විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට

විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට


විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට

(12.02.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

භාවිතයට නුසුදුසු වර්ගයේ විෂ සහිත පොල්තෙල් තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ මෙලෙස ගෙන්වා ඇති පොල්තෙල් කිසිදු ලෙසකින් මිනිස් පරිභෝජනයට භාවිත කිරීමට නුසුදුසු බවයි.

කෙසේවෙතත් මෙවැනි ආකාරයේ විෂ සහ පිළිකාරක ද්‍රව්‍යය අඩංගු පොල්තෙල් දිවයිනට ගෙන්වා ඇති බවට මුල් වරට සමාජයට හෙළි කළේ ‘හිරු ප්‍රවෘත්ති අංශයේ’ ‘ඇත්ත’ වැඩසටහන හරහායි.

එහිදී හෙළි වූයේ, ලංකාවට ගෙන්වා ඇති පොල්තෙල්වල පිළිකාරක ද්‍රව්‍යයක් වන ‘ඇෆ්ලටොක්සීන්’ නමැති විෂ රසායනිකය අඩංගු වන බවයි.

මෙම විෂ රසායනිකය හටගන්නේ පොල්තෙල් සිඳීමට ගන්නා කොප්පරාවල කාලයක් තිස්සේ සිට මතුවන පුස් වර්ගයක් හේතුවෙන් බව ද අනාවරණය වුණා.

කෙසේවෙතත් එම සංවාදයෙන් හෙළි වුණු කරුණු පිළිබඳ ව තවමත් විමර්ශනයන් සිදුවන මොහොතකදියි යළිත් ශ්‍රී ලංකාවට මෙම විෂ පොල්තෙල් තොගය ගෙන්වා ඇති බවට අදාළ සති අන්ත පුවත්පත කරුණු අනාවරණය කර ඇත්තේ.

+

+


සිරිපාද පුදබිමේ දී උපත ලද සිඟිත්තිය

(12.02.2023 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු (1) මවක් තම දෙවැනි (2) බිළිඳිය ‘ඉදිකටුපහනේ’දි බිහිකර පුවතක් වාර්තාවනවා.

වන්දනාවේ පැමිණි මෙම කාන්තාව ඇයගේ ප්‍රසූතය ඊයේ (11) රාත්‍රියේ දී සිදුකර ඇති අතර, එම නව බිළිඳිය ගැහැනු දරුවෙකු බවත් ‘නල්ලතන්නිය’ පොලිසිය පැවසුවා.

ගත වු දෙදින (2) තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිරිපාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එම පිරිස අතර රත්නපුර – මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද – උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉදිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර ව සිටියදි මෙම සිදුවීම සිදුව ඇත්තේ රාත්‍රී 07:30 ට පමණ බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

බිළිඳා ප්‍රසූත කිරීම සඳහා පැමිණ සිටි කාන්තා බැතිමතුන්ගේ සහාය ද ඇයට හිමිව තිබෙනවා.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ සිරිපාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ගේ සහාය මත දරු ප්‍රසුතිය සිදු කළ කාන්තාව සහ සිඟිත්තිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසයි.

එම අතරතුර ‘සුවසැරිය ගිලන් රථය’ නල්ලතන්නිය වෙත කැඳවා තිබු නල්ලතන්නිය පොලිසිය මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

දරු ප්‍රසුතිය සිදු කල මව සහ අලුත උපන් සිඟිත්තියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි දික් ඔය මූලික රෝහල සඳහන් කළේ.

+


පලාලි ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත වෙයි

(12.02.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට සමගාමීව යාපනය – පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ පළමු කොටස ඊයේ (11) විවෘත කෙරුණා.

ඒ, සිවිල් ගුවන් සේවා සභාපති උතුර හිටපු ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවා තවදුරටත් පුළුල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

+


අත්‍යවශ්‍ය ශල්‍යකර්මවලට ප්‍රමුඛතාව

(12.02.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

රටේ මේ වනවිට (12) පවතින ඖෂධ හා උපකරණ තත්වයන් පිළිබඳව සළකා බලා රෝහල්වල අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ ඒ අනුව නිසි ක්‍රමවේදයක් යටතේ හදිසි ශල්‍යකර්ම අවසන් කරන ලෙස රෝහල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය මට්ටමේ ශල්‍යකර්ම තරමක් ප්‍රමාදවීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ මාෆියාවට සම්බන්ධ බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් චෝදනා කරනවා.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබී ඇති සියයට 80 ක ඖෂධ වසරක් යන තෙක් ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම එම වෛද්‍යවරුන්ද වගකිව යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

+


ආනයනික අර්තාපල් බද්ද හෙට (13) කැබිනට්ටුවට

(12.02.2023 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මෙවර ගොවීන්ගෙන් රුපියල් 100 කට වී කිලෝවක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

උතුරේ සංචාරය කරන අතරතුරයි කිලිනොච්චියේ ගොවීන් වෙත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

එමෙන්ම ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමේ යෝජනාව හෙට (13) රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අස්වැන්න නෙළන අවස්ථාවේ දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අර්තාපල් ආනයනය තහනම් කිරීම වෙනුවට ඒ සඳහා බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් ද යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ – බොරලන්ද ප්‍රදේශයේ බීජ අර්තාපල් වගාවේ අස්වනු නෙළීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමින්.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව හා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ප්‍රදේශ රැසක බඩඉරිඟු වගා කළ ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තාවනවා.

නිසි කලට වර්ෂාව නොලැබීම සහ වෙළඳපොලේ පැවති තෙල් පොහොර හිඟය මෙන්ම කෘෂිරසායන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණදී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

+


බදුල්ලේ මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

(12.02.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය ස්ථානය වටලා ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් එක් අයෙකුගෙන් විදේශ රැකියා ලබාදීමට රුපියල් ලක්ෂ තුනහමාරක (3½) පමණ මුදලක් අය කර ඇති බව සඳහන්.

පුද්ගලයන් රැසකගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පුද්ගලයන් විසි දෙනෙකු (20) ගෙන් පමණ දැනට පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි ෴


භූ කම්පනයෙන් අතුරුදන් වූ ශ්‍රී ලාංකික කතගේ සිරුර සොයාගැනේ

(12.02.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

තුර්කියට හා සිරියාවට බලපෑ රික්ටර් මාපක 7.8 ක ප්‍රබල භූ කම්පනයෙන් දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට (12) ඉහතදියි ඇයගේ සිරුර එරට ආරක්ෂක අංශ සහ විපතට පත් පිරිස ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගනු ලැබුවේ.

එසේ හමු වූ කාන්තා මළසිරුර තම මවගේ බවට ඇයගේ දියණිය විසින් හඳුනාගනු ලැබූ බවත්, ඒ බව තහවුරු කළ බවත් වාර්තා වනවා.

ඇයගේ සිරුර ඇය නවාතැන්ගෙන සිටි නිවාස සංකීර්ණයේ සුන්බුන් ඉවත් කිරීමේ දී සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

‘චන්ද්‍රිකා රාජපක්ෂ’ නම් ඇය නවාතැන්ගෙන සිටි ස්ථානයේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ඊයේ (11) ආරම්භ කළ අතර, එම ස්ථානයට ඇයගේ දියණිය ද පැමිණ තිබුණා.

මෙම කාන්තාව තුර්කියට ගොස් ඇත්තේ මීට වසර 20 කට පෙරයි.

ඇයගේ උපන් ගම ගලගෙදර ප්‍රදේශයේ වන අතර, මිය යනවිට ඇය 69 හැවිරිදි වියෙහි පසුවුණා.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල‍ය මියගිය කාන්තාවගේ දියණියට සහ පවුලේ සාමාජිකයින් වෙත සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා ෴


ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට සියලුම ශ්‍රේණිවල විෂයමාලා අලුත් වෙයි

(12.02.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අටවන (8) ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණික වැඩිදියුණුවත් සමඟ බවයි.

සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු බවත්, විද්‍යා තාක්ෂණ ක්‍ෂේත්‍ර පාඨමාලා වැඩිදියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා ෴


හැටන් ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් පිළිබඳ විමර්ශන ඇරඹේ

(12.02.2023 – 14:42 +0530 – hirunews.lk/sinhala)

හැටන් ප්‍රදේශයේ ක්‍රියාත්මක මහා පරිමාණ මැණික් ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දික්ඔය – බටල්ගල වතුයායේ තේ පඳුරු ගළවා මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගෙන වෙනත් ප්‍රදේශයකට ලොරි රථයකින් ප්‍රවාහනය කර ඉන් අනතුරුව මැණික් ගැරීම සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම ජාවාරමට ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට ද සැක මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *