රු. කෝටියක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ ‘CID රංගනයේ’ යෙදුණු තිදෙනෙක් (3) අත්අඩංගුවට

රු. කෝටියක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ ‘CID රංගනයේ’ යෙදුණු තිදෙනෙක් (3) අත්අඩංගුවට


රු. කෝටියක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ ‘CID රංගනයේ’ යෙදුණු තිදෙනෙක් (3) අත්අඩංගුවට

(04.11.2025 – hirunews.lk)

රහස් පොලිසියේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පොලිස් වසම් 16 ක සැරිසරා කොල්ලකෑම් 30 ක් සිදුකර රුපියල් කෝටියකට අධික වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට වසරකට පමණ ඉහත දි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ඇතුළු වරෙන්තු තුනක් (3) නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

සෙසු සැකකරුවන් දෙදෙනා (2) අතර මෙම අපරාධ රැසකට සෘජුවම ආධාර අනුබල දී මෝටර් රථය පැදවූ පුද්ගලයා සහ එම රන් භාණ්ඩවලින් අපරාධ 17 කට අදාල රන්භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද වන බවයි පොලිසියය සඳහන් කරන්නේ.

එම සැකකරුවන් සමඟ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 6100 ක් හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 3300 ක් එම වංචාව සඳහා යොදාගත් සුඛෝභෝගී මෝටර් රථයක් හා කොල්ලකෑ රන් භාණ්ඩවලින් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් මස 25 වෙනිදින අතුරුගිරිය මැද මාවත ප්‍රදේශයේදී මාවනැල්ල ප්‍රදේශයේ කාර්මිකයෙක් වෙත පැමිණ ඇති ප්‍රධාන සැකකරු තමන් රහස් පොලිසියේ නිලධාරියකු බව පවසමින් යම් හැඳුනුම්පතක් පෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් පොලිසියට යමු යැයි පවසා ඔහුව රැගෙන ගිය බවටත් තොරතුරු හෙළි ව තිබුණා.

පසුව, අතුරුගිරිය පොලිසිය පසුකර යද්දි ‘පොලිසියට ගෙනිච්චොත් ගහලා ප්‍රශ්න කරන්නේ, අල්ලන් ඉන්න අනිත් අය ළඟට යන්නේ. රත්තරන් බඩු තියනවා නම් පර්ස් එකට දාගන්න’ යයි සැකකරු එම පුද්ගලයාට පවසා තිබූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව එම පුද්ගලයා පැළඳී රුපියල් 210,000 ක් වටිනා රන් මාලය ගලවා මුදල් පසුම්බියට දමා ගැනීමෙන් අනතුරුව සැකකරු මුදල් පසුම්බිය ඔහු වෙත ලබාගෙන හැඳුනුම්පත පරික්ෂා කර ‘පොලිසියේ අනිත් අය එන්න කලින් මෙතනින් පලයන්’ යැයි පවසා මුදල් පසුම්බිය එම පුද්ගලයා අතට ලබා දී එම ස්ථානයෙන් පලවා හැර තිබූ බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධියට අදාළව සීසීටිවි දර්ශන අනුව පරීක්ෂණ පවත්වා අදාල සැකකරුවන් දෙදෙනා (2) අතුරුගිරිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව ද පොලිසිය සඳහන් කරනවා.

ප්‍රධාන සැකකරු අතුරුගිරිය, කළුතර, ගම්පහ, මහනුවර, මහභාගේ, නවගමුව, කිරිඳිවැල , මහරගම, අවිස්සාවේල්ල, කඩුගන්නාව, යක්කල, වත්තල, තලංගම, නිට්ටඹුව, කුරුඳුවත්ත හා වීරගුල යන පොලිස් වසම් වලදී ඒ ආකාරයෙන් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන් සතු රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඒ අනුව සැකකරු එලෙස සිදුකළ අපරාධ 17 කට අදාළ රන් භාණ්ඩ මරදාන මාලිගාකන්ද ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසලකට හා බොරැල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසලකට විකුණූ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

සැකකරුගේ එම ප්‍රකාශ අනුව බොරැල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසලින් එම භාණ්ඩ ‍පොලිස් භාරයට ගත් බවත් මරදාන මාලිගාකන්ද ප්‍රදේශයේ රන් අලවිසලේ රන්භාන්ඩ මිලදී ගන්නා විධායක නිලධාරීවරයා එම භාණ්ඩ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසනවා.

මෙම කොල්ලකෑමේ ප්‍රධාන සැකකරු මල්වතු හිරිපිටිය වතුරුගම ඉඳුරුගල්ල පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු වන අතර මෝටර් රථය පැදවූ පුද්ගලයා රඳාවාන මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්. රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා රාජගිරිය ඔබේසේකරපුර පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

ප්‍රධාන සැකකරු සහ අනෙක් පුද්ගලයා වන රියැදුරු තදින් මත්ද්‍රවවලට ඇබ්බැහිවූවන් බවට හෙළිව ඇතැයි ද පොලිසිය පවසනවා ෴


වැලිගෙපොල ප්‍රදේශයේ කඩ පෙළක ගින්නක්

(04.11.2025 – hirunews.lk)

බලංගොඩ, වැලිගෙපොල ප්‍රදේශයේ කඩ පෙලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හේතුවක් අනාවරණය වී නැති අතර මේ වනවිට ගින්න නිවීම සඳහා පියවර ගනිමින් සිටිනවා ෴


ආදායම් බදු සඳහා ලියාපදිංචි තැනැත්තන්ට විශේෂ දැනුම්දීමක්

(04.11.2025 – hirunews.lk)

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 වර්ෂවලට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

වැඩි විස්තර 1944 අංකයෙන් හෝ
https://www.ird.gov.lk/SitePages/Default.aspx වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ ෴


ධීවර සංස්ථා හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනාට (4) ඇප

(04.11.2025 – hirunews.lk)

දුෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු එහි නිලධාරින් සිව් දෙනා (4) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා. ඒ, එක් (1) සැකකරුවකුට රු. ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද (04) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

මෙලෙස ඇප මත මුදා හැර තිබුණේ ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් කළුවඩන වලව්වේ ලලිත් දවුලගල, එම සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයකු වූ රත්නවීර පටබැඳිගේ චන්දන ක්‍රිෂාන්ත, එහි සැපයුම් කළමණාකරුවකු වු කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර සහ එම සංස්ථාවේ මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩ බලන මුදල් කළමණාකරු) වු ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අයවලුන්ටයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ‘වැකුම් ඇසුරුම් යන්ත්‍රයක්’ මිලට ගෙන රුපියල් ලක්ෂ 58 කට පාඩුවක් රජයට සිදුකර අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද මෙම සැකකරුවන් සිදුකර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ලංකා ධීවර සංස්ථාවට ඉකුත් 2020 වර්ෂයේ දී පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ‘වැකුම් ඇසුරුම් යන්ත්‍රයක්’ මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116 ක පාඩුවක් සිදු කර දුෂණයක් කර ඇතැයි මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිළදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන ‘යුරෝමෙට් ෆුඩ්ස්ටෙක් පුද්ගලික ආයතනය’ වෙත ගෙවිය යුතුව තිබූ රු 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන් අල්ලස් වශයෙන් රු. 100,000.00 ක මුදලක් තම පුද්ගලික ගිණුමට බැර කරවා ගැනීම තුළින් තුටු පඬුරක් ඉල්ලීම හා තුටු පඬුර භාරගැනීම යන චෝදනාවට අදාළව ද කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර (සැපයුම් කළමණාකරු) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැර නඩුව කල් තැබුවා ෴


ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වා අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු රිමාන්ඩ්

(04.11.2025 – hirunews.lk)

ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වා අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් නිලධාරින් නොමඟ යැවීමට කටයුතු කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘චානක අනුරුද්ධ බණ්ඩාර’ නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අල්ලස් කොමිසම විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සැකකාර පුද්ගලයා ධාවනය කළ මෝටර් රථයක් පසුගිය දිනක පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලක් අසල දී අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ තමන් ‘අල්ලස් කොමිසමේ නිලධාරියෙකු’ බවට පවසමින් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

අල්ලස් කොමිසමේ සේවයට අමතරව පෞද්ගලික සහල් නිෂ්පාදන ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙක් වශයෙන් සේවය කරන තමන් පොලොන්නරුව ප්‍රදේශයේ සිදු කරන දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පැමිණි බව සැකකාර පුද්ගලයා එම අවස්ථාවේදී එම නිලධාරීන්ට පවසා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳ සැක සිතු පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබූ හැඳුනුම්පත පොලිස් භාරයට ගෙන අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට තහවුරු කර ගැනීමෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්නා.

සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සැකකරු අල්ලසක් ලබා නොතිබීම හේතුවෙන් ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, ව්‍යාජව අල්ලස් කොමිසමේ නමින් සාදා ඇති මෙම හැඳුනුම්පත සම්බන්ධව සහ එය භාවිතා කර තවත් මෙවැනි ක්‍රියා කර තිබේ ද යන්න ඇතුලු සියලු කරුණු ඇතුලත් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු ඉකුත් 24 පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු අද දක්වා රක්ෂිත බන්ධනාගාගත කර තිබුණා ෴


චරිත රත්වත්තට ඇප

(04.11.2025 – hirunews.lk)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උප‌දේශකයකු වශයෙන් සිටියදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කර රජයට රු. කෝටි 9 ක පාඩුවක් කළැයි කියන‍ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජයම්පති චරිත රත්වත්ත’ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (04) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුට රු. ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2 ක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කළා.

පස්වරු 03:15 ට අධිකරණ පරිශ්‍රය තුළදි විදුලිය විසන්ධි වු අතර එම නිසා නඩුව මහේස්ත්‍රාත්වරයා විසින් පස්වරු 04:33 ට පමණ නිලමැදිරියේදී කැඳවනු ලැබුවා.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව හා කිසිදු අවශ්‍යතාවකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 09 කට අධික මුදලක් වැය කර, 2015 වසරේදී තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

අල්ලස් කොමිසම බී-වාර්තාවක් ගොනු කරමින් සඳහන් කර සිටියේ, සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව ‘කොකුන් වී ගබඩා’ (තාවකාලික ගබඩා) 50 ක් ආනයනය කිරීම මගින් සංස්ථාවට එනම් රජයට රු. 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්ව වෙත සලසාදීම යන චෝදනාවන් හේතුවෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

2015 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලය තුළදී, චරිත රත්වත්ත ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙසද කටයුතු කර තිබෙන බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ‘හුසෙයින් අහමඩ් බහිලා’ පසුගිය සිකුරාදා ඇප මත මුදා හැර තිබුණා.

නඩුව ලබන ජනවාරි 23 වැනිදා නැවත කැඳවීමට නියමිතයි ෴


‘ඉන්ෆ්ලුවන්සා’ ගැන දැනුවත් කිරීමක්

(04.11.2025 – hirunews.lk)

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෛරස සහ ‘ඉන්ෆ්ලුවන්සා’ රෝග තත්ත්වය සමාජයේ පැතිර යාම හේතුවෙන් මේ දිනවල බොහෝ දෙනෙක්
පීඩා විඳිනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ යටතේ සිටින පුද්ගලයන් වඩා සැලකිලිමත් විය යුතු බවයි.

මේ පිළිබඳව අදහස් පළකළ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ චන්න පෙරේරා පවසා සිටියේ මෙවැනි අදහසක් :

“ඉන්ෆ්ලුවන්සා A සහ B යනුවෙන් වෛරස් වර්ග 2 ක් තිබෙනවා. වර්ෂයේ මැද භාගයේදී සහ අවසාන භාගයේදී රෝගීන්ගේ වැඩි වීමක් තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණවල වැඩි වීමක් තිබෙනවා. පැරසිටමෝල් දුන්නත් උණ සමනය නොවෙන්න පුළුවන්. මෙම තත්ත්වය දින 2-3 ක් අතර පවතින්න පුළුවන්. තද හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම වැනි තත්ත්ව ඇතිවිය හැකියි. මෙයට ලක්විය හැකි අවදානම් කාණ්ඩ :

  • අවුරුදු 1 කට වඩා කුඩා දරුවන්
  • අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්
  • ගර්භණී කාන්තාවන්
  • නිධන්ගත රෝග ඇති අය

උණ අඩු නොවුණත් වැඩි ඖෂධ මාත්‍රා දීම සුදුසු නැහැ. ඉතා තද උණ තිබෙනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න” ෴


‘කුඩු සලිඳු’ගේ මත් ජාවාරමේ දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(04.11.2025 – hirunews.lk)

විදේශ රටකට පලාගොස් සිටින ප්‍රබල පාතාල අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සලිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සලිඳු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය’ විසින්.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තාව සන්තකයේ තිබී ‘හෙරොයින්’ ග්‍රෑම් 301 යි මිලිග්‍රෑම් 580 ක්, ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 250 යි මිලිග්‍රෑම් 490 ක් සහ රුපියල් 131,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව 36 හැවිරිදි බණ්ඩාරගම, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ‘ප්‍රමිතා සුභාෂිණී’ නොහොත් ‘පලාතොට මධූ’ නමැත්තිය බවයි වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේ.

එමෙන්ම, මෙම කාන්තාවගේ සැමියා ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලීමේ වරදට මේ වනවිට බන්ධනාගාර ගතව සිටිනවා.

මෙහිදී අත්අඩංගුවට ගැණුනු පිරිමියා සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 740 ක් සොයාගෙන ඇති අතර ඔහු දියගම, ගල්පාත ප්‍රදේශයේ පදිංචි ‘ලහිරු කුමාර’ හෙවත් ‘චූටි’ නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය’ කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *