‘වැලන්ටයින් දා’ පෙම්වතා, පෙම්වතියට මත් චොක්ලට් දී යාළුවන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා

‘වැලන්ටයින් දා’ පෙම්වතා, පෙම්වතියට මත් චොක්ලට් දී යාළුවන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා


‘වැලන්ටයින් දා’ පෙම්වතා, පෙම්වතියට මත් චොක්ලට් දී යාළුවන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා

(15.02.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala)

‘වැලැන්ටයින් දිනය’ සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු (2) සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය – පූනරින් ප්‍රදේශයෙන් වාර්තා කරනවා.

14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවනු ලැබ අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු (2) ද සමඟ එක්ව දූෂණය කොට ඇති බවයි අප වාර්තාකරු වාර්තා කරන්නේ.

දූෂණයට ලක් වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන් ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු බව ද වාර්තා වනවා.

ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනා (2) ද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි ෴


පාසල් දැරියන් දෙදෙනෙකු (2) අපහරණය කළ යුධ හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට

(15.02.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

පාසල් දැරියන් දෙදෙනෙකු (2) අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලෙකු (14) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ පදිංචි සැකකාර සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී එම වතුයායේ ම පදිංචි අවු 08 සහ අවු 10 යන වයස්වල පසුවන පාසල් දැරියන් දෙදෙනෙකු (2) එම වතුයායේ තේ වත්ත දෙසට රැගෙන ගොස් ඇති අතර, එහි දී එක් දැරියක් සැකකරුගෙන් මිදී දිව එන අවස්ථාවේ එය දුටු ප්‍රදේශවාසින් සැකකාර සෙබලා අල්ලා නොර්වුඩ් පොලිසිය වෙත භාර දි තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් දැරියන් දෙදෙනාගේ (2) පියා විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිලි කර ඇති අතර දැරියන් දෙදෙනා (2) දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ යුධ හමුදා කදවුරේ රාජකාරි කරන අයෙක් වන අතර ඔහුව අද (15) හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


වැරදි ගිණුම් අංක සටහන් කළ නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

(15.02.2023 – 11:50 +0530 – hirunews.lk/sinhala)

නොසැලකිලිමත් අයුරින් ගොවි ගිණුම් අංක වැරදි ලෙස සටහන් කළ කෘෂිකර්ම නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවති සාකච්ඡාවක දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800 ක මුදල් ගොවීන්ට සහන සැලසීම සඳහා ලබා දුන්නා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ මෙම මුදල් ගොවීන්ගේ ගිණුම්වලට යොමු කිරීමේ ක්‍රියාවලිය කඩා කප්පල්කාරි කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට (2) සහය දක්වන කෘෂිකර්ම නිලධාරින් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බවයි ෴


‘මංගල, කාංචන සහ කණ්ඩුල’ භාර දීම නීති විරෝධී ද? විශේෂ විමර්ශනයකට අධිකරණයෙන් නියෝගයක්

(15.02.2023 – 12:40 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථව හස්තියකු රඳවාගෙන සිටීමට අවශ්‍ය කරන නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිව නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටි හස්තීන් තිදෙනකු (3) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීත්‍යනුකූල නොවන අයුරින් නැවතත් එම හස්තීන්ට අයිතිවාසිකම් දැක්වූ පුද්ගලයින්ට බාරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අධිකරණය පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මෙලස වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි ‘මංගල’, ‘කාංචන’ සහ ‘කණ්ඩුල’ යන හස්තීන් භාර දී ඇත්තේ නීති විරෝධී ලෙස හස්තීන් භාරයේ තබා ගත් සිද්ධියකට පෙර වරදකරු බව පිළිගෙන දඩුවම් නියම කළ තලවතුගොඩ පදිංචි මහින්ද ගලප්පත්ති නැමැති පුද්ගලයෙකු වෙතයි.

මියන්මාරයේ සිට රුපියල් ලක්ෂ 33 මුදලකට අලි පැටියෙක් ගෙන්වා දෙන බවට සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මෙම සිද්ධිය අනාවරණය වූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවත් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කියා සිටියා.

“ස්වාමීනි මෙම පුද්ගලයා ට මෙම හස්තීන් තිදෙනා (3) භාර දී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත. ඊට අමතරව ‘ඇසළ’ නැමැති හස්තියා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත් බාර දී තිබෙනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ නියෝග මත මෙම හස්තීන් මුදා හැර තිබෙන්නේ නීත්‍යානුකූල නොවන අයුරින්. රාජසන්තක කළ හස්තීන් පෙර නඩුවේ වරදකරු ට ලබා දෙන ලෙස 2015.04.29 වනදා ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු ලිඛිතව දැනුම් දී තිබෙනවා”.

ගෘහස්ථව අලි ඇතුන් භාරයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුව සන්තකයේ ඇති නීත්‍යානුකූල පුස්තකය හෙවත් ‘අලි පොත’ අතුරුදන් කර, මෙම සත්ත්වයින් නීති විරෝධී ලෙස ගෘහස්ථ හීලෑ අලි ඇතුන් ලෙස රඳවාගෙන සිටි බවටයි ඔවුන් ගේ හිමිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර එහි ප්‍රතිඵල අධිකරණයට දන්වන ලෙස කොටුව මහෙස්ත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (15) නියෝග කළා ෴


පඬුවස්නුවර සහ දෙමටගොඩ සමගි ජනබලවේග පක්ෂ කාර්යාලවලට පහරදීමක්

(15.02.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ජන්ද විමසීම සඳහා ඉදිරිපත් වි සිටින පඩුවස්නුවර සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කාර්යාලයට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු (2) තුවාල රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (14) තියුණූ ආයුධයක් අතැතිව පැමිණි පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ප්‍රචාරක කාර්යාලය පිහිටි නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අපේකෂකයාගේ නිවසට ද ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, දෙමටගොඩ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයට ද, අද (15) උදෑසන පුද්ගලයින් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම පක්ෂ කාර්යාලයේ ඇතුලත තිබූ ඡායාරූප සහිත නාම පුවරු ඔවුන් විසින් විනාශ කර ඇති බවයි ෴


ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයීය වීසා පහසුකම් සලසන මධ්‍යස්ථානය දින නියමයක් නොමැති ව වසා දැමෙයි

(15.02.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයීය වීසා පහසුකම් සලසන මධ්‍යස්ථානය වන IVS පෞද්ගලික සමාගම නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ වාර්තා වූ ආරක්ෂක සිද්ධියක් හේතුවෙන් මෙසේ වීසා මධ්‍යස්ථානය වසා දැමෙන බව යි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දැනට IVS පෞද්ගලික සමාගම සමඟ ලියාපදිංචි වූ වීසා අයදුම්කරුවන් හට ඒ වෙනුවෙන් නව කාල වේලාවන් ලබා ගන්නා ලෙසත් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සහ හදිසි වීසා අවශ්‍යතාවන් සඳහා ඉන්දීය මහ කොම්සා‍රිස් කාර්‍යාලයේ 011 232 6921 හෝ 011 242 2860 යන දුරකතන අංක දෙක හරහා සම්බන්ධ වීමෙන් අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි බව යි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


මාර්තු 27 ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරන බවට අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

(15.02.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, අද (15) හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පැවැත්වුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.

එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27 ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව යි.

ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළ ව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව ද සුසින් ප්‍රේම්ජයන්ත අවධාරණය කරනවා.

සාමාන්‍යයෙන් වර්ෂයකට පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5 ක පමණ මුදලක් වැය වුව ද මෙවර භාෂා මාධ්‍ය තුනෙන් වර්ග 350 කට අධික පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 16 කට අධික පිරිවැයක් රජය දරා ඇති බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එය පෙර වසර මෙන් සිව් (4) ගුණයකට අධික මුදලක් බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙවර ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරන අතර ඉතිරි 55% පෞද්ගලික මුද්‍රණාල 22 ක් මගින් මුද්‍රණය කරනු ලබන බවත් පවසන අමාත්‍යවරයා මූලික අත්තිකාරම් මුදලක් පමණක් ලබා පෙළපොත් මුද්‍රණයට ඉදිරිපත් වූ මෙරට පෞද්ගලික මුද්‍රණාලවලට සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා ෴


පොලිස් නිලධාරින් 4 දෙනෙකුට මරණ දඬුවම

(15.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

වසර 18 කට පෙර තිස්සමහාරාම දෙබරවැව – මාතරවත්ත ප්‍රදේශයේදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පොලිස් නිළධාරීන් සිව් (4) දෙනකුට හම්බන්තොට මහාධිකරණය අද (15) මරණ දඩුවම නියම කළා.

ඒ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු, විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙකු , හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකුට සහ සේවයෙන් ඉවත් කරන ලද තිස්සමහාරාම පොලිස් කොස්තාපල්වරයකුටයි.

සැකකරුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලදි අනාවරණය වී තිබුණේ. මියගොස් තිබුණේ දෙබරවැව – මාතරවත්ත පදිංචි අමිල මහේෂ් නැමති පුද්ගලයෙක්.

මේ අතර, වසර 17 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාන්තාවක් ඇතුළු 4 දෙනෙකුට අද (15) ගාල්ල මහාධිකරණය විසින් ඇප ලබා දුන්නා.

එල්.ටී.ටී.ඊ. යුද සමයේ ගාල්ල දක්ෂිණ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙනුයි මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ.

ඇප මත මුදා හරිනු ලැබූ පුද්ගලයින් අතර එකම පවුලේ සාමාජිකයින් තුන්දෙනෙකු (3) සිටින අතර ඇප හිමිවූ අනෙක් පුද්ගලයා බන්ධනාගාර ගතව සිටියදීම මියගොස් තිබෙනවා ෴


රියැදුරු බලපත්‍රය හිමි කාන්තාවන් මිලියනය පසු කරයි

(15.02.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට රියැදුරු බලපත්‍රය හිමි කාන්තාවන් මිලියනය පසු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රියදුරු බලපත්‍රලාභීන් 12,700,000 දෙනා අතරින් 1,122,418 ක් කාන්තා රියදුරු බලපත්‍රලාභීන් වෙනවා.

මෙම පිරිස අතරින් කාන්තාවන් 2082 ක් බර වාහන බලපත්‍ර ලබාගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වසන්ත ආරියරත්න මහතා පැවසුවේ.

එමෙන්ම 2010 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට කාන්තාවන් 23,488 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

එතැන් සිට 2020 දෙසැම්බර් දක්වා වසර 10 ක කාලය තුළ කාන්තා අයදුම්කරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් සටහන් වී තිබෙනවා ෴


රුපියල් මිලියන 13 ක මත්ද්‍රව්‍ය පාර්සල් 15 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත් අඩංගුවට

(15.02.2023 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදු කරන ආවේක්ෂණ රාජකාරිවල දී මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 15 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාර්සල් ජර්මනිය, එංගලන්තය, කැනඩාව හා ස්පාඤ්ඤ සිට කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිලියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණු බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසු ව සොයා බැලීමේ දී මේවා ව්‍යාජ ලිපිනයන් බවට තහවුරු වී තිබෙනවා.

මෙම පාර්සල් තුළ ‘එක්ටසි’ නැමැති ‘මෙතන්පිටමයින්’ අඩංගු මත් පෙති 207 ක් හා ‘කුෂ්’ නැමැති ගංජා ග්‍රෑම් 750 ක් තිබුණු බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බවට යි තහවුරු වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට මඟින් මෙහෙයවනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *