඊයේ (23) රාත්‍රියේ පියවර ගැනුණේ.

අත්අඩංගුවේ පසුවන 59 දෙනා අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේ එහි ගේට්ටුවෙන් පනින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන අතර, භික්ෂූවකගේ සිවුර ගේට්ටුවේ රැඳෙන ආකාරයද එහි දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමියන් අදහස් පළ කරමින් කියා සිටියේ එලෙස හැසිරීම අනුමත කළ නොහැකි බවයි.

මේ අතර, අද (24) පාර්ලිමේන්තුවේදී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) ඇති වූ සිද්ධිය පිළිබඳ සභාවේ අවධානය යොමු කළ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

+

++++++++

24-02-2023

++++++++

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හැට දෙදෙනෙකු (62) පෙබරවාරි 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මගේස්ත්‍රාත්වරයා අද (24) නියෝග කරා.

ඊයේ (23) බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම පිරිස අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පිටිපන පිහිටි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ගැටලුවක් මුල් කරගනිමින් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ මෙම පිරිස අතර එම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද ඇතුලත්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස ලැබුවේ ඉකුත් ජනවාරි 31 වැනිදා යි.

+


මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අධිඋෂ්ණත්ව යන්ත්‍රයක් මිල දී ගැනීමට සැලැසුමක්

(24.02.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑම් දහසකට (1000) වඩා වැඩි මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අධි උෂ්ණත්වය ලබාදීමට හැකි යන්ත්‍රයක් මිලදී ගැනීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, අධිකරණ අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව මෙම ක්‍රියා පටිපාටිය සිදුකරන බවයි කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

වැටලීම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,000 ක් මේ වනවිට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර, එහි ගබඩා පහසුකම්ද මේ වනවිට සීමා වී පවතින බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා.

මේ අතර, පසුගිය වසරේ යුද හමුදා බුද්ධි තොරතුරු මත පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කළේ එම වැටලීම්වලින් කේරල ගංජා කිලෝග්‍රෑම් 717 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට (2) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇති බවයි.

මේ අතර, මෙම වසරේ ගතවූ කාලය තුළ යුද හමුදා බුද්ධි අංශ තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

++++++

+


බුම්මාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(24.02.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටකට පළාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු’ නොහොත් ‘බුම්මා’ නැමැත්තාගේ සමීපතමයෙකු මත් කුඩු සමඟ කොළඹ – මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘දිලූෂන් කුමාරසිරි’ නැමැති 24 හැවිරිදි තරුණයෙක්.

මොහු පසුගිය වසරේ අප්‍රේල් 21 වන දා කොටහේන – ගල්පොත්ත මංසන්ධිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකරු ද වනවා.

ඒ සඳහා යොදා ගත් මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ඝාතන සඳහා භාවිතා කරනු ලබන කඩු 2 ක්, ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් සහ ත්‍රිරෝධ රථයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ෴


කොරියානු භාෂා පරීක්ෂණයට වාර්තාගත අයදුම්පත්‍ර ප්‍රමාණයක්

(24.02.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පැවැත්වීමට නියමිත 07 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072 ක පිරිසක් අයදුම් කර තිබෙනවා.

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.

මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ අනුව 13,000 කට අධික තරුණ තරුණියන් පිරිසක් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනිම සඳහා ඉදිරිපත් වී ඇති බව සඳහන්.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය මාර්තු 13 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ‘ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා’ වන විභාගය සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *