‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335 ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335 ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට


‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335 ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

(02.11.2025 – news.navy.lk)

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය’ සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර තුල ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 250 ක‍ට අධික තොගයක් සහ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 85 කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, ‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’ යන දැක්ම යථාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දිග මුහුදේ නාවික හමුදා දිගදුර මෙහෙයුම් නෞකාවක් යොදවා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් විෂ මත්ද්‍රව්‍ය අඩංගු උර දහසයක් (16) සමඟ සැකකරුවන් හයදෙනෙකු (06) සමඟ නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මනා සංවිධානයකින් යුතුව තීව්‍ර ලෙස සිදුකරන බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට එම කටයුතු වලින් ඉවත්වන ලෙස අවධාරනය කෙරිණි.

එහිදි, වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා, මුහුදු සහ ගුවන් මාර්ගයෙන් දිවයිනට මත්ද්‍රව්‍ය පැමිණිම වැලැක්වීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, දේශීය හා විදේශීය ආයතන හා එක්ව නාවික හමුදාව අනෙකුත් සන්නද්ධ හමුදා පොලීසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මනා සැලැස්මක් සහිතව, සහයෝගීව සිදුකරන ඒකාබද්ධ තීව්‍ර මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් හමුවේ, මත්ද්‍රව්‍ය රටතුලට ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවත්, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් පවසන ලදි.

විශේෂයෙන් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රටතුලට පැමිණිම වැලැක් වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන විශේෂ දායකත්වය ඇගයූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය පිටු දැකීමේ ජාතික මෙහෙයුම සඳහා එක්වී දැයේ අනාගත පරපුර මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත තොරතුරු ලබා දෙමින් සහය වන ලෙස මහජනතාව වෙතින් ඉල්ලීමක් සිදුකෙරිණි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සිදුකරන කාර්යය භාරය විශේෂ ඇගයීමට ලක්කල එතුමා, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මහජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය වෙත සුවිශේෂ වගකිමක් පැවරෙන බවත් එහිදී වැඩි දුරටත් පවසන ලදි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාව, ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 250 ක‍ට අධික තොගය සහ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 85 කට අධික තොගය සමඟ සැකකරුවන් හය දෙනා (06) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

+++

දික්ඕවිටට ගෙනා මත්ද්‍රව්‍ය බෝට්ටුවේ හිමිකරු අල්ලයි

(02.11.2025 – hirunews.lk)

දික්ඕවිට වරායට රැගෙන ආ ‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාවේ හිමිකරු බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

+


සුළං පෙත්තක් කළ හරියක්

(02.11.2025 – hirunews.lk)

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයට රැගෙන යෑමට ත්‍රිකුණාමල වරායේ සිට ප්‍රවාහනය කළ මීටර 76 ක දිගින් යුත් සුළං පෙත්තක් රැගත් ස්කැමල් වර්ගයේ ලොරියක් අද (02) පස්වරුවේ වරාය පිවිසුම් දොරටුව අසලදී පෙරළී යාමෙන් වරායේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවූ බව වරාය අධිකාරිය පවසනවා.

දිගින් මීටර 76 වන පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිත මෙම සුළං පෙත්තක බර ටොන් 36 ක් වන අතර ස්කැමල් වර්ගයේ ලොරියකින් ප්‍රවාහනය කිරීම සඳහා වරාය පිවිසුම් දොරටුව අසලට රැගෙන එද්දි ලොරියේ සමබරතාවය ගිලිහී යෑම නිසා මෙලෙස ලොරිය පෙරළී ගොස් තිබුණා.

මෙම සුළං පෙති චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර මෙලෙස ගොඩබාන ලද සුළං පෙති දහයෙන් (10) හතක් (07) මන්නාරමට ප්‍රවාහනය කර තිබුණා.

ඉතිරි ඒවායින් එකක් (01) ප්‍රවාහනය කරද්දී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෙහි ප්‍රවාහන කටයුතු පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන බවත් එක වරකට එක් ලොරියකින් ප්‍රවාහනය කළ හැක්කේ එක් සුළං පෙත්තක් බවත් වරාය සේවකයන් පවසනවා.

අනතුරෙන් ලොරි රථයේ රියැදුරු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හානිවූ ගොඩනැගිලි අතර බුදු මැදුර, ගබඩා සංකීර්ණයේ වහලයේ කොටසක් හා එහි ඉදිරිපස කොටස, වරායේ අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතියේ කොටසක් ද වන බවයි වාර්තා වන්නේ.

බුදු මැදුරේ වහලේ කඩා වැටී ඇතත් ‘බුද්ධ ප්‍රතිමා වහන්සේට කිසිදු අනතුරක් සිදුවී නැති’ බව වරාය සේවකයෝ පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමලය නේවාසික කළමනාකරු සරත් කුමාර සඳහන් කළේ, වරාය පරිශ්‍රයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් තමන්ට මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

+


පේදුරු තුඩුවෙන් රු. කෝටි 3 ක ‘කේ.ජී.’ එක්ක 4 ක් අත්අඩංගුවට

(02.11.2025 – hirunews.lk)

රටම එකට මෙහෙයුම යටතේ යාපනය, පේදුරු තුඩුව ප්‍රදේශයෙන් රුපියල් කෝටි තුනක් (3) පමණ වටිනා ‘කේරළ ගංජා’ කිලෝග්රෑම් 105 ක් සමඟ සැකකරුවන් සිව්දෙනකු (4) ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පේදුරු තුඩුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ රටම එකට මෙහෙයුම යටතේ පොලිස් නිලධාරීන් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී ‘කේරළ ගංජා’ තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

නාවික හමුදාවෙන් ලද තොරතුරත් මත පළමුව බෝට්ටු දෙකක් (2) සමඟ සැකකරුවන් තිදෙනකු (3) ‘කේරළ ගංජා’ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියට සම්බන්ධ තවත් සැකකාරියක (1) නිවසක ‘කේරළ ගංජා’ සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසනවා.

සැකකරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් අදාළ ගංජා තොගය ගෙනැවිත් මෙරට බෙදා හැරීමට සුදා නම් කොට තිබූ බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

ජාවාරමේ ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගංජා තොගය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴


වවුනියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන විවෘත තීන්දුවක්

(02.11.2025 – hirunews.lk)

වවුනියාව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු (1) වසර සිසුවකු හදිසියේ මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය පවසනවා.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක රැඳී සිටි 23 හැවිරිදි එම සිසුවා පෙරේදා (31) ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය කියනවා.

එසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, ජයසිරිපුර, ලිපිනයේ පදිංචි ටි.එම්.එස්. නිර්මාල් වික්‍රමදාස නමැති ශිෂ්‍යයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් මූලික විමර්ශනවලදී කිසිදු අපරාධමය ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී නොමැති බවත් පොලිසිය සඳහන් කරනවා.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී ඇතැයි ද පොලිසිය පවසනවා.

+


‘ඔන්මැක්ස් ඩී.ටී.’ රු. මිලියන 7 ක ක්‍රිප්ටෝ මුදල් රජයට පවරා ගන්න CIDයෙන් ඉල්ලීමක්

(02.11.2025 – hirunews.lk)

නීතිවිරෝධී පිරමිඩාකාර මූල්‍ය ආයතනයක් වන ‘ඔන්මැක්ස් ඩී.ටි’ ආයතනයේ හයවැනි (6) සැකකරුගේ ‘පුද්ගලික වොලට්’ 6 ක තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර සංසද ඒකකය භාරයට ගෙන තිබෙන රුපියල් මිලියන 7 කට අධික ‘ක්‍රිප්ටෝ මුදල්’ රජය භාරයට ගැනීමට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේදී යි.

තැන්පත්කරුවන් සතු රුපියල් මිලියන 7 කට අධික මුදලක් ‘ඔන්මැක්ස් ඩි.ටි.’ ආයතනයේ 6 වැනි සැකකරුගේ ‘පුද්ගලික වොලට්’ 6 තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර සංසද ඒකකය භාරයට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

එම මුදල් රජයට භාරදීම සඳහා මහ භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් ලබා දෙන ලෙසට එම හදිසි ප්‍රතිචාර සංසද ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කළා ෴


රජරට සරසවි ආචාර්ය වර්ජනය දිගටම

(02.11.2025 – hirunews.lk)

රජරට විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගියදා 30 වනදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කොට තිබෙනවා.

ඒ විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයෙකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇති ගැටලු‍කාරී තත්වයන් හේතුවෙන්.

ඊයේ (01) අනුරාධපුරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් එම සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීගනගේ කියා සිටියේ වත්මන් වැඩ බලන උපකුලපති සහ ලේඛකාධිකාරීතුමිය අත්තනෝමතික ලෙස උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක්ද පළ කර ඇති බවයි.

මෙම ගැටලු‍ව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතුබවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ෴


දිවුලපිටියේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

(02.11.2025 – hirunews.lk)

දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද (02) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ලොරි රථයක්ද ගිනි ඇවිලී ඇති බවයි සඳහන් වෙන්නේ.

කර්මාන්ත ශාලාවේ එක් කොටසක් සම්පූර්ණයෙන් ගිනි ඇවිලී ඇති බවයි දිවුලපිටිය පොලිසිය පවසන්නේ.

මෙම ගින්නට හේතුව අනාවරණය වී නොමැති බවත් ගින්නෙන් කිසිම පුද්ගලයෙකුට හානි වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා මීගමුව සහ ගම්පහ ගිනි නිවන රථ හා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ වතුර බවුසරයක්ද පැමිණ තිබෙනවා.

+


පරිසර හානි ගැන තොරතුරු දෙන්න ක්ෂණික දුරකථන අංකයක් – 1995

(02.11.2025 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1995 යන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.

එය හෙට (03) සිට ක්‍රියාත්මක බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *