ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි


ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි

(13.02.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා.

අද (13) සවස 03:30 ට පමණ මැතිවරණ කොමිසම වෙත ඇය මේ බව නිල වශයෙන් දන්වා ඇත්තේ, ඡන්ද පත්‍ර්කා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත් හිටුවීමට සිදු වන බවයි.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ සමග අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු පවසා සිටියේ රජයේ මුද්‍රණාලයාධිපති මෙලෙස අවසන් මොහොතේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුපස බරපතල කුමන්ත්‍රණකාරී වාතාවරණයක් ඇති බවයි.

නිල ඡන්ද පත්‍රිකාවලින් කොටසක් මුද්‍රණය කර ඒවා මැතිවරණ දෙපාර්තමේන්තුවට රැගෙන යාමට පවා උපදෙස් දුන් රජයේ මුද්‍රණාලයාධිපති මෙලෙස හදිසියේ සිය ස්ථාවරය වෙනස් කිරීම හරහා සාධාරණ සහ නිදහස් මැතිවරණයක් පැවැත් වීමට ඇති අවස්ථාවන් අහිමි කරන පසුබිමක් ගොඩ නැගෙන බවයි අදාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


කොල්ලකරුගෙන් මහෙස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුමක්

(13.02.2023 – 20:46 +0530 – sinhala.adaderana.lk)

කුලියාපිටිය මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු විසින් එම මහෙස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

අදාළ සැකකරු ඊයේ (12) එලෙස මහෙස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ මෝටර් රථයේ තිබූ ලිපි ලේඛන ලබාදීමට නම් රුපියල් ලක්ෂ පහක (500,000) මුදලක් තමාට ලබාදෙන ලෙසටය.

මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ලකෑ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ කාන්තාවකගේ නමට ලබාගත් සිම් පතකින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ කාන්තාව 1960 වසරේ උපත ලැබූ අයෙක් වන අතර ඇයගේ හැඳුනුම්පතේ ඇති තොරතුරු අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති බවය.

කෙසේ වෙතත් ඇයගේ පුත්‍රයා මේ වනවිට දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූ පුද්ගලයෙකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහුගෙන් මවගේ හැඳුනුම්පත පිළිබඳ විමසීමේදී ඔහු පවසා ඇත්තේ එය මීට වසර කිහිපයකට පෙරදී අස්ථානගත වී ඇති බවය.

මෙම කොල්ලකරු විසින් පසුගිය 11 වනදා එම දුරකථන අංකයෙන් ඇමතුම් 11 ක් විවිද පුද්ගලයන්ට ලබාගෙන ඇත බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එම සියලුම පුද්ගලයන් ‘ප්‍රසිද්ධ වෙබ් අඩවියක වෙළෙඳ දැන්වීම් පළකළ අය’ බව හඳුනාගෙන ඇත.

ඒ අතර සිටින වැඩි පිරිසක් ‘උසස් වර්ගයේ ජංගම දුරකථන අලෙවි කිරීම’ සඳහා දැන්වීම් පළකළ අය බව ද සෙසු අය ‘නිවාස කුලී පදනම මත ලබාදීම’ට සහ ‘විදේශ මුදල් අලෙවි කිරීම’ සඳහා දැන්වීම් පළ කළ අය බව ද හඳුනාගෙන තිබේ.

සැකකරු වත්තල ප්‍රදේශයේ කාන්තාවක් සතුව තිබූ ඩොලර් මිලදීගැනීම සඳහා ගොස් ඒවා පරික්ෂා කිරීම සඳහා ඉල්ලීමේ දී එම කාන්තාවට සැක සිතී එක් ඩොලර් නෝට්ටුවක් පමණක් ඔහුට ලබා දීමත් සමග ඔහු සියලුම ඩොලර් නෝට්ටු ඉල්ලා ඇත.

නමුත් ඇය සියලුම නොට්ටු ලබා නොදුන් නිසා සැකකරු එම ස්ථානයෙන් පිටව ගිය බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

අනෙක් දුරකථන අංකවලට අමතා සැකකරු විසින් භාණ්ඩ සම්බන්ධයෙන් විමසා ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ ෴

+++++++

මහෙස්ත්‍රාත්ගේ මෝටර් රථය පැහැරගනී – CCTV

(12.02.2023 – 19:40 +0530 – sinhala.adaderana.lk)

මහෙස්ත්‍රාත්වරයෙකු නවීන පන්නයේ දෙමහල් නිවසක සිරකර ඔහුගේ නිල මෝටර් රථය පැහැරගැනීමේ පුවතක් පිළියන්දල, මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වුණි.

මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නිවසක සිරකර මෝටර් රථය රැගෙන පළාගොස් ඇත්තේ ඔහුගේ නිවස කුලී පදනම යටතේ මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකි.

මහෙස්ත්‍රාත්වරයෙකු සිය පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි නවීන පන්නයේ දෙමහල් සුඛෝපභෝගි නිවස කුලී පදනමට ලබාදීම සඳහා ‘ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළකර ඇති’ අතර ඒ අනුව ඊයේ දින පුද්ගලයෙකු එම නිවස බැලීමට පැමිණ තිබේ.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි එම නිවස ගැනුම්කරුවාට පෙන්වීම සඳහා සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් මහෙස්ත්‍රාත්වරයා පැමිණ ඇත්තේ ඒ අනුවය.

කෙසේවෙතත් මහෙස්ත්‍රාත්වරයා විසින් නිවස පෙන්වන අතරතුරු අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාව උඩුමහලේ සිරකර දොර වසා මහෙස්ත්‍රාත්වරයාගේ සුඛෝපභෝගි මෝටර් රථයද රැගෙන පළාගොස් තිබේ.

මහෙස්ත්‍රාත්වරයා ‘මෝටර් රථයේ යතුර පහළ මහලේ තබා තිබීම’ හේතුවෙන් එම තැනැත්තාට මෝටර් රථයද රැගෙන පළායාමට හැකිව ඇති බව වාර්තා වේ.

අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය රැගෙන පළා යන අයුරු CCTV කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.

කෙසේ වෙතත් අනතුරුව තමා සිරකර සිටි උඩු මහලේ ජනේලයකින් පිටතට පැන ඇති මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනයේදී සැකකරු නිවස දක්වා පැමිණ ඇත්තේ කුලී ත්‍රී රෝද රථයකින් බව අනාවරණය වී ඇත.

++++++++

කුලියාපිටිය මහේස්ත්‍රාත්ගේ නිල රිය ඉස්සූ සැකකරු කොටු වෙයි

(14.02.2023 – dinamina.lk)

  • වාහනය හමු වූයේ වත්තල හුණුපිටියෙනි
  • දෙමළ ජාතිකයෙක්
  • කොළඹ ප්‍රධාන පාසලක ආදි සිසුවෙක්
  • දෙමළ සිංහල සහ ඉංශ්‍රීසි භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවිය හැක

කුලියාපිටිය මහේස්ත්‍රාත් සම්පත් ආරියසේන මහතාට අයත් පිළියන්දල මඩපාත, පින්නවල පාරේ නිවෙස කුලියට ගැනීමේ මුවාවෙන් පැමිණ මහේස්ත්‍රාත්වරයා නිවසේ සිර කර නිල මෝටර් රථය කොල්ලකෑ පුද්ගලයා අත්අඩංගුවට ගනිමින් මෝටර් රථය ද සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

WP KR 2300 අංකය දරන මෝටර් රථය පොලීසිය සොයාගනු ලබන්නේ වත්තල හුණුපිටිය පාරේ නතරකර තිබියදීය. දුරකතන ජාල විශ්ලේෂණයක් ඇතුළු විද්‍යාත්මක විමර්ශනයක් ඔස්සේත් ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේත් කළ දීර්ඝ සහ වෙහෙසකර විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙම සැකකරු අවුරුදු 25 ක් පමණ වයසැති අයෙකි. අත්අඩංගුවට ගන්නා විට ඔහු තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ වත්තල පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් කුළියට ගෙනය.

මෙම සැකකරු දෙමළ ජාතිකයෙක් වන අතර ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ කතෝලික පාසලකිනි. මෙම සැකකරුගේ පියා රාජ්‍ය බැංකුවක සේවයකර ඇති අයෙක් බවත් සහෝදරයා යුරෝපීය රටක උසස් රැකියාවක නිරතව සිටින්නෙක් බවත් සඳහන්ය. පියාත් මවත් වෙන්වී ජීවත්වන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මේ තත්ත්වය මත මෙම සැකකරු වත්තල කුලී නිවසේ පදිංචිව සිටිමින් වංචාවන්වල නිරත වෙමින් ජීවත්වීමට පෙළඹී ඇති බව පෙනී ගොස් තිබේ.

සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල ඇති දැන්වීම්වලට අනුව ඔහු කෝටි ගානක වංචාවල නිරතව සිට ඇති බවත් මෙම පුද්ගලයා කළ ඇතැම් වංචා කිරීම් ගැන පැමිණිලි පොලිසිවලට ලැබී නැති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කුළියට සහ බද්දට නිවාස ලබාදෙන බවට පළවී ඇති පුවත්පත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල දැන්වීම්වලට අනුව නිවාස කුළියට ගැනීමේ මුවාවෙන් ගොස් එම නිවාසවල ඇති වටිනා කියන දේවල් සොරා ගැනීම මොහුගේ පුරුද්දක් බවත් මහේස්ත්‍රාත්වරයාගේ නිවස පවා කුළියට ගැනීමේ මුවාවෙන් එහි ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

එහෙත් එම නිවස හිස් නිවසක් ලෙස පැවැති බැවින් ඔහුට සොරා ගැනීමට තිබී ඇති එකම වටිනා කියන දේ බවට පත්ව ඇත්තේ මෝටර් රථය පමණක් බැවින් සැළසුම් සහගතව මෝටර් රථය සොරාගෙන ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙසේ ඔහු විසින් කළ වංචා කිරීම් ඇතුළු අපරාධ ගොන්නක්ම මේ වන විට හෙළිවෙමින් ඇති බව කියැවෙති. ඒ සඳහා ඔහු භාවිතකර ඇත්තේ මිය ගිය කාන්තාවකගේ හැඳුණුම්පත් පිටපතකට මිලදී ගත් සිම්කාඩ්පතකි. එම කාන්තාව දෙහිවල පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කරයි. එම කාන්තාවට පුතෙක් සිටින බවත් ඔහු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බවත් හෙළිවී තිබේ.

විනිසුරුවරයාගේ නිල මෝටර් රථය මෙම සැකකරු විසින් පැහැරගනු ලබන්නේ පසුගිය 11 වෙනිදා සවස් කාලයේදීය. මෙම සැකකරු පස්සේ පැන්නීමට පොලීසියට තිබුණු එකම හෝඩුවාව වී තිබුණේ ඔහු මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් දුන් දුරකතන අංකය පමණි. එම අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදී ඔහු මෑත දින කිහිපය තුළ දිගින් දිගටම ඇමතුම් ලබාගත් අංක 11 ක් පොලීසිය හඳුනා ගත්තේය.

ඒ එක් අංකයක් වූයේ වත්තල කාන්තාවකගේය. එම තකාන්තාව ඇය සතුව තිබුණු අමෙරිකානු ඩොලර් 1000 ක් අලෙවි කිරීමට දැන්වීමක් පළකර තිබී ඇත. එම ඩොලර් මිලදී ගැනීමේ මුවාවෙන් එම නිවසට ගොස් ඩොලර් කොල්ලකා පළායාම ඔහුගේ සැළසුම වී තිබී ඇත. එම කාන්තාව ඔහු අතට ඩොලර් ලබානොදීම හේතුවෙන් ඔහුට එම කොල්ලය සිදුකිරීමට නොහැකි වී ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම නිවසට ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් මෙම පුද්ගලයාගේ මුහුණුවර හඳුනා ගැනීමට සමත්ව ඇත.

ඊට අමතරව ඔහු මොරටුවේද පුද්ගලයකුගෙන් ඒ ආකාරයටම ඩොලර් කොල්ලකෑමට සූදානම් වී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ හැරුණු කොට ජංගම දුරකතන අලෙවි කිරීමට ඇතැයි දැන්වීමකට අනුව තවත් ස්ථානයකට ගොස් ජංගම දුරකතන කොල්ලකෑමක්ද කරඇති බව හෙළිවී තිබුණි.

මෙම පුද්ගලයාට දෙමළ සිංහල සහ ඉංශ්‍රීසි භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමට හැකි බව පෙනී ගොස් ඇත. මෝටර් රථය පැහැරගැනීමෙන් පසු මෙම සැකකරු මෝටර් රථයේ ඇති වටිනා කියකියවිලි කිහිපයක් ඇතැයි සඳහන්කරමින් එම ලියකියවිලි ලබාදීමට රුපියල් ලක්ෂ 05 ක මුදලක්ද මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් ලබාදී ඉල්ලා තිබේ. ඒ බව දැනගත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා විසින් මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයෙක් ලෙස පෙනී සිටිමින් මෙම සැකකරු සමඟ දුරකතනයෙන් කථාකරමින් ලක්ෂ පහක (05) මුදල ලක්ෂ 03 දක්වා අඩුකර එම මුදල් තැන්පත් කිරීමට බැංකු ගිණුම් අංකයක් ඊයේ (13) ඉල්ලා සිට ඇත. එහිදී ඔහු කෙටි පණිවුඩයක් ඔස්සේ බැංකු ගිණුම් අංකයක්ද ලබාදී තිබේ. එම බැංකු ගිණුම රාජ්‍ය බැංකුවකට අයත් එකකි. එම ගිණුම මෙම සැකකරුගේම ගිණුමක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඊට අනුව ඔහුගේ පදිංචි ස්ථානය ලෙස සටහන්ව තිබී ඇත්තේ හෝමාගම පැත්තේ ලිපිනයකි.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් තිබී ඇත. ඒ අතර වංචා කිරීම් ඇතුළු අපරාධ බොහෝ බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

~ ගයාන් කුමාර වීරසිංහ


විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කළ යුතුයි

(13.02.2023 – 14:51 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී මෙරට ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයට සිදුකළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

අරුණ පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා ඇත.

කෙසේ වෙතත් ඉහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා ඇත්තේ දැනට ඇති දත්ත අනුව මෙම කලාපය තුළ විශාල බලපෑම් එල්ලවිය හැකි ප්‍රභල භූ කම්පන සිදුවීමට ඇති අවස්ථා බොහෝ අඩු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා :

“අපේ රටේ ගොඩනැගිලි නිර්මාණය කරද්දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ කරලා තියෙන තත්ත්වයන්ට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා දැනට රට තුළ ඉදිකරලා තියෙන ගොඩනැගිලි ආදිය සුළු කම්පන තත්ත්වයන්ට ඔරොත්තු දෙනවා. ඒ වගේම ජලාශ නිර්මාණය කිරීමේදීත් අඩුම තරමින් 3.5 ක රික්ටර් පරිමාණයකටවත් ඔරොත්තු දෙන්න තමයි ඒ ජලාශ නිර්මාණය කරන්නේ. තුර්කියේ භූමි කම්පාවෙන් ඇතැම් ගොඩනැගිලි කඩා වැටෙද්දී තවත් ගොඩනැගිලි ප්‍රමාණයක් කඩා වැටුණේ නෑ. ඒ කඩා නොවැටුණ ගොඩනැගිලි නියමිත ප්‍රමිතියට හදලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී අපේ රටේත් විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කරන්න වෙයි කියලා අපි හිතනවා.”

“පසුගිය දිනවල ඇතිවුණ ආකාරයේ භූ කම්පන තත්ත්වයන් ගැන අනියත බියක් ජනතාව ඇතිකරගත යුතු නෑ. ලංකාවට භූ කම්පන හරහා අනතුරු සිදුකළ හැකි එකම කලාපය ජාවා සුමාත්‍රාවල කෙළවර පිහිටලා තියෙන ප්‍රදේශයයි. එම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු පතුලේ භූ කම්පනයක් ඇතිවුවහොත් 2004 වර්ෂයේ වගේ සුනාමි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ හැර වෙනත් කිසිම ආකාරයකින් ලංකාවට භූ කම්පන අනතුරක් හෝ සුනාමි අනතුරක් සිදුවීමක් පිළිබඳ වාර්තා වෙන්නේ නෑ. බුත්තල සිදුවූ භූ කම්පන වැනි කම්පන හරහා කිසිවෙකුටත් අනතුරක් සිදුවන්නේ නෑ.”


නිහාල් ෆර්නෑන්ඩෝ කියන්නේ, දළදා වහන්සේ විනාශ කරන්න ආව ක්‍රිස්තියානි අන්තවාදියෙක් – නිලන්ත රණසිංහ (13.02.2023)

+


13-02-2023

++++++++

13-02-2023

+++++++

13-02-2023

+

13-02-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *