තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි


තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි

(14.02.2023 – 15:45 +0530 – hirunews.lk/sinhala)

පාලනයෙන් තොර නොවැලැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා එම ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සැළසුම් කළ පරිදි හෙට (15) දිනයේ සිදු නොකරන අතර, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු අද (14) පස්වරුවේ සඳහන් කළේ තැපැල් ඡන්දය පැවැත්වීමේ දිනය, දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් තැපැල් ඡන්දය පැවැත්වීමේ දිනයේ දැනට වෙනසක් සිදු නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා අද (14) පස්වරුවේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් අවශ්‍ය වන බවයි.

මේ වනවිට මිලියන 40 ක් පමණ ලැබී ඇති අතර, තවත් රුපියල් මිලියන 360 ක් එම කටයුතු වෙනුවෙන් රජයේ මුද්‍රණාලයට අවශ්‍යව පවතිනවා.

දැනට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවුවත් පවතින තත්වය හේතුවෙන් තවත් දින 3 ක් හෝ 4 ක් ඡන්ද පත්‍රිකා ලබාදීමට ප්‍රමාදවන අතර, එම ඡන්ද පත්‍රිකාද ලබාදිය හැක්කේ මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදුනහොත් පමණක් බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සහ පක්ෂ ලේකම්වරුන් අතර අද (14) සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම මෝසම ගොනු කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පෙත්සම පසුගිය සිකුරාදා සලකා බැලු‍ අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා තෙක් කල් දැමුණා.

මේ අතර පවතින තත්ත්වය හමුවේ මේ මොහොතේ මැතිවරණයකට මුදල් වෙන්කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තමන්ට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (14) ප්‍රකාශ කළා.

ඒ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹදී එක්වෙමින්.

එමෙන්ම මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව දන්වමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කල ලිපියක් මේ මස 21 දක්වා ක්‍රියාත්මක වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ද නිකුත් කර තිබුණා.

++++++++

+

+

+


විදුලි බිල ගැන සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්

(14.02.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) දැනුම් දී තිබෙනවා.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම පාර්ශ්ව දෙකට (2) මුණගැසී සාකච්ඡාකොට අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව ඊයේ (13) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී දැනුම් දුන් අතර මේ අනුව ඊයේ (13) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත් මෙහි දී පැමිණ සිටි නිලධාරීන් ජාතික සභාවට දැනුම්දීම සිදු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.

එහි දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ, අද (14) දින කොම්ෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ ජාතික සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී යි.

මෙහි දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, මින් පෙර ජාතික සභාව රැස් වූ අවස්ථාවේ දී විදුලි බල ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය 15 වැනිදාට පෙර දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජාතික සභාවට සඳහන් කළ බවත්, එම නිසා හෙට (15) දින මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි ෴


දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් සංරක්ෂණය කරන ලෙස නියෝගයක්

(14.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම්, ඒවා සුරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, රජයේ රස පරීක්ෂකවරයාට හා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද (14) නියෝග කළා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් මෙම නියෝග නිකුත් කළේ.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, දිනේෂ් ෂාෆ්ටර් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් (2) ඇතුළු ප්‍රතිකාර කටයුතු සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

එම ප්‍රතිකාරවලට සම්බන්ධ සියලු‍ වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය, මියගිය දිනේෂ් ශාෆ්ටර් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිකාරවලට අදාල ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා, දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී සහ ඊට පෙරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සහ බොරැල්ල පොලිසියේ අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන ඇති බව සඳහන් කළා.

එම ඡායාරූප සංයුක්ත තැටියකට ඇතුළත්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අද ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමද පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පවතීනම් ඒවා සංයුක්ත තැටියකට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම ආයතනවලට නියෝග කර සිටියා.

එමෙන්ම විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ආගන්තුක ජෛව සාම්පලයක් සොයා ගෙන ඇති බවත්, ඒවා එම ස්ථානයට පැමිණි පුද්ගලයින් හා සැසඳේද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ ජෛව සාම්පල සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත පුද්ගලයින්, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය නියෝගය නිකුත් කළා.

අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 17 වනදා යළි කැදවීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ ෴


ලිතුවේනියානු ට්‍රක් රථ සමාගමක් රුපියල් මිලියන 1 ක මාසික වැටුපකට රියදුරන් 600 ක් බඳවා ගැනෙයි

(14.02.2023 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ලිතුවේනියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන සේවයක් එහි ට්‍රාන්ස්-යුරෝපීය සේවාවන් සඳහා ට්‍රක් රථ රියදුරන් 600 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර තෝරාගත් රියදුරන් සඳහා කඩිනම් පුහුණු ක්‍රියාවලියක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ මැදිහත්වීම ඉල්ලා සිටිනවා.

ඊයේ (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ගුණවර්ධන ලිතුවේනියාවේ Manvesta හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Dana Janerikaite විසින් මෙම ඉල්ලීම කර තිබෙනවා.

සමාගමට ට්‍රක් රථ රියදුරන් 600 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති නමුත් හොඳ රියදුරු කුසලතා සහ මූලික ඉංග්‍රීසි දැනුම ඇති රියදුරන් 109 දෙනෙකු මේ වන විට තෝරාගෙන තිබෙනවා.

අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ මේ සම්බන්දයෙන් සාකච්ඡා කරන බව ඔහු පැවසුවා ෴


වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(14.02.2023 – 19:16 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදු වන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සේවකයෙකු සහ මරදාන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාශයයි එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අත්අඩංගුවට ගනු ලැබූ රෝහල් සේවකයා තැරැව්කරුවන් සමඟ සම්බන්ධවෙමින් මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ වී ඇති බව කියා සිටියා.

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ මරදාන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාද ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කරමින් විවිධ පුද්ගලයින් මෙම ජාවාරමට යොමු කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ද 28 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවන් 4 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරිදා දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වාර්තා කළ යුතු බවටද නියෝග කළා ෴


දුම්රිය ආසන වෙන් කර ගැනීමේ සේවාව අද (14) සිට ඇරඹේ

(14.02.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ ‘කැළණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම’ නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ද ලබාදීම අද (14) දින නිල වශයෙන් ආරම්භ වුනා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම ආසන වෙන් කරවා ගැනීමේ සේවාව ආරම්භ කරමින් එහි පළමු ප්‍රවේශ පත්‍රය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මිලදී ගනු ලැබුවා.

මෙම නව සේවාව මඟින් මෙරට ඕනෑම දුම්රිය මාර්ගයකට අදාළ ආසන නුගේගොඩ දුම්රිය ස්ථානය මගින්ද වෙන්කරවා ගැනීමේ හැකියාව මගීන්ට හිමිවනවා.

දෛනිකව විශාල මගීන් පිරිසක් භාවිතා කරන නුගේගොඩ දුම්රිය ස්ථානයට මෙම ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවීමත් සමග කොළඹ කොටුව, මරදාන වැනි ප්‍රධාන දුම්රිය ස්ථාන වලදී ආසන වෙන්කරවා ගැනීමේ දී පවතින තදබදය මගහරවා ගැනීමේ හැකියාව ඇති වනවා.

එමෙන්ම සීතාවක පුරවරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය උදෙසා ආරම්භ කරන ලද ‘සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය’ එළඹෙන පෙබරවාරි මස 26 වැනි දින සිට ගමන් ඇරඹීමට නියමිත වන අතර ඒ සදහා වන ප්‍රවේශ පත්‍ර ද නුගේගොඩ දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන වලින් වෙන් කරවා ගැනීමේ පහසුකම මේ සමග හිමිවනවා.

ඊට අමතරව මාර්ගගත ක්‍රමයට අනුව ද එම ආසන වෙන් කර ගැනීමේ පහසුව පවතිනවා ෴
( https://seatreservation.railway.gov.lk/ )


මින් ඉදිරියට හිතුමතයට රබර් කිරි ආනයනය බෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

(14.02.2023 – 20:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන රබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච (5) පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මීට හේතු වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී නිසි සැලැස්මකින් තොරව අති විශාල රබර් කිරි ප්‍රමාණයක් ආනයනය කිරීමේ හේතුවෙන් මෙරට රබර් කිරි අලෙවි කර ගැනීමට නොහැකි වීමයි.

දේශීය රබර් කිරි ගොවීන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වුණා.

රබර් ආශ්‍රිත දේශීය නිෂ්පාදනයන් සඳහා මෙරට රබර් කිරි නිෂ්පාදනය ප්‍රමාණ ප්‍රමාණවත් නොවන නමුත් මෙරට නිෂ්පාදනය පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වා අසීමාන්තික ලෙස රබර් කිරි පිටරටින් ආනයනය කිරීම හේතුවෙන් මෙරට රබර් කිරි නිෂ්පාදකයා අසරණ වන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

මේ පිළිබඳව සිදුකළ සොයා බැලීමකින් අනතුරුව රබර් කිරි ආනයනය සඳහා අවසර ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම්ට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා

ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යංශය සාමාජිකයෙක්, රබර් පර්යේෂණායතන සහ රබර් පාලන දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ව මෙම පංච (5) පුද්ගල කමිටුව සැකසෙනවා.

ඔවුන් මෙරට රබර් කිරි නිෂ්පාදනයන් ආදි කරුණු සොයා බලා එම නිෂ්පාදනයන් මෙරට කර්මාන්ත වලට ප්‍රමාණවත් නොවන්නේ නම් පමණක් පිටරටින් රබර් කිරි ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙනු ඇති බවටයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

+


ගම්පොළ ප්‍රදේශයේ ATM යන්ත්‍රය කොල්ලකෑමේ සිද්දියට 7 දෙනෙකු අත්අඩංගුවට

(14.02.2023 – 22:54 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය ගලවාගෙන යෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් හත්දෙනෙකු (7) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) සහ ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) සිටින බවයි.

ඔවුන් සමඟ කොල්ලකන ලද ‘ඒ.ටී.එම්. යන්ත්‍රයේ මුදල්’ සහ පිස්තෝලයක් ද සොයාගෙන තිබෙනවා.

අදාළ පිස්තෝලය අරගල කාලසීමාවේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘අලි සබ්රි රහීම්’ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ එහි තිබී සොරකම් කරන ලද එකක් බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

පසුගිය ජනවාරි 25 වනදා ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් විසින් බැංකුවේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුව පුටුවක ගැටගසා ගළවාගෙන ගොස් තිබුණා.

පසුව ඒ.ටී.එම්. යන්ත්‍රයේ රුපියල් 76,46,700 ක මුදලක් තිබූ බව හෙළිවුණා.

අනතුරුව කොල්ලකරුවන් පැමිණි වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගැනුනු අතර, එහි රියදුරාගෙන්ද පොලීසිය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *