පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි

පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි


පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි

(13.02.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශයෙකු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සඳහන් කළේ.

අද (13) උදෑසන 09:00 ට පමණ මෙලෙස ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් සර්වර් පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට බාධා පැමිණ ඇති බවත් අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියා.

මේ දිනවල කොරියානු රැකියා සඳහා ඉල්ලුම් කිරීමට සහ කොරියානු විභාග සඳහා පෙනී සිටීමට අතිවිශාල පිරිසක් පෙළඹී ඇති බැවින් නව ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

මේ නිසා සාමාන්‍ය දිනකට වඩා වැඩි ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ආගමන විගමන දෙපාර්තමේන්තු විදෙස් ගමන් බලපත්‍ර අංශය සඳහා ලැබෙන බවත් ඔහු කියා සිටියා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමග වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයා සඳහන් කළේ මේ දිනවල සාමාන්‍යයෙන් ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් 3500 කට ආසන්න ප්‍රමාණයක් දිනපතා සිය දෙපාර්තමේන්තුවට ලැබෙන බවයි.

එම ඉල්ලූම් පත් අතරින් ‘එක් දින සේවාවන්’ හරහා දිනකට ගමන් බලපත්‍ර 2000 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට බිඳ වැටී ඇති පරිගණක පද්ධතිය යථාවත් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් අද (13) අතිරේක කාලයක් යොදවා හෝ ලබාගෙන ඇති සියලු ‘එක් දින සේවා ඉල්ලුම්පත්’ සඳහා වන ගමන් බලපත්‍ර මුද්‍රණ කටයුතු සිදු කරන බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අද (13) දිනට ‘එක් දින සේවා’ සඳහා ලබාගත් සියලු ඉල්ලුම්පත් වෙනුවෙන් වන විදෙස් ගමන් බලපත්‍ර හෙට (14) උදෑසන වනවිට නිකුත් කළ හැකි බවයි.

මේ අතර පරිගණක පද්ධතියේ බිඳවැටීම පිළිබඳ දැනගැනීමත් සමග ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් අතර යම් නොසන්සුන්කාරී බවක් ඇති වූ බවත් ඒ අතරින් කොටසක් ආගමන විගමන පාලක පාලකවරයාගේ කාර්යාලයට පැමිණ මෙම බිඳවැටීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වූ බවත් ඔහුත් සඳහන් කලා.

කෙසේ වෙතත් පොලීසිය යොදවා මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇති බවයි අදාල ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමග පවසා සිටියේ ෴


විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට හසු නොවන්නැයි අමාත්‍යාංශයෙන් ඉල්ලීමක

(13.02.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන සහ ලිපි ශීර්ෂ භාවිත කර මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කරනු ලබන්නේ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන විසින් පමණක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයා සිය අත්සනින් යුත් කිසිදු ලිපියක් නිකුත් කර නැහැ.

ව්‍යාජ අත්සන් යොදා විදේශ රැකියා සඳහා යන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා ෴


අම්පිටියේ සුමනරතන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක්

(13.02.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද (13) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී උන්වහන්සේ විහාරස්ථානයේ වැඩවිසූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වෙඩි පහරින් සුමනරතන නා හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ.

තමන්ට මීට දින කිහිපයකට ඉහත සිට, මරණ තර්ජනය කරමින් නන්නාඳුනන දූරකථන ඇමතුම් පැමිණි බවත් උන්වහන්සේ පොලිසියට පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+

https://www.youtube.com/watch?v=R7GIapX5Xx4#t=5

+


මහකන්නයේ වී මිල දී ගැනීමට අදාළව විශේෂ චක්‍රලේඛයක්

(13.02.2023 – 16:52 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ ගොවීන්ට ප්‍රතිලාභ ලැබෙන සහ රාජ්‍ය මුදල් උපරිම අන්දමින් ආරක්ෂා වන පරිදි විදිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ සඳහා විශේෂ චක්‍රලේකයක් ද නිකුත් කර ඇති අතර එම චක්‍රලේකනයට අනුව වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකට මිල දී ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

+


අනාරක්ෂිත ළිඳකට වැටී පස් (5) හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

(13.02.2023 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, කරන්දෙණිය – මහගොඩ ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත ලිඳකට වැටීමෙන් පස් (5) හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

මව සහ පියා නිවසේ සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

දරුවා නිවසේ නොමැති බැවින් දෙමාපියන් සිදුකළ සොයාබැලීමේදීයි යාබද ඉඩමේ අනාරක්ෂිත ළිඳ තුළට දරුවා වැටී ඇති බවට අනාවරණ වී ඇත්තේ.

දෙමාපියන් විසින් දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


ඖෂධ හිඟය උග්‍ර අතට

(13.02.2023 – 19:32 +0530 – hirunews.lk/sinhala)

දරු ප්‍රසූතිය සිදු කළ මව්වරුන්ට රුධිරය වහනය වීම වැලැක්වීමට ලබා දෙන ‘ට්‍රැනෙක්සිමික් ඇසිඩ්’ ඖෂධය මෙන්ම රක්ත හීනතාවයෙන් පෙළෙන මව්වරුන්ට ලබා දෙන යකඩ අඩංගු ඖෂධය ද මේ වන විට මෙරට රෝහල්වල නොමැති තත්වයක් උද්ගතව පවතිනවා.

කොළඹ ප්‍රධාන මාතෘ රෝහල්වල පවා එය නොමැති බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ.

මේ අතර රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 50 ක පමණ උග්‍ර හිගයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

ඖෂධ හිඟයට අමතරව වෛද්‍ය උපකරණ හිඟය හමුවේ ශල්‍යකර්ම සඳහා ද බලපෑම් එල්ල වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (12) කියා සිටියේ, වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහල් වල කල් දැමිය හැකි සැත්කම් කෙටි කාලයකට කල් දැමීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් හදිසි සැත්කම් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඖෂධ හිඟය හමුවේ පෞද්ගලික ඔසු සැල්වල ඖෂධ මිලද ඉහළ ගොස් ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මේ අතර අත්‍යවශ්‍යය ඖෂධ මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට අද (13) කැබිනට් අනුමැතිය හිමවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ්‍රාමික රජයේ සේවකයන් 18,000 කට අධික පිරිසකට හිඟ පාරිතෝෂික ගෙවීම් සිදුකිරීමට සහ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලටද මෙහිදී අනුමැතිය හිමිව ඇති බව සඳහන් ෴


ඡන්ද ආයාචනා කිරීමෙන් වළකින්න – කොමිසමෙන් ඉල්ලීමක්

(13.02.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයචනා කිරීම්, අත්පත්‍රිකා බෙදීම් හෝ වෙනත් කාර්යයන් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දේශාපාලන ක්‍රියාකාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එවැනි ක්‍රියාවල නිරතවන්නේ නම් එය නීතිවිරෝධී බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවන අදහස් දිනෙන් දින උණුසුම් වී තිබෙනවා ෴


වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

(13.02.2023 – 16:32 +0530 – sinhala.adaderana.lk)

2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් (1) රුපියල් 100 ක මුදලකට මිලදී ගන්නා ලෙසය.

එමෙන්ම තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88 ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යංශය දැනුම්දී තිබේ.

අක්කරයක් (1) දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 2,000 ක් ද අකක්ර 02 ක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 4,000 ක් ද අකක්ර 02 කට වැඩි වගා සිදුකර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 5,000 ක්ද මිලදී ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.

එමෙනම රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එම වී තොග සහල් බවට පත් කර මාර්තු සහ අප්‍රේල් වලදී තෝරාගත් පවුල් සඳහා සහල් කිලෝ 10 ය බැගින් බෙදාහැරීමට පියවර ගන්නා බවය.

+ [ අදාළ චක්‍රලේඛය ]


සැත්කම් කල් දැමූ පදනම හෙළිකරන්න – GMOA

(13.02.2023 – 21:06 +0530 – sinhala.adaderana.lk)

රජයේ රෝහල්වල සැත්කම් කල් දැමීමට පියවර ගත්තේ කුමන පදනමකින් ද? ඒ කුමන කාලයකට ද යන්න සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම රටට ප්‍රකාශ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පොරොත්තු ලේඛනයක සිට ශල්‍යකර්මයක් සිදුකරගැනීමට පැමිණෙන රෝගීන්ගේ, රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ රෝගියාගේ මානසික තත්ත්වය බැහැර කිරීමට හැකි කරුණක් නොවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මාස ගානක් පොරොත්තු ලේඛනයක ඉඳලා තමයි මේ ශල්‍යකර්මයට එන්නේ. සංකූලතා, අතුරු අබාධ විශේෂයෙන්ම එම රෝගියාගේ මානසික තත්ත්වය ව්‍යාකූල වීම ඒ වගේ කාරණා අපට බැහැර කරන්න බෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්, සෞඛ්‍ය ලේකම්ගෙන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලනවා වහාම රටට පැහැදිලි කරන්න, මොන හේතු ද මේ තීරණය ගන්න බලපෑවේ ?, කොයිතරම් කාලයකට මෙය වලංගුයිද ? කියලා.”

වෛද්‍ය උපදෙස් මත පමා කළ හැකි ශල්‍යකර්ම රජයේ රෝහල්වලදී සිදුකිරීම කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (12) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල්වල සැත්කම්, ප්‍රමුඛතාව සහ විශේෂඥ උපදෙස් මත සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මේ බව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය වෘත්තිය සංගම් කිහිපයක් ම එම තීරණයට විරෝධය පළ කළේය.

ඔවුන් අනතුරු ඇඟවූයේ සැත්කම් පමා කිරීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්වන බවය.

මේ අතර සැත්කම් පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිතාරක්ෂක ශල්‍යකර්ම, පිළිකා රෝගීන් සඳහා සිදුකරන සැත්කම් සහ අත්‍යවශ්‍ය සැත්කම් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන බවය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල්වල සැත්කම් සිදු කිරීමේදී සැත්කමෙහි අවශ්‍යතාව හා ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලා විශේෂඥ උපදෙස් මත, සැත්කම් සිදුකිරීමේ අනුපිළිවෙළෙහි වෙනස්කම් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *