පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි

පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි


පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි

(17.02.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (17) දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින පසුවට දැනුම්දෙන බවයි.

එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ සූදානමක් පවතින බව පවසමින් සමගි ජනබලවේගය මෙරට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ ඔවුන් අද (17) යුරෝපා සංගම් කාර්යාලය වෙත සංදේශයක් භාරදුන්නා.

එමෙන්ම ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (16) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට සංදේශයක්ද භාරදෙනු ලැබුවේ පළාත්පාලන ඡන්දය කල් දැමීමේ උත්සහයක් පවතින බව පවසමින්.

+


තෙල්, වරාය, ජල, විදුලි ඇතළු වෘත්තියවේදීන් මාර්තු 01 දා සංකේත වැඩවර්ජනයකට සැරසෙයි

(17.02.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි මෙන්ම වෘත්තියවේදීන් ලබන මස 01 වනදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෘත්තිය වේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ තෙල්, වරාය, විදුලි, ජල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ සාකච්ඡාවක් ඊයේ (16) කොළඹ දී පැවති අතර, සංකේත වැඩවර්ජනයට පෙර ලබන 22 වනදා ‘කළු සතියක්’ ප්‍රකාශයට පත් කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

සංකේත වැඩවර්ජනයට වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිතිද සහාය පළ කර තිබෙනවා.

+

+


විදුලි ගාස්තුව ගැන පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි

(17.02.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

විදුලි ගාස්තු වැඩිකිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබුණා.

විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා ධීවර ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් සිදුවන බවයි සමස්ත ලංකා ධීවර සම්මේලනයේ සභාපති රත්න ගමගේ කියා සිටියේ.

සංචාරක ක්ෂේත්‍රයටද මේ හරහා විශාල බලපෑමක් එල්ලවන බව අද පැවති මාධ්‍ය හමුවකදී පොළොන්නරුව සංචාරක සේවා සපයන්නගේ සංගමයේ ලේකම් කේ.පී ආරියදාස කියා සිටියා.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ලී බඩු කර්මාන්තයටද බලපෑම් එල්ල වී ඇති බවයි මොරටුවේ වඩු කර්මාන්තකරුවන් කියා සිටියේ.

මෙවැනි පසුබිමක ලක්ෂපාන විදුලි බලාගාරයට ජලය රැගෙන යන නලයක විශාල ජල කාන්දුවක් සිදුව තිබෙනවා.

විදුලි බලාගාරයට මීටර් 300 ක පමණ ඉහළින් පිහිටි ලක්ෂපාන 06 කණුව ප්‍රදේශයෙන් මෙම ජල කාන්දුව සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

අප මේ සම්බන්ධයෙන් ලක්ෂපාන විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අලුත්වැඩියාවක් අතරතුර අදාළ නලය බිඳවැටීමකට ලක්වී ඇති බවයි.

එය අලුත්වැඩියා කිරීමට හෙට (18) දිනයේදී කණ්ඩායමක් යැවීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

+

+

+++++++

වැඩි වූ විදුලි බිලට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා

(17.02.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අද (17) විරෝධතා පැවැත්වුණා.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීම හමුවේ කිරි, මස්, ඇතුළු සත්ත්ව නිෂ්පාදනවල මිල ද දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන බව ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසනවා.

මේ අතර, වැඩිවූ විදුලිබිලට විරෝධය පළ කරමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ සංවිධානය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ විදුලි බිල්පත් කිහිපයක් ද ගිනි තබමින්.

මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.

එම පෙත්සම විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගෙනුකර තිබුණා ෴


මාතර – වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය සිසුන් 3 දෙනෙකු අතුරුදන්

(17.02.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු (3) දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


2023 වසරේ ගත වූ කාලසීමාව තුළ සංචාරකයින් 157,000 ක් දිවයිනට

(17.02.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුල දිවයිනට සංචාරකයින් 157,230 ක් දිවයිනට පැමිණ තිබෙනවා.

එය පසුගිය වසරේ මෙම කාල සීමාව හා සැසදීමේ දී වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

ඒ අනුව, එම කාලසීමාවේදී දිනකට සංචාරකයින්ගේ පැමිණීමේ සාමාන්‍ය 3906 ක්.

රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබීම විශේෂත්වයක් ෴


මුදල් අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසමට එයි – ඡන්දෙට සල්ලි දෙන්න බෑ කියයි

(17.02.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබාදීමට ඇති බාධාව පිළිබඳව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ අද (17) කොමිසමට පැමිණි මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු පිරිස ඒ පිළිබඳව දැනුවත් කළ බවයි.

ඒ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් ලබාදීමට ඇති දුෂ්කරතා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන්කිරීමට රජය ගත් පරිපාලනමය තීන්දුව සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාර ලේකම්වරයා, මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.

එලෙස නම් කරන ලද අත්‍යවශ්‍ය සේවාවන්ට අමතරව වෙනත් කටයුත්තක් සඳහා මුදල් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට වන යෝජනාවක්ද පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සම්මත කරගෙන ඇති බව සඳහන්. ඒ අනුව මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් පරිපාලනමය ගැටළුවක්ද මතුව තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබාදිය හැකි කාලසීමාව සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව ලබන 22, 23, 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (17) දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින පසුවට දැනුම්දෙන බවයි.

එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන්.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුදල් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ‘නිදහස් ජනතා සන්ධානය’ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රටේ පාලන ආකෘතිය අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවට තරයේ විශ්වාස කරන බවයි.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතත්, තවමත් එම ආරක්ෂාව ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ පවසනවා.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ තමන් තැපැල් ඡන්ද පත්‍රිකා පිළිබඳ සිය තීරණය දැනුම්දීමට පෙරාතුවම මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය කල් දැමීමට කටයුතු කර ඇති බවයි.

+


දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු දැඩි අවදානම් තත්ත්වයක්

(17.02.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ඊයේ (16) දිනය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 3500 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

මේ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන ප්‍රදේශවලින්.

ඊට අමතරව මාතර, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලින් ද වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දිස්ත්‍රික්ක 12 දැඩි ඩෙංගු අවදානම් තත්ත්වයක් ඇති දිස්ත්‍රික්ක ලෙසයි නම් කර ඇත්තේ.

2023 වර්ෂයෙ මේ දක්වා දිවයිනේ නන් දෙසින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3637 ක් ෴


වැලිපැන්නේ හෙල්මට් ඝාතනය පිටුපස පෙම් හබයක් – මරණයට හේතුව හෘදයාබාධයක්

(17.02.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් තුන්දෙනෙකු (3) විසින් හෙල්මට්වලින් පහරදීමෙන් පසු ඝාතනයට ලක්වූ 34 හැවිරිදි එක්දරු පියාගේ අවසන් කටයුතු අද (17) සිදුකෙරුණා. ඒ වැලිපැන්න – ගල්මත්ත , කුරුදිප්පිට පොදු සුසාන භූමියේදීයි.

පසුගිය 14 වනදා රාත්‍රියේ උපකාරක පන්ති අවසන්ව හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්ගනිමින් සිටි , 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් තුන්දෙනෙකුට (3) හෙල්මට් පළදින ලෙස ලබාදුන් උපදෙසකට කෝපයට පත් එම සිසුන් අදාළ එක්දරු පියාට පහරදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වුණේ.

එදිනම රාත්‍රියේ සැකකාර සිසුන් තුන්දෙනා (3) වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ලබන 28 වනදා දක්වා ‘මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ’ රඳවා තැබීමට පියවර ගැණුනා.

දැනට සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතී දියණියක් සහ සැකකාර සිසුන් තුන්දෙනා (3) ගෙන් එක් (1) අයෙකු අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවයි.

එම සිසුන් නිරන්තරයෙන් ඇය බැලීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පදිංචි ප්‍රදේශයට යන බවත්, ඝාතනය සිදුවූ දිනද ඔවුන් උපකාරක පන්ති අවසන්ව එම ප්‍රදේශයට ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මියගිය පුද්ගලයා එසේ ගොස් ආපසු යමින් සිටි සිසුන් තිදෙනා (3) ලුහුබැඳ පැමිණි බවටද පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

හෙල්මට්වලින් සිදුවූ පහරදීම් මාරාන්තික නොවන බවයි එහි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ අදාළ පාසල් සිසුන්ගේ ඡායාරූප සහ ෆේස්බුක් ගිනුම් සමාජ මාධ්‍යයේ පළකරමින් විවිධ අදහස් දැක්වීම් සිදුකරන ආකාරයක් දක්නට ලැබුණා.

එම තත්ත්වය හමුවේ ඔවුන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ පසුවිපරමක් සිදුකළා.

එම සිසුන් තිදෙනාම (3) ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සේවය කරන වලගෙදර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නන්.

සැකකාර සිසුන් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකුගේ පියා මියගොස් ඇති අතර සෙසු සිසුන් දෙදෙනා (2) දෙමාපියන් සමඟ ජීවත්වන්නන් බව සඳහන්.

ඔවුන්ගෙන් එක් (1) අයෙකුගේ දෙමාපියන් ඇදුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර අනෙක් දෙදෙනාගේ (2) මව්පියන් කුලී වැඩකර ජීවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පාසල් වයසේ දරුවන් මෙලෙස පුද්ගලයෙකුට අමානුෂිකව පහරදීමට තරම් ප්‍රචණ්ඩකාරිවීමට බලපා ඇති හේතු මොනවාද? ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස ගෙන් අප ඒ පිළිබඳව විමසා සිටියා.

පවතින සමාජ, ආර්ථික අර්බුද හමුවේ වර්තමාන නව පරම්පරාව ප්‍රචණ්ඩකාරි වීම වැළැක්වීම සහ පාලනයට පාසල් අධ්‍යාපනට ඇති කාර්යභාරය සම්බන්ධයෙන්ද මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මෙලෙස පැහැදිලි කළා.

+


දෙනියාය රක්වාන මාර්ගයේ ත්‍රී රෝද රථයක් අඩි 700 ප්‍රපාතයකට පෙරලී දෙදෙනෙක් මරුට

(17.02.2023 – 20:11 +0530 – hirunews.lk/sinhala)

කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අඩි 700 ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

මෙම අනතුර හේතුවෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ අඹුසැමි යුවලක් (වයස අවුරුදු 62 ක පිරිමියෙක් සහ වයස අවුරුදු 61 ක කාන්තාවක්) එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 24 ක් වන ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල තුවාල සහිතව කොලොන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ නොසැලකිලිමත් ලෙස සිදුකළ රිය ධාවනය හේතුවෙන් මෙම මරණ සහ අනතුර සිදුවන්නට ඇති බවටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *