රන් භාණ්ඩ සොරකමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට


රන් භාණ්ඩ සොරකමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(14.02.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala)

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක්.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07 ක් අධිකරණයට ඉදිරිපත් නොකර තමන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාව (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


පෙම්වතිය බලන්න හොරෙන් ම බස් එක අරං ගිය කොන්දොස්තරට වූ ඇබැද්දිය

(15.02.2023 – 07:01 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී ගාල් කර, රියැදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා පෙම්වතිය බැලීමට කිලෝ මීටර් 9 ක පමණ දුරක් බස් රථය පදවාගෙන ගොස් ආපසු එන අතරතුර දී අනතුරට පත් වී තිබෙන පුවතක් වාර්තා වනවා.

අනතුරින් පසු බස් රථය හතරලියද්ද බස් නැවතුම දක්වා පදවාගෙන පැමිණ තිබෙන කොන්දොස්තරවරයා කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එය ගාල් කර පිටව ගොස් තිබෙන බවත් පවත්වන ලද පොලිස් පරීක්ෂණ මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.

අදාළ බස් රථය රඹුක්කන හතරලියද්ද මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර එය හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී නවතා තබා ඇත්තේ පසුදින අලුයම 05:30 ට නැවත රඹුක්කන බලා ගමන් වාරය ආරම්භ කිරීම සඳහා යි.

රියැදුරුගේ නිවස ඒ ආසන්නයේ ම පිහිටා තිබීම නිසා ඔහු බස් රථය ගාල් කිරීමෙන් පසු දිනපතා නිවසා බලා ගිය ද කොන්දොස්තර බස් රථයේ ම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඉකුත් දිනක රාත්‍රී කාලයේ බස් රථය පණ ගන්වා ගෙන කොන්දොස්තරවරයා කැබැල්ලවත්ත නමැති ප්‍රදේශයට ගොස් පෙම්වතිය හමු වී ආපසු එමින් සිටියදී‍යි බස් රථය මෙලෙස අනතුරට පත් වී තිබෙන්නේ ෴


සභාපතිගේ නොකැමත්ත උඩ විදුලි බිල 66% කින් වැඩි කිරීමට කොමිසමේ 3 කගේ අනුමැතිය

(15.02.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සියයට 66 ක ගාස්තු වැඩි වීමට තම කොමිසමේ සාමාජිකයින් තුන්දෙනා (3) අනුමැතිය ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මහජන උපදේශනයෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස් කළ සංශෝධිත ගාස්තු ක්‍රමය සාමාජිකයින්ගේ අනුමැතිය සඳහා ඊයේ (14) ඉදිරිපත් කර තිබූ අතර එමගින් ගාස්තු වැඩිවීම සියයට 36 කට සීමා කර තිබූ බවයි ඔහු කියා සිටියේ.

එමගින් ලංකා විදුලි බල මණ්ඩලයේ අමතර ආදායම රුපියල් බිලියන 142 ක් දක්වා සාධාරණ මට්ටමක් දක්වා පහත හෙළා තිබූ බව ද සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් තමන් එම ගාස්තු ක්‍රමවේදයට අනුමැතිය ලබා දුන් නමුත් කොමිසමේ සෙසු සාමාජිකයින් තුන්දෙනා (3) ඊට විරෝධය පල කර ඒ වෙනුවට විදුලි බලමණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක්‍රමයට අනුමැතිය ලබා දී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ ෴


මුදල් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මහා භාණ්ඩාගාරයට අදත් (15) ලිපියක්

(15.02.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (15) දිනයේ ද මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත්පාලන ඡන්ද විමසීමට රුපියල් මිලියන 300 ක මුදලක් අවශ්‍ය බව මීට පෙර ද දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බවද ඔහු සඳහන් කළා.

එමෙන් ම ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ඔවුන්ට කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දෙන බවයි ඔහු සඳහන් කළේ.

පාලනයෙන් තොර නොවැලැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (14) නිවේදනය කළා.

ඒ හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සැළසුම් කළ පරිදි අද (15) දිනයේ සිදු නොකරන අතර, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි එම නිවේදනයේ දැකවුණේ.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් අවශ්‍ය වන බවයි.

මේ වනවිට මිලියන 40 ක් පමණ ලැබී ඇති අතර, තවත් රුපියල් මිලියන 360 ක් එම කටයුතු වෙනුවෙන් රජයේ මුද්‍රණාලයට අවශ්‍යව පවතිනවා.

දැනට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවුවත් පවතින තත්වය හේතුවෙන් තවත් දින 3 ක් හෝ 4 ක් ඡන්ද පත්‍රිකා ලබාදීම ප්‍රමාදවන අතර, එම ඡන්ද පත්‍රිකාද ලබාදිය හැක්කේ මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදුනහොත් පමණක් බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


පාසල් ළමුන්ට විකිණීමට මත් කරල් තබා ගත් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(15.02.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන් ඉලක්ක කර විකිණීමට ලඟ තබා ගත් මත් කරල් 145 ක් සමග බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල මුතියංගන විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී ඊයේ (14) සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුවයි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් ෴


පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

(15.02.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනහිමියන් වැඩවෙසෙන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 23 හැවිරිදි අම්පාර – රජගලතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනරතුරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව පූජ්‍ය අම්පිටියේ සුමන හිමියන් ලබා දුන් ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේ උන්වහන්සේගේ ඥාතියෙකු ද සොයා විමර්ශන සිදු කරන බවයි.

කෙසේ වෙතත්, ඔහු මේ වනවිට ප්‍රදේශයේ නොමැති බවට හෙළී වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ පසුගිය 13 වනදා අලුයම් කාලයේදී යි.

+


ඇමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු දිවයිනට

(15.02.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ඇතුළු 20 දෙනෙකු යුත් කණ්ඩායමක් ඊයේ (14) රාත්‍රියේ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් (02) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඒ වෙනුවෙන් දින 03 ක පමණ කාලයක සිට ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) පස්වරුවේ සිට ආරක්ෂාව දැඩි කර තිබූ ආකාරය දක්නට ලැබුණු බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් බෝයිං වර්ගයේ විශාල හමුදා භට පිරිස් සහ භාණ්ඩ ප්‍රවාහන යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ ග්‍රීසියේ සිටයි.

මෙම පිරිස අද (15) දිනයේ පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවතට

(15.02.2023 – 08:38 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් ගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (14) නිකුත් කර ඇත්තේ එම ධුරයේ කටයුතු කිරීම සඳහා එහි උප සභාපතිවරයාට බලය පවරමින්.

ඊට අමතරව රාජකාරී කටයුතු කිරීමේ දී සභාපතිවරයා වැරදි සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විශ්‍රාමික මහධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත් කර තිබෙනවා ෴


ජනාධිපති මේ හදන්නේ රටේ මිනී කඳු ගොඩගහන්න – හදිස්සියේ මැතිවරණ කොමිෂමට ආපු හෙලිකොප්ටරය ගත් තීන්දුව (15.02.2023)

+


සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සපයන සමාගම් සමග එකතු වී විශාල ජාවාරමක් සිදුකරයි?

(15.02.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සපයන සමාගම් සමග එකතු වී විශාල ජාවාරමක් සිදුකරන බව සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංසදයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසනවා.

ඔහු පවසන්නේ, ඉන්දියාවෙන් ආනයනය කරන ‘කාබොප්ලැටීන්’ නැමැති ඖෂධය ලංකාවේ රුපියල් 14,000 ත් 18,000 ත් අතර මිලකට වෙළඳපොලේ විකුණන අතර ඉන්දියාවේ එහි මිල ලංකාවේ මුදලින් රුපියල් 5000 ත් 5500 ත් අතර මිලක් වන බවයි.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් මිල දී ගත් නිර්වින්දනය කිරීම සඳහා ගන්නා ඖෂධයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් 100 ක් වන නමුත් එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 480 කට බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසනවා.

තවද, හිරි වැට්ටීම සඳහා භාවිතා කරන ඖෂධයේ වටිනාකම රුපියල් 97 ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 2500 කටයි.

ඒ අනුව, වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ, මෙම දූෂණය නැවතුවහොත් මෙරටට ගේන ඖෂධ ප්‍රමාණය හතර-පස් ගුණයකින් වැඩි කර ගත හැකි බවයි.

කෙසේ වෙතත් ඖෂධ හිඟය පියවීමට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් පෙබරවාරි මාසයේ සියලු රාජ්‍ය ආදායම යොදවන ලෙසට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අමෙරිකානු ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක් ලබාදීමට ද ජපාන රජයේ එකඟත්වය පළකර ඇති බව ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වුණා.

+


මහ කන්නයේ වී මිල දී ගැනීම අද (15) සිට

(15.02.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී මිල දී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම කටයුතු සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණයෙන් 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 ට මිලදී ගැනීම සිදුකරනු ලබනවා.

එමෙන්ම තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට මිලදී ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *