දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි

දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි


දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි

(12.02.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala)

මඩකළපුව – කොක්කඩිචෝලේ – තාන්තාමලේ ප්‍රදේශයේ මීනච්චිඕඩෙයි වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් පාසල් සිසුන් තුන් (3) දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එමෙන්ම මොවුන් බේරා ගැනීම සඳහා ගිය ගුරුවරයෙකු (1) ද දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උපකාරක පන්ති ගුරුවරුන් තුන්දෙනෙකු (3), මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙනී සිටීමට නියමිත පාසල් සිසුන් සිව් දෙනෙකු (4) සහ සිසුවියන් 7 දෙනෙකු අද (12) කොක්කඩිචෝලේ – තාන්තාමලේ ප්‍රදේශයට පැමිණ තිබෙනවා. මඩකළපුව ප්‍රදේශයේ පදිංචි මොවුන් චාරිකාවක් සඳහායි තාන්තාමලේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ.

එහි දී සිසුන් තුන් දෙනෙකු (3) අබලන් වූ ඔරුවක නැගී ඔරු පදිමින් සිටිය දී ඔරුව අනතුරට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී ඔවුන් සමඟ පැමිණි එක් (1) ගුරුවරයෙකු සිසුන් බේරාගැනීම සඳහා ගොස් ඇති අතර ඔහු ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය ගුරුවරයා 27 හැවිරිදි වියේ පසුවන අතර සිසුන් තිදෙනා (3), 16 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

+


පළමු (1) ප්‍රශ්න පත්‍රයට තහනම් වූ කැල්කියුලේටරය දෙවැනි (2) ප්‍රශ්න පත්‍රයට හොඳ වූ හැටි – සිසුන්ගෙන් පැමිණිලි

(12.02.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි කැකිරාව ප්‍රදේශයේ සිසුවියකට විභාග නිරීක්ෂකවරයෙකුගෙන් සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සහිත ලිපියක් පසුගියදා (09) විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස අසාධාරණයට පත් වූයේ කැකිරාව – මිරිහම්පිටිගම ප්‍රදේශයේ පදිංචි දෙවැනි (2) වර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් බවයි.

කෙසේවෙතත් අදාළ ශිෂ්‍යයාව සහ එම අසාධාරණයට ලක් වූ සෙසු විභාග අපේක්ෂකයින් සඳහන් කළේ, ඊයේ (11) දිනයේ පැවැත්වූ උසස් පෙළ ගිණුම්කරණය දෙවැනි (2) ප්‍රශ්න පත්‍රයට පළමු (1) දින භාවිත කිරීමට ඉඩ නොදුන් සිය කැල්කියුලේටර් යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමි වූ බවයි.

මෙම සිදුවීමෙන් පෙනී යන්නේ රටේ එක් පුරවැසියෙකුට නීති දෙකක් ක්‍රියාත්මක වන ආකාරයක් පවතින බවයි අසාධාරණයට ලක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙන්වා දෙන්නේ.

පසුගිය 08 වැනි දින කැකිරාව විභාග ශාලාවක දී මෙම සිසුන් කිහිපදෙනා අදාළ අසාධාරණයට ලක්ව තිබෙනවා.

තමන් ඇතුළු තවත් විභාග ශාලාවේ රැඳී සිටි ශිෂ්‍යයින් කිහිපදෙනෙකුගේ පමණක් ගණක යන්ත්‍ර විභාග ශාලාවේ නිරීක්ෂකවරයා පැමිණ ඉවත් කළ බවත්, එය සිසුන් කිහිපදෙනෙකුට පමණක් සිදු කර, සෙසු සිසුන් හට ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) පාවිච්චි කිරීමට අවසර හිමි වූ බවත් අදාළ ශිෂ්‍යයාව එහිදී සඳහන් කළා.

පසුගිය වසරේ ද විභාගයට තමන් මෙම කැල්කියුලේටරය රැගෙන ගිය ද, ඊට විභාග ශාලාවෙන් අවසර හිමි වූ බව ද මෙම ශිෂ්‍යයාව සඳහන් කළා.

තමන් ඇතුළු සහෝදර ශිෂ්‍යයින්ට සිදු වූ මෙම අසාධාරණය ගැන විභාග ශාලාධිපතිවරයාට ද දැනුම් දුන්න ද, ඒ පිළිබඳ කිසිදු සැලකීමක් ඔහු නොදැක්වූ හෙයින් තම ගැටලුව සඳහන් කර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත් පැමිණිලි කර ඇති බවයි ඇය සඳහන් කළේ.

දෙවැනි (2) වර උසස් පෙළ විභාගයට මුහුණ දුන් තමන් ඇතුළු මෙම අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයින්ට නිසි සාධාරණයක් ඉටු කරන ලෙස අදාළ සිසුවිය විභාග කොමසාරි ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ෴

+


සීතාවකට ජපන් භාෂා කේන්ද්‍රයක්

(12.02.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

මෙරටට තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතික අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් සීතාවක ජපන් භාෂා කේන්ද්‍ර විවෘත කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) එය විවෘත කර ඇති අතර එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ජපන් භාෂා හැදෑරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එම අවස්ථාවට මෙරට ජපාන තානාපතිවරයා ද එක්ව සිටියා ෴


යාපනය මහ නගර සභාවේ නගරික මන්ත්‍රීවරයෙකු අනතුරකින් මරුට

(12.02.2023 – 16:33 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහ නගර සභාවේ ඊ.පී.ඩී.පී. නගරික මන්ත්‍රී නීතිඥ එම්. රෙමීඩියස් 11 දා යාපනය ශීක්ෂණ රෝහලේ දී මියගොස් තිබෙනවා.

මීට දින කීපයකට පෙර රෙමීඩියස් නගර සභා මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේ දී සුනඛයෙකු යතුරුපැදියේ ගැටීම නිසා අනතුරකට පත් වුනා.

අනතුරෙන් ඔහු සුළු තුවාල ලබා තිබුණද හදිසියේ ම මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත්ව තිබෙනවා.

මන්ත්‍රීවරයා පැළද සිටි හිස් වැසුම අනතුරත් සමග ගැලවී යාමෙන් පසුව මන්ත්‍රීවරයා ගේ හිස පාරේ රළු ස්ථානයක ගැටී තිබුනා


රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ‘කුඩු සුමංගලි’ අත්අඩංගුවට

(12.02.2023 – 18:30 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටළග මහවත්තේ පදිංචි ප්‍රියංගිකා සුමංගලී (44) හෙවත් ‘කුඩු සුමංගලි’ නමින් හදුන්වන කාන්තාව බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 203 ට ආසන්න ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

මෙම සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන මාර්ගයට පිවිසෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද බුද්ධ තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකාරිය මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකාරිය ඊයේ (11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ළබාගෙන වැඩිදුරටත් විමර්ශ සිදු කරමින් පවතිනවා ෴


රුපියල් කෝටි 2 ක් වංචා කොට අධිකරණ වරෙන්තු 46 ක් මගහැර සිටි කාන්තාවක් අල්ලයි

(12.02.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 2 කට අධික මුදලක් වංචා කර, අධිකරණ වරෙන්තු 46 ක් මගහැර සිටි කාන්තාවක් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, නුගේගොඩ – නාවල ප්‍රදේශයේ වෙළඳ නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කඩවත – සූරියගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් අද (12) අත්ඩංගුවට ගෙන ඇති බවයි.

ඇය විසින් ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ආනයනය කොට වෙළඳ නියෝජිත ආයතන වලින් රුපියල් ලක්ෂයේ (1) සිට ලක්ෂ 5 දක්වා මුදල් වංචා කර තිබෙනවා.

ඊට අදාළව ඇයට එරෙහිව පැමිණිලි 46 ක් අධිකරණයේ විභාග වන අතර එම සියලු නඩු වලට ඇය පෙනී නොසිට ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව කඩවත – ගනේමුල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලිසිය අද (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ප්‍රමාණවත් මුදල් තවම ලැබී නැහැ – මැතිවරණ කොමිසම හෙට (13) පක්ෂ ලේකම්වරු කැඳවයි

(12.02.2023 – 19:41 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ දක්වා ඊට අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් නොකිරීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

හෙට (13) දිනයේ දී ඔවුන් සමඟ එම සාකච්ඡා පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පළාත්පාලන ඡන්ද විමසීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් වෙන් කර ඇති මුදල්, මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට අපොහොසත් වී ඇති බව පැෆ්රල් සංවිධානය ද අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා ෴


අදත් (12) බුත්තල පොළව සෙලවෙයි

(12.02.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (12) දිනයේත් සුළු භූ චලනයක් වාර්තා වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම භූ චලනය බුත්තල, උණාවටුන, පැල්වත්ත යන ප්‍රදේශ ආශ්‍රීත ජනතාවට දැනී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, එවැනි භූ චලනයක් සම්බන්ධයෙන් තම කාර්යාංශය වෙත වාර්තා වී නොමැති බවයි.

රික්ච්ටර් පරිමාණයේ ඒකක 2.3 ක සුළු භූ චලනයක් ඊයේ (11) අලුයම 03:48 වැල්ලවාය නගරය ආශ්‍රිතව වාර්තා වී තිබූ අතර පෙරේ දා බුත්තල – පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකක 3 ක් සහ 2.4 ක සුළු භූ චලන දෙකක් (2) වාර්තා වී තිබුණා.

+


වසන්ත මුදලිගේ නිදහස් කිරීමේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පතක්

(12.02.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ චෝදනා වලින් නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ලබාදී තිබූ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

එසේ තිබියදීත් නඩුවකින් සැකකරු නිදහස් කිරිම නීතියට පටහැනි බැවින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අවලංගු කරන ලෙසයි ප්‍රතිශෝධන අයදුමෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම නඩුව පෙර තිබූ තත්ත්වයේම පවත්වා ගෙන යාමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබෙනවා ෴


ෆේස්බුක් සාදයක් වටලා කතක් (1) සමග සැකකරුවන් 32 ක් පොලිස් අත්අඩංගුවට

(13.02.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

බියගම – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් මගින් සංවිධානය කර මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක දී එක් (01) කාන්තාවක් සහ තවත් පිරිමි 31 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් 07 දෙනෙකු සන්තකයේ තිබී ගංජා තබාගෙන සිටි පිරිසක් ද, මත් කරල් තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු ද, අයිස් මත්ද්‍රව්‍ය සමග එක් (01) අයෙකු ද, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 14 දෙනෙකු ද, මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් (01) හා සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු හා සැකකාරියක් (01) අත් අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20 ත් 27 ත් අතර වයස්වල මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (13) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඝාතන සිද්ධියකට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(13.02.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පොලිස් කොස්තාපල්වරයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල – වෙහෙරගල ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවයි මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු නවගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන අතර අනියම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

මේ අතර සොරාගත් බව කියන ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියකට ව්‍යාජ අංකයක් යොදාගෙන එම යතුරුපැදිය පරිහරණය කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්තව රාජකාරි නිරතව සිටි අයෙක් ෴


හිඟ ආදායම් බදු අයකරගැනීමට නව නීති

(13.02.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම් බදු ආඥා පනත සංශෝධනය කර නව නීති පනවා හෝ හිඟ ආදායම් බදු අය කර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට – මහායාය ප්‍රදේශයේ ඊයේ (12) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

රුපියල් බිලියන 200 කට අධික හිඟ ආදායම් බදු ප්‍රමාණයක් ඇති බවට මාධ්‍ය වාර්තාවන් පළ වී ඇතත් එය වසර 30 ක පමණ කාලයක සිට එකතු වූ මුදල් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *