පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්


පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

(18.02.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලබන සතිය තුළ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දෙන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් (2) එදින කැඳවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙන් මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පළාත්පාලන ඡන්ද විමසීමට නාමයෝජනා භාරදුන් 2,000 කට වැඩි පිරිසකට තවමත් රජයෙන් වැටුප්, ඉන්ධන දීමනා සහ වාහන ලබාගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ සාධාරණ සාමකාමී ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මෙය දැඩි ලෙස බලපාන බවයි.

මීට අමතරව මැතිවරණ කාලසීමාවක් තුළ රාජ්‍ය දේපළ භාවිත කිරීම නීත්‍යානුකූල නොවන කරුණක් බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.

+


මාතර මුහුදේ ගිලුනු සිසුවෙකුගේ සිරුරක් හමුවෙයි – දෙදෙනෙකු (2) සොයා තවදුරටත් මෙහෙයුම්

(18.02.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් ඊයේ (17) දහවල් අතුරුදන් වූ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් තුන්දෙනා (3) ගෙන් එක් (1) අයෙකුගේ සිරුරක් අද (18) නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී සොයාගනු ලැබුවා.

ඒ, ධීවරයෙකුගෙන් ලද තොරතුරු මත නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදියි.

මේ අතර අතුරුදන්වූ අනෙක් සිසුන් දෙදෙනා (2) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ (17) රාත්‍රිය වනතුරුම පොලිසිය සහ නාවික හමුදාව මෙම සිසුන් සොයා මෙහෙයුම් සිදුකරනු ලැබුවා.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් තුන්දෙනෙක් (3).


ගබඩාවකින් භාණ්ඩ සොරකම් කළ කල්ලියක් අත් අඩංගුවට

(18.02.2023 – 07:17 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම – උස්වැටකෙයියාව ප්‍රදේශයේ පෞද්ගලික තොග ගබඩාවක් කොල්ල කා පලා ගිය පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගියදා අදාළ තොග ගබඩාවේ මුරකරුට තියුණු ආයුධයකින් පහර දී එහි රියදුරෙකු සමඟ ඔවුන් දෙදෙනා (2) කාමරයක සිරකර මෙම කොල්ලකෑම සිදු කර තිබුණා.

සැකකරුවන් ගබඩාවේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් තිබුණේ කන්ටේනර් රථ 5 ක් යොදා ගනිමින්.

ඔවුන් විසින් මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා (3) වයස අවුරුදු 30 ත් 40 ත් අතර කුලියාපිටිය හා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා ෴


විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යළි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

(18.02.2023 – 09:23 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු ම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

මීට අමතරව රෝහල්, සාත්තු නිවාස, බෙහෙත්ශාලා, රෝගීන් නඩත්තු කිරීම්, රැකවරණය සහ ප්‍රතිකාර කිරීමද අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා ෴


කොළඹ වරාය නගරය තවත් සුදු අලියෙක්ද? – අල්ජසීරා වාර්තාවක් ප්‍රශ්න කරයි

(18.02.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

කිලෝ මීටර් 1,340 ක ලොව සුන්දරම වෙරළ තීරයන්ගෙන් හෙබි දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට වර්තමානයේ අත්‍යවශ්‍ය තවත් වෙරළක් දැ යි ‘අල්ජසීරා’ ප්‍රවෘත්ති සේවය ප්‍රශ්න කරනවා.

ඒ කොළඹ වරාය නගරය විසින් ගොඩනගන ලද කෘතිම වෙරළ තීරය මෑතක දී විවෘත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එමින්.

ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව 2017 දී චීන රජයට අයත් ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස්’ වෙත බදු දුන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙන් කොළඹ වරාය නගරයද මතභේදාත්මක ව්‍යාපෘතිවලට අයත් තවත් බීජිං ණය මත ඉදිකළ සුදු අලියෙක් යැයි බොහෝ දේශිය විචාරකයින් සැක පළ කරනවා.

හෙක්ටයාර් 269 ක් (අක්කර 665) මුහුද ගොඩකර සංවර්ධනය කෙරෙන වරාය නගරය, තිරසාර නොවන බවත්, ජාතියේ රෝගී ආර්ථිකයට සැලකිය යුතු තරමේ ප්‍රතිලාභ අත්කර නොදෙන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

“කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අත්කර දෙනු ඇත්තේ ඉතා සුළු වාසියක් පමණයි. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රටේ සෙසු ප්‍රදේශවල ජනතාව ඉහළ බදු බරකට මුහුණ දී සිටින විට වරාය නගරය වෙනම බදු රහිත සිහින දේශයක් වී ඇත” පර්යේෂිකාවක වන ප්‍රියංගි ජයසිංහ අල්ජසීරා ප්‍රවෘත්ති සේවය සමඟ එසේ පවසා තිබුණා.

වරාය නගරය සංවර්ධනය කරන CHEC Port City Colombo, එල්ලවන විවේචන ප්‍රතික්ෂේප කරන අතර, චීනයේ Belt and Road Initiative (BRI) යටතේ ඩොලර් බිලියන 1.4 ක මුදලකට අරමුදල් සපයන අභිලාෂකාමී සංවර්ධන ව්‍යාපෘතිය දකුණු ආසියාව සඳහා ලෝක මට්ටමේ නගරයක් පිහිටුවන බව අවධාරණය කරනවා.

CHEC Port City Colombo (Pvt) Ltd යනු China Harbour Engineering Company (CHEC) හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි එය අනෙක් අතට, බීජිං හි මූලස්ථානය කරගත් රාජ්‍ය ව්‍යවසායක් වන China Communications Construction Company Limited (CCCC) හි අනුබද්ධිත ආයතනයකි.

2041 දී නිම කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියේ, පදික පාලමක් සහ කෘතිම වෙරළ ඇතුළු ඇතැම් ඉදිකිරීම් අවසන් කර ඇති අතර එය දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබූ නමුත් තවමත් පූර්ණ වශයෙන් ජනතාවට විවෘත කර නැතැයි අල්ජසීරා වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගිය ජනවාරි මාසයේදී සිදුකළ සංචාරයකින් ව්‍යාපෘතියේ විශ්වසනීයත්වය ඉහළ නංවනු ලැබුවද, අධි උද්ධමනය සහ ආහාර හිඟය සමඟ පොරබදමින් සිටින බොහෝ ජනතාව, ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවලට වැඩි වැඩියෙන් චීන මැදිහත්වීම ගැන සැක පහළ කරන බව එහි වැඩිදුරටත් සඳහන්.

හම්බන්තොට වරාය මෙන්, කොළඹ වරාය නගරය ද චීනයට හෝ චීන සමාගමකට පූර්ණ වශයෙන් අයත් නොවන නමුත් විකුණාගත හැකි ගොඩකරගත් හෙක්ටයාර 178 (අක්කර 440) භූමි ප්‍රමාණයෙන් සියයට 65 ක් චීන රජයට අයත් සමාගමක් විසින් වසර 99 ක බදු පදනම මත පවත්වාගෙන යනු ලබනවා.

“ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රික කතාවේ කේන්ද්‍රස්ථානයේ ශ්‍රී ලංකාවේ භූමිකාව සහ හම්බන්තොට වරාය සැලකිල්ලට ගත් විට, ශ්‍රීලාංකිකයන් මෙවැනි දීප්තිමත් ව්‍යාපෘති ගැන සැකයෙන් සිටීම පුදුමයක් නොවේ – ඔවුන්ට හොඳ හේතුවක් තිබේ.”

හොංකොං විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහකාර ‘මහාචාර්ය ඔස්ටින් ස්ට්‍රේන්ජ්’ අල් ජසීරා වෙත පවසා තිබුණා.

මෙම ව්‍යාපෘතිය මගින් නව රැකියා 143,375 ක් සහ වසරකට ඩොලර් බිලියන 13.8 ක අමතර ආර්ථික වටිනාකමක් ඇති කරන බව CHEC Port City Colombo පෙන්වා දෙනවා.

මෙම ව්‍යාපෘතියේදී බලශක්ති, ජලය සහ අපද්‍රව්‍ය හා අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම නිසි ලෙස සැලකිල්ලට ගෙන නොමැති බව අල්ජසීරා වාර්තාව දක්වා තිබුණේ සංවර්ධන අධීක්‍ෂණය භාර රජයේ ආයතනය වන වරාය නගර කොමිසමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ තිරසාර විශේෂඥයෙකු වන ‘විධුර රලපනාවේ’ උපුටා දක්වමින්.

වරාය නගරය සහ කොළඹ අතර ප්‍රධාන පොදු ප්‍රවාහන සබැඳිය ලෙස ක්‍රියා කළ හැකි ඩොලර් බිලියන 1.5 ක ජපානයේ අරමුදල් සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 දී අවලංගු කළ බව ද රලපනාවේ පෙන්වා දී තිබෙනවා.

“2021 දී, මම (වරාය නගර) කොමිසමට කියා සිටියේ පවතින තිරසාර සැලැස්ම ප්‍රමාණවත් නොවන බවයි – තිරසාරභාවය පිළිබඳ බරපතල අවධානයක් නොතිබුණි, එය ‘කේක් මත ඇති අයිසිං’ ලෙස සලකනු ලැබීය,” විධුර රලපනාවේ අල්ජසීරා වෙත පවසා තිබුණා.

වරාය නගර කොමිසමේ ප්‍රකාශකයෙක් එම ප්‍රකාශයන් නිවැරදි නොව බව පවසා ප්‍රතික්ෂේප කර ඇති අතර එහි වෙබ්අඩවිය උපුටා දක්වමින් අල්ජසීරා පවසන්නේ කොළඹ වරාය නගරය පරිසරය සුරැකීම අරමුණු කරගත් තිරසාර මුලපිරීම් සමගින් බලශක්තිය, ජලය සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන බවයි.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ගිවිසුමට අනුව කොළඹ වරාය නගරයේ ජල සැපයුම, බලශක්ති සැපයුම, අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ පොදු ප්‍රවාහනය සඳහා රජය වගකිව යුතුයි.

සමහර පරිසර ක්‍රියාකාරීන් සහ පුරවැසියන් ප්‍රශ්න කරන්නේ කොළඹ අධික ආතති සහගත පොදු යටිතල පහසුකම් සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ පහළ යෑම සැලකිල්ලට ගැනීමේදී කොළඹ වරාය නගරය සඳහා අවශ්‍ය සැලකිය යුතු ආයෝජනයක් සඳහා බලධාරීන්ට සැලැස්මක් හෝ අයවැයක් තිබේද යන්නයි.

1992 සහ 2001 වර්ෂවල දැඩි නියඟයකට මුහුණ දුන් රටක මෙම ව්‍යාපෘතිය හේතුවෙන් දෛනික ජල ඉල්ලුම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක 15 කට සමාන ඝන මීටර් 39,000 කින් වැඩි කරනු ඇතැයි වරාය නගර ව්‍යාපෘතිය ඇස්තමේන්තු කර තිබෙනවා.

වැඩිවන ඉල්ලුම රාජ්‍ය ජල අධිකාරිය විසින් සපුරාලනු ලබන අතර අපජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමට තම පුද්ගලික හවුල්කරුවන් දිරිමත් කරන බව වරාය නගර ව්‍යාපෘති සමාගම පවසනවා.

CHEC Port City Colombo විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලාගාරයක් ස්ථාපිත කිරීම ‘කළ නොහැකි’ බව ද තර්ක කර ඇති නමුත් “වඩාත්ම ශක්‍ය වන්නේ නිශ්චිතවම ගැලපෙන පුනර්ජනනීය හෝ සංයුක්ත බලාගාරය කුමක්ද යන්න සොයා බැලීම සඳහා සියලු මාර්ග ගවේෂණය කරමින් සිටී” යැයි අල්ජසීරා වාර්තාවේ දැක්වෙනවා.

CHEC Port City Colombo විසින් PCC දැනටමත් ‘ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි සැලකිය යුතු උනන්දුවක්’ ජනනය කර ඇති බවට තර්ක කර ඇති අතර, කාබන් විමෝචනය, අපද්‍රව්‍ය අවම කිරීම සඳහා අභ්‍යන්තර තිරසාර ඉලක්ක සපුරාලීමට ඉඩ නොදෙන්නේ නම් විදේශීය සමාගම් ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමෙන් වළක්වනු ඇතැයි විදුර රලපනාවේ පෙන්වා දෙනවා ෴


වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අඟහරුවාදා පැය 12 ක ජල කප්පාදුවක්

(18.02.2023 – 11:01 +0530 – hirunews.lk/sinhala)

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 21 වනදා පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කැළණිය – ප්‍රංශවත්ත පාර සහ සරසවි මාවතේ සිදු කරන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනු යි මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ.

ඒ අනුව වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවළපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදූව සහ මරදාන පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නවපාර, පාදිලියාතුඩුව පාර මෙන්ම දළුපිටිය පාර සිට අක්බාර් ටවුන් පාලම දක්වා ද ජල සැපයුම අත්හිටුවනු බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴


මිරිස්ස මුහුදේ නිල් තල්මසුන්ගේ අඩු වීමක්

(18.02.2023 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මිරිස්ස මුහුදු සීමාවේ මේ වන විට නිල් තල්මස් ගහණයේ අඩුවක් දක්නට ලැබෙන බව මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරැකීමේ සංගමය පවසනවා.

මීට පෙර ගාල්ල – තංගල්ල – මිරිස්ස මුහුදු සීමාවේ නිල් තල්මසුන් බහුලව දක්නට ලැබුණු බවයි එම සංගමය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

විවිධ පුද්ගලයින් නීත්‍යානුකූල නොවන අයුරින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස් තල්මසුන්ට හිංසා වන අයුරින් කිමිදීම, ඡායාරූප ගැනීම ආදී කටයුතු මෙම තත්වයට හේතු වී තිබෙනවා.

ඇතැම් අවස්ථාවන්වලදී නිල් තල්මසුන් මුහුදු සීමාවේ දක්නට නොලැබීමත්, ඉන්ධන වියදම් හා සැලකීමේදී විදේශිකයින්ට නැවත මුදල් ලබාදීමට නොහැකි නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි ඇති බවයි මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරැකීමේ සංගමයේ සභාපති රංගන මනෝජ් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දකුණු පළාත් වනජිවී සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ යම් සංචාරකයින් පිරිසක් නිල් තල්මසුන් නැරඹීමට ගොස් සත්ත්වයින්ට හිංසා වන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, කුඩා බෝට්ටු මගින් සංචාරකයින් යොදවා එවැනි කටයුතු සිදු කරන බෝට්ටු යොදවන පිරිස් පිළිබද සොයා බැලීම සදහා වෙරළාරක්ෂක නිලධාරින් ද ඒ පිළිබඳව දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, පසුගියදා 13 දෙනෙකුගෙන් යුත් ‘ෆයිලට් වේල්ස්’ නම් තල්මස් විශේෂයක් කන්දකුලිය – කුඩාව වෙරළ තීරයට පැමිණ තිබුණා.

පසු ව ධීවරයින් හා වනජීවි නිලධාරින්, නාවික සහ පොලිස් කණ්ඩායම් එම තල්මසුන් නැවත මහ මුහුදට රැගෙන යාමට කටයුතු කළා.

එහි දී තල්මසුන් තුන්දෙනෙකු (3) ද මිය ගොස් තිබුණා ෴


රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා ලංකාවට ඇවිත් ගියේ ඇයි? හෙලිකොප්ටරයේ වීරසුමන අහයි (18.02.2023)

+

+


ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාවක්

(18.02.2023 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ජාතික වැවිලි කළමණාකරණ ආයතනය විසින් වැවිලි බෝග තාක්ෂණ සහ කළමනාකරණය පිළිබද තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම උපාධිය ශ්‍රී ලංකා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී පිරිනැමෙන අතර, උසස් පෙළ සිසුන්ට මෙන්ම වෙනත් ඩිප්ලෝමාධාරීන් ඇතුලු කණ්ඩායම් සඳහා විශේෂයෙන් සංවර්ධනය කර ඇති බව සඳහන්.

එමෙන්ම සම්මන්ත්‍රණ, වැඩමුළු, විභාග මෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන සදහා පර්යේෂණ හා උපදේශ සේවා සැපයීම් මෙන්ම විදේශ සිසුන් සදහා පුහුණු වැඩමුළු ද පවත්වන බවයි ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සදහන් කළේ.

2008 අංක 31 දරණ පනත යටතේ විධිමත් ලෙස සංස්ථාපිත විශ්වවිද්‍යාලයක් වන අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අයදුම්කරුවන්ට ලියාපදිංචි විය හැකියි.

1979 අංක 45 දරණ පනත මගින් ජාතික වැවිලි කළමණාකරණ ආයතනය ස්ථාපිත කර ඇති අතර වැවිලි ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්ට අධ්‍යාපන, පුහුණුව හා උපදේශන ලබාදීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය ජාතික දළ දේශීය ආදායමට විශාල දායකත්වයක් දරණ ක්ෂේත්‍රයක් වන අතර මිලියනයකට වැඩි පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *