උසස් පෙළට 345,250 ක් – සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්

උසස් පෙළට 345,250 ක් – සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්


උසස් පෙළට 345,250 ක් – සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්

(03.11.2025 – hirunews.lk)

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 3,45,250 ක (තුන්ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය පනහක) සංඛ්‍යාවක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය මේ මස 10 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම කාලසීමාව තුළ රට පුරා මධ්‍යස්ථාන 2362 ක විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ප්‍රශ්න පත්‍රවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, පසුගිය වසරේ (2024) ආකාරයටම විභාගය පැවැත්වෙන බවත් විභාග කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා සියලු අවශ්‍යතා සපුරා ඇති බවත් දෙපාර්තමේතුව කියනවා.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නියෝග මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති පැවැත්වීම මෙන්ම ඒ ආශ්‍රිත සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා.

මෙම නියෝගය ක්‍රියාත්මක වීමත් සමඟ, උසස් පෙළ විභාගය සඳහා සිසුන් සූදානම් කිරීමේ අරමුණින් පවත්වනු ලබන උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම නීතියෙන් තහනම් වෙනවා.

තහනම් කරන ලද කටයුතුවලට අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හෝ බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් ද ඇතුළත් වෙනවා. මෙයට බැනර්, පෝස්ටර්, අත්පත්‍රිකා වැනි මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම විද්‍යුත් හෝ වෙනත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන සියලුම ප්‍රචාරණ කටයුතු අයත් වෙනවා.

මෙම තහනම විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාලසීමාව පුරාම බල පැවැත්වෙන අතර, නියෝග කඩ කරන්නන්ට එරෙහිව විභාග පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++

+


විනිසුරුවරුන් ඇතුළු 20 දෙනකුට අධිකරණ සේවා කොමිසමෙන් වැඩ තහනම්

(03.11.2025 – hirunews.lk)

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් විසි දෙනෙකු (20) ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

එහිදී, රාජකාරිවලින් ඉවත් කරන ලද මෙම පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඉවත් කළ නිලධාරීන් 20 දෙනාගෙන් සත් දෙනකුගේ සේවය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත්, අනෙක් නිලධාරීන්ට වැඩ තහනම, අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ වෙනත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන්.

මෙහිදී, මෙම පිරිස රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴


උසාවියට ගේන අතර පොලිසිය මාංචු ගලවලා : සැකකරු පැන ගිහින්

(03.11.2025 – hirunews.lk)

මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලිස් අත්අඩංගුවේ සිටි හෙරොයින් සැකකරුවකු නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් හේතුවෙන් පලා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

පලා ගොස් ඇත්තේ ආර්. නිදූෂන් නැමැති සැකකරු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

රැඳවුම් නියෝග මත සිටි සැකකරු, එම නියෝග අවසන් වීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නිලධාරියෙකු භාරයේ මල්ලාකම් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

අධිකරණ භූමියෙන් පිටතදී, සැකකරු භාරව සිටි නිලධාරියා ඔහුගේ අත් විලංගු ගලවා ඇති අතර, අධිකරණ කටයුතු භාර නිලධාරියා වන පොලිස් කොස්තාපල්වරයාට කිසිදු ලිඛිත සටහනක් හෝ නිසි භාරදීමක් නොමැතිව සැකකරු භාර දී තිබෙනවා.

එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා.

මෙම බරපතළ විෂමාචාර ක්‍රියාව සහ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන්, සැකකරු නිසි අවධානයකින් තොරව භාරගත් නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරි වැඩ තහනමට ලක්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරනවා.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බව චුන්නාකම් පොලිසිය පවසනවා ෴


මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම හේතුවෙන් කඩවත – බණ්ඩාරවත්ත ගමනාගමනයට සීමා

(03.11.2025 – hirunews.lk)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ පාලමක් ඉදි කිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා ඇති බවයි.

මෙම ඉදිකිරීම් ඊයේ (01) දින සිට ලබන වසරේ (2026) ජනවාරි මස 31 වැනිදා දක්වා සිදුකෙරනවා.

මෙහි පළමු අදියරේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් (2) යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් (1) මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබන බවද පොලිසිය සඳහන් කරනවා.

දෙවැනි (2) අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුළ මංතීරු දෙකකින් (2) යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් (1) මංතීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබන බව ද පොලිසිය සඳහන් කරනවා.

එබැවින් එක් (1) මංතීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුළ එම මාර්ගයේ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ ඇතැයි ද පොලිස් මූලස්ථානය පවසනවා.

එබැවින් එහි ඉදිකිරීම් සිදු කරනු ලබන කාලය තුළ කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියැදුරන් හැකිතාක් ‘කඩවත පිටත වටරවුම් මාර්ගය’ භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


CGR හිටපු සාමාන්‍යාධිකාරිවරයාට සහ හිටපු සංස්ථා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට ඇප

(03.11.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුමතිපාල මහානාම අබේවික්‍රම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක රු. ලක්‍ෂ දහය (10) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (03) නියම කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම වුවා.

සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා (2) අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

වැඩ තහනමට ලක් කර තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරෙක් වන අයි.එල්.කේ. දිසානායක නමැත්තෙකු තවදුරටත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වසර හතරක (4) පමණ කාලයක් සේවයේ යෙදවීමට කටයුතු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් එසේ ඇප මත මුදා හැරියා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, ගනේමුල්ල සහ මිරීගම යන ප්‍රදේශවල දුම්රිය අනතුරු 2 ක් සිදු කර රජයට රුපියල් ලක්‍ෂ 89 ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දිසානායක නමැති රියදුරාගේ වැඩ තහනම් කර ඇති බවයි.

එම රියදුරුගේ රාජකාරී කටයුතු එසේ තහනම් කර තිබියදී සැකකාර සාමාන්‍යාධිකාරීවරයා විසින් ව්‍යාජ නමක් ඇතුලත් කර නීත්‍යනුකූල නොවන ආකාරයෙන් එම රියදුරුව වසර හතරකට (4) අධික කාලයක් සේවයෙහි රඳවා තබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී කරුණු අනාවරණය වීමෙන් අනතුරුව සැකකාර සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද විමර්ශන නිලධාරීන් කරුණු දැක්වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ කියා සිටියේ වැඩ තහනමට ලක්කර ඇති රියදුරු 2008 වර්ෂයේ ගනේමුල්ල ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් හා 2017 ප්‍රදේශයේ මිරීගම ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවයි.

තවද වෙනත් දුම්රිය අනතුරු සම්බන්ධයෙන් චෝදනා පත්‍ර 10 ක් ගොනු කර ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණට දැන්වුවා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට ආසන්න පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව එවකට එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු රු. ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබුණා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක (රුපියල් දහසය ලක්ෂ හැටහත් දහස් දෙසිය අනූ හතරයි ශත අසූ හතක) පාඩුවක් සිදුකර ඇතැයි සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ‍නඟා තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරියා ෴


ගණේමුල්ල සංජීව ඝාතනය පස් පුද්ගල (5) සැලැස්මක්

(03.11.2025 – hirunews.lk)

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය පුද්ගලයින් පස් දෙනෙකුගේ (5) සැලසුමකට අනුව සිදුකර ඇතැයි දැනට රැඳවුම් භාරයේ සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පවසා තිබෙනවා.

පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී ගනේමුල්ල සංජීව වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

පසුව වෙඩි තැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඊට අනුබල දුන් ‘ඉෂාරා සෙව්වන්දි’ ද නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය ‘කෙහෙල්බද්ද පද්මේ’ විසින් මෙහෙයවා ඇති බවට සියලු තොරතුරු අනාවරණය වී ඇති අතර ‘ඉෂාරා සෙව්වන්දි’ ද මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’, ‘දරූන්’, ‘ඉෂාරා සෙව්වන්දි’ සහ වෙඩික්කරු මෙම සැලසුමේ ප්‍රධාන කොටස්කරුවන් වනවා.

එමෙන්ම, ‘ඉෂාරා සෙව්වන්දි’ගේ මවගේ අවමඟුල වීඩියෝගත කර වට්ස්ඇප් ඔස්සේ යැවූ ‘ඉෂාරා’ගේ මාමා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ ෴


හොරණ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ඝාතනයකට සම්බන්ධ අයෙක් – පොලිසිය

(03.11.2025 – hirunews.lk)

හොරණ, මීමනපලාන, සිරිල්ටන්වත්ත, අක්කර 12 ප්‍රදේශයේ ඊයේ (02) දා රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු වන බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ගල්හේනගේ දමිත් පුෂ්ප කුමාර නමැති 45 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු මීවනපලාන, සිරිල්ටන් වත්ත, ප්‍රජා ශාලාව අසල පදිංචිකරුවකු වන අතර කුලී රැකියාවල නියුතු අයෙක්.
මෙම මරණකරු මීට පෙර කපා කොටා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන බවද පොලිසිය පවසනවා.

මෙම වෙඩිතැබීමට අදාලව පෙලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයා සැකකරු ගේ ඥාති කාන්තාවක ඝාතනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මරණකරු එම ඝාතන සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට පසුගිය අගෝස්තු 21 දා ඇප ලබා පැමිණ ඇති බවත් එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවත් කරුණු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මරණකරු, ඊයේ (02) රාත්‍රී 10:23 ට පමණ සිය බිරිඳ සමඟ වෙළඳ සැලකට ගොස් ආපසු පා ගමනින් පැමිණෙමින් සිටියදී මඟ රැක සිටි වෙඩික්කරු බෝර 12 ගිනි අවියකින් වෙඩි තබා තිබූ බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි පහරින් මරණකරු බිම වැටී ඇති අතර, පසුව බිම වැටුණු මරණකරුට තවත් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති බවත් එහිදී ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට දැනුම් දීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබුණා.

වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවිය ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හොරණ සහකාර පොලිස් අධිකාරී බි. ඒ. ඒකනායකගේ අධීක්ෂණයෙන් හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා ෴


ප්‍රමුඛ ඉදිකිරීම් සමාගම් හතරකට ටෙන්ඩර් තහනමක්

(03.11.2025 – hirunews.lk)

මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හතර දෙනෙකුට (4) මාස 6 ත් වසර 3 ත් අතර කාලයක් සඳහා ටෙන්ඩර් ඉදිරිපත්කිරීම තහනම් කරමින් අසාදු ලේඛනගත කර තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින්.

මෙවැනි ක්‍රියාමාර්ගයක් මහාමාර්ග අංශය යටතේ ක්‍රියාත්මක කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙසයි සඳහන්.

අදාළ තහනම යටතේ මෙම සමාගම් හතරට (4) අමාත්‍යාංශයේ විෂය පථය තුළ කිසිදු නව කොන්ත්‍රාත්තුවක් හෝ උප කොන්ත්‍රාත්තුවක් සඳහා එළඹීම ද තහනම් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ එක් කොටසකට අදාළව ලාභදායී කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා මෙම සමාගම් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් ඒ හේතුව මත මෙම තහනම සිදුකර ඇති බවද සඳහන්.

මෙම තහනම පනවා ඇත්තේ 2024 දී ප්‍රකාශයට පත් කර, මේ වසරේ (2025) ජනවාරි මාසයේ සිට බලාත්මක වූ නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මතයි.

වංචනික හා දූෂිත ක්‍රියාවන් අවම කිරීම මෙම නව මාර්ගෝපදේශවල අරමුණ වනවා.

මෙසේ අසාදු ලේඛනගත කළ සමාගම් හතරම (4), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් පිරිනමනු ලබන ඉහළම වර්ගීකරණය වන CS2 ශ්‍රේණියට අයත් වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් අදාළ සමාගම්වලට මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකි බව වාර්තා වනවා ෴


ගම්මන්පිල අදත් (03) මුලු රට කලඹවයි – පොලිස්පතිතුමනි කැතයි – හිරිකිතයි – ලැජ්ජයි (03.11.2025)

+

LIVE | Derana 360 | නීතිඥ උදය ගම්මන්පිල – 03.11.2025

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *