එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට


එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

(16.02.2023 – 15:20 +0530 – sinhala.adaderana.lk)

යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ‘රංග විරාජ් ජයසිරි’ නැමති 34 හැවිරිදි එක්දරු පියෙක් ජීවිතක්ෂයට පත්වුණි.

එම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙක් (1) එදිනම අත්අඩංගුවට ගැනුණු අතර තවත් සිසුන් දෙදෙනෙක් (2) පසුව අත්අඩංගුවට ගැනුණි.

සැකකාර සිසුන් තිදෙනාම (3) මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලීසිය පවසයි.

14 වැනි දා යතුරුපැදියකින් නිවස ආසන්නයේ වූ වෙළෙඳසැලට ගොස් එමින් සිටි විරාජ්, යතුරුපැදි දෙකකින් (2) අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන්ට සිදුකළ අවවාද කිරීමක් මත බහින්බස්වීමක් හටගෙන තිබේ.

පසුව සිසුන් විසින් ආරක්ෂක හිස් වැසුම්වලින් විරාජ් ට පහරදී ඇතැයි සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව හෙළිවී ඇත.

බරපතළ තුවාල ලැබූ විරාජ් රෝහල්ගත කිරීමත් සමග පාසල් සිසුන් තිදෙනාම (3) එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳසැලක සැඟව සිටි පාසල් සිසුවෙක් (1) පොලිස් භාරයට ගැනීමත් සමග ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටපත් සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාකොළ ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් පහරකෑමෙන් අවාසනාවන්ත ජීවිතය හැර ගිය රංග විරාජ් ජයසිරි පෞද්ගලික ආයතනය සේවය කරන අයෙකි. ඇගේ බිරිඳ වෘත්තියෙන් ගුරුවරියකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු සිදුකරන පාසලේම සිසුන් බවද වාර්තාවෙයි.

මාස 11 ක පුංචි සිඟිත්තියකගේ දරු සුරතල් විඳිමින් සිටි රංග, ගමේ කාගේත් අතර හිත දිනාගත් අයෙකි.

+


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ප්‍රභාත් ප්‍රියංකර’ හෙවත් ‘චන්දු’ ඝාතනය කෙරෙයි

(17.02.2023 – 07:14 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – බොරගොඩවත්ත – රුවන් මාවත මංසන්ධියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ ආඩිඅම්බලම – පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ‘ප්‍රභාත් ප්‍රියංකර’ හෙවත් ‘චන්දු’ නැමැති 30 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසළ සැඟව සිටි පුද්ගලයෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවද සඳහන්.

+


පරිත්‍යාග කෙරුණු පිළිකා ඖෂධ අලෙවිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ‍යෙන් පරීක්ෂණයක්

(17.02.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

එම පරීක්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව නීත්‍යානුකූල හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව ඊයේ (16) ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් (2) මහරගම අපේක්ෂා රෝහලට පිටත්ව ගොස් තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකරට උපදෙස් ලබාදී තිබුණේ මෙම සිද්ධිය පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාව පැය විසි හතරක් (24) තුළ ලබාදෙන ලෙසයි.

ඒ අනුව එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (16) ලබාදුන් බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මීට සම්බන්ධ ඖෂධවේදියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මේ අතර, මහරගම අපේක්ෂා රෝහලේ පියයුරු, ආන්ත්‍රික, ඇටමිදුළු පිළිකා සඳහා ලබාදෙන පිළිකා නාශක ඖෂධ හිඟය තවදුරටත් උග්‍රවෙමින් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම, ‘කීමියෝ’ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව රෝගීන්ට ඇතිවන සංකූලතා පාලනයට ලබාදෙන ඖෂධවලද හිඟයක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය කියා සිටියේ ෴


නව විදුලි සම්බන්ධතා ගන්න 36,000 ක් පෝලිමේ

(17.02.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

පුනර්ජනනීය බලශක්තිය භාවිතකර විදුලිය ජනනය සඳහා වැයවන පිරිවැය අවම කරගැනීමට හැකියාව තිබියදී ගාස්තු ඉහළ දමමින් ජනතාව මත බර පටවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක චෝදනා කරනවා.

කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලය පූර්ණ විගණනයකට ලක් කළ යුතු බවයි.

මේ අතර විදුලි සැපයුම ලබාදීමට අවශ්‍ය උපකරණ ගෙන්වීම සඳහා බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් මේ වනවිට නව විදුලි සම්බන්ධතා 36,000 ක් පමණ ලබාදීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ නව ගෘහස්ථ සබඳතා 36,000 ට අමතර ව කර්මාන්ත ඇතුළු ‘බල්ක්’ සැපයුම් 1,200 ක්ද මේ හේතුවෙන් ලබාදීමට නො හැකි ව ගොඩ ගැසී ඇති බවයි ෴


බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වැනි දා යළි විවෘත වෙයි

(17.02.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ වසා දැමුණු හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් පවසනවා.

ඒ අනුව පළමු (1) වසරේ සිසුන් පමණක් අධ්‍යයන කටයුතු සඳහා කැඳවන බවයි උන්වහන්සේ කියා සිටියේ.

පසුව අනෙකුත් වසරවල සිසුන්ගේද අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව උපකුලපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවේ නවක වද සිද්ධියක් මුල් කරගනිමින්.

මේ අතර, සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 2020 / 2021 අධ්‍යයන වසරවල සිසුන් හැර අනෙකුත් සියලු සිසුන් සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ (16) තීරණය කළා.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පසුගියදා නේවාසිකාගාරයට ඇතුළු වී පළමු (1) වසරේ සිසුන්ට පහරදී ඇත්තේ කොණ්ඩ කපා නොමැති බව පවසමින් ෴


ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් (2) ඖෂධ මිල දී ගැනීමට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක්

(17.02.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් (2) ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණයට එරෙහිව ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්.

පෙත්සමෙන් පෙන්වා දෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් (2) ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවට චෝදනා කර තිබෙනවා.

එමෙන්ම අදාළ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා පිළිගත් ප්‍රසම්පාදන පටිපාටිය අවභාවිතයට ලක් කොට ඇති බවටයි එමඟින් පෙන්වා දෙන්නේ.

මේ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මිලදී ගැනීමට නියමිත ඖෂධ සඳහා ගෙවීම් සිදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන් ෴


අධික ව දුම් පිට වෙන මෝටර් රථ ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්

(17.02.2023 – 11:15 +0530 – hirunews.lk/sinhala)

අධික ලෙස දුම් පිට වන මෝටර් රථයක් දුටුව හොත් දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එවැනි මෝටර් රථයක අංක තහඩුව ඡායාරූපයකට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර ‘වට්ස්ඇප්’ හෝ ‘වයිබර්’ පණිවුඩයක් මගින් එම දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකියි.

070 350 0525 යන දුරකථන අංකයට එම දැනුම්දීම් සිදු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴


විද්‍යා පීඨ බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ අභියාචනා කැඳවීම ලබන 28 වැනි දා දක්වා

(17.02.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

2019 සහ 2020 වසරවල උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ අභියාචනා ලබන 28 වනදා දක්වා භාරගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

උසස් පෙළ වර්ෂය, විභාග අංකය, ප්‍රතිඵල, ඉසෙඩ් අගය, නව සහ පැරණි විෂය නිර්දේශයද යන්න මෙන්ම අභියාචනා කිරීමට හේතුව ඇතුළත් කරමින් අදාළ අභියාචනා විද්‍යා පීඨ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතු වනවා ෴


QR ඉල්ලූ පොම්පකරුවකුට කඩු ප්‍රහාරයක්

(17.02.2023 – 11:44 +0530 – hirunews.lk/sinhala)

QR කේතයක් නොමැති ව පෙට්‍රල් සැපයීම ප්‍රතික්ෂේප කළ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් කඩුවකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

යාපනයේ නාවට්කුලි ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ මෙම පහර දීම සිදු වී ඇති බව සඳහන්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් (2) QR කේතය නොමැති ව පෙට්‍රල් ලබා දෙන ලෙස පොම්පකරුට බල කර ඇති අතර, එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනු යි සැකකරුවන් දෙදෙනා (2) විසින් පොම්පකරුට කඩුවකින් පහර දී ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සේවකයා චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපන රෝහලට මාරු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාෆාගේ ප්‍රජා අයිතිය වසර හතකට (7) අත්හිටවෙයි

(17.02.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාෆාගේ ප්‍රජා අයිතිය වසර හතකට (7) අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කළා.

ඊට අමතරව ඔහුට මාස හයක (6) සිර දඩුවමක් සහ රුපියල් 500 ක දඩයක්ද නියම කරන බවයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ දැනුම් දුන්නේ.

2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහය ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 42 ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්ට අල්ලසක් ලෙස ලබාදීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ ෴


දඹුල්ලේ බස් අනතුරකින් මඟීන් අපහසුතාවක

(17.02.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් තරගයට ධාවනය කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් එක් බස් රථයක සිටි මගීන් පිරිසකට පිටතට පැමිණීමට නොහැකිව අපහසුතාවට පත්වූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

දඹුල්ල රෝහල ඉදිරිපිටදී මෙම බස් රථ දෙක (2) අද (17) අලුයම ගැටී තිබූ අතර, පෞද්ගලික බස් රථයට සමාන්තරව ශ්‍රී ලංගම බස් රථය ගැටී නැවතීම නිසා පෞද්ගලික බස් රථයේ මගීන්ට විනාඩි 40 කට අධික කාලයක් පිටතට පැමිණීමට නොහැකිවී තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනුරාධපුර ශ්‍රී ලංගම ඩිපෝවට අයත් මහනුවර බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් සහ පොලොන්නරුව අරුණපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවති පෞද්ගලික බස් රථයක් ෴


ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳ විමර්ශන සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරින් 5 දෙනෙක්

(17.02.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච (5) පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) තීන්දු කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියයි ඊට අදාළ නියෝගය ලබාදුන්නේ.

ඉන් අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 20 වනදා කැඳවීමට ද නියම කෙරුණා.

ෂාෆ්ටර්ගේ මරණය දිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළිබඳ සමාජය තුළ තවමත් ඇත්තේ, බරපතළ කුකුසක්.

කෙසේ වෙතත් මේ වන විට විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, ෂාෆ්ටර්ගේ මරණය දිවි නසා ගැනීමක් බව යි.

+


කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ගැන පරීක්ෂාවට පහසුකම් සලසන්නැයි විදේශ අමාත්‍යාංශයට ඉල්ලීමක්

(17.02.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවට ගොස් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සළසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතිය තුළ ඒ සඳහා අවශ්‍ය අවසර ලැබෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මෙහෙකාරිය මෙම මරණයට ඍජු සබඳතාවක් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ බව වඩා තහවුරු වී ඇත්තේ ඔනේෂ් සුබසිංහගේ බම්බලපිටියේ පිහිටි නිවසද ස්ථානීය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුවයි.

‘ඔපේක්ස් හෝල්ඩින්ග්ස්’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ 45 හැවිරිදි ඔනේෂ් සුබසිංහ තම බ්‍රසීල ජාතික බිරිඳ, සිව් (4) හැවිරිදි දියණිය හා නිවසේ මෙහෙකාර කාන්තාව සමඟ විනෝද චාරිකාවක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ගොස් සිටියදී අභිරහස් ලෙස මියගොස් තිබුණා.

එරට මහල් නිවාස සංකීර්ණයක තිබී ව්‍යාපාරිකයාගේ සිරුර හමුවූ අතර, පසුව ජකර්තා පොලිසිය සඳහන් කළේ මෙම මරණය ඝාතනයක් බවට සැක කරන බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මෙහෙකාර කාන්තාව දියණියද රැගෙන බ්‍රසීලයට ගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *