ගල්අඟුරු, ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් – කරුණු කියන්න නිලධාරින් කම්මැලියි

ගල්අඟුරු, ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් – කරුණු කියන්න නිලධාරින් කම්මැලියි


ගල්අඟුරු, ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් – කරුණු කියන්න නිලධාරින් කම්මැලියි

(11.02.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala)

ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ තහවුරු කළා.

කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් (2) පිළිබඳව සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එම කරුණු වන බවයි.

මේ අතර, නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සංචිත පවතින බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා.

ගල්අඟුරු ටෙන්ඩරයට අනුව අවම ලන්සුව ඉදිරිපත් කර ටෙන්ඩරය ලබා ගත් ඉන්දුනීසියානු අරිස්ටා මිත්‍රා සමාගම ගල්අඟුරු නියමිත වේලාවට ලබාදීමට අදාලව අවශ්‍ය කටයුතු මෙතෙක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

එසේම අදාළ ටෙන්ඩර් කටයුතු පිලිබඳව විවිධ වාර්තා මේ වනවිට පළවෙමින් පවතිනවා.

එම සමාගම විසින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් (1) ඇමෙරිකානු ඩොලර් 240 ක මුදලකට ලබාදීමටයි එකඟතාව පළ කර තිබුණේ.

ඒ අනුව, ලන්සු ඉදිරිපත් කළ අනෙකුත් සමාගම් තුනෙන් (3) දෙකක් (2) ණය පහසුකම මත ගල්අඟුරු ලබාදීමට කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් ඔවුන්ගෙන් ගල්අඟුරු ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, ‘කොම්බාස්ට්’ සහ ‘කොරල්’ යන සමාගම් වලින් ගල්අඟුරු මිලදී ගැනෙන අතර, ඔවුන් ණය පහසුකම් මත ඒවා ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව, මාර්තු මස 10 වනදා කොම්බාස්ට් සමාගමෙන් ගල්අඟුරු නෞකාවක් සහ මාර්තු 15 වනදා කොරල් සමාගමෙන් ගල්අඟුරු නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිතයි.

ටෙන්ඩරයේදී ඔවුන් විසින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් (1) සඳහා ඩොලර් 259 ක් සහ ඩොලර් 267 ක් ඉදිරිපත් කළත්, කැබිනට් අනු කමිටුව ලබාදුන් නිර්දේශ මත සිදුකළ සාකච්ඡාවලදී ඔවුන් ඩොලර් 230 ත් 240 ත් අතර අගයකට ගල්අඟුරු ලබාදීමට මේ වනවිට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර සිංගප්පූරු සමාගමකින් ඩොලර් 210 කට පමණ ගල්අඟුරු ලබා ගත් අතර, අත්පිට මුදලට ඒවා ලබා ගැනීම හේතුවෙන් අඩු මිලකට අදාළ ගල්අඟුරු තොග දිවයිනට ලැබුණු බව ගල්අඟුරු සමාගම සඳහන් කරනවා.

මේ දිනවල දිවයිනට පැමිණෙන්නේ එම සමාගමේ නෞකාවන් ෴


බල තණ්හාවෙන් අපේ සමාජය දුෂණය වෙලා

(11.02.2023 – 21:30 +0530 – hirunews.lk/sinhala)

ලෝකයෙන්ම සිඟමන් යදිමින් සමරන නිදහස සැබෑ නිදහසක්දැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කරනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් :

අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය නරක විදියට දූෂිත වෙලා. පසුගිය වසර 75 පුරාවටම අප ගමන් කර ඇත්තේ ආපස්සටයි. ඒත් අපි එක්ක නිදහස ලැබූ රටවල් ඉදිරියට ගියා.

අපේ රටේ 100%ක් අවංකභාවය තිබෙනවද ? අවංක නොවූ යම් අයෙකුට සමාජයෙන් කිසියම් දඬුවමක් ලැබී තිබෙනවාද ? ඒ බව මම අමුතුවෙන් කිව යුතු නැහැ. ඔබටම බලාගන්න පුළුවන්.

ආර්ථික වශයෙන් නොවෙයි අද හැම දෙයක්ම කඩාවැටිලා. සදාචාරය බිඳවැටිලා. නිවැරදි දේ කරන්න අපිට පුළුවන් වෙලා නැහැ. යුක්තිය ගැන ජනතාවට තිබිය යුතු හැඟීම නැති වෙලා ගිහින්. හැමවෙලේම බලන්නේ මොනවා හරි ලබාගන්න. ඒක උඩ ඉඳන් පහළටම පවතින තත්ත්වයක්. -සම්තිං එකක්- කාගෙන් හරි, මොනව හරි ගන්නයි හැමතිස්සෙම බලන්නේ.

බල තණ්හාවෙන් අපේ සමාජය දූෂිත කරලා. අවුරුදු 75 ක් අපි අපේ මව්බිම පාවා දීලයි තිබෙන්නේ.

මොකක්ද අප සමරලා තියෙන නිදහස ? ආචාර වෙඩිමුර, කොඩි එසවීම්, ආචාර පෙළපාළි… අමුත්තන්ට පෙන්වූවා අපි උසස් රටක් කියලා. හැබැයි ලෝකෙ පුරා අපි ණය ඉල්ලමින් යනවා, ඒක නිදහසද ? රටේ ප්‍රධාන පුද්ගලයා කියන්නේ නිදහස අභිමානයෙන් සැමරීම කියලා. අපි සමරන්නේ ඔහුගේ අභිමානයද, අපේ අභිමානයද ?

රටට මෙහෙම වෙලා තියෙන්නේ ඉතිහාසය පුරා සිදුවුණු අතපසුවීම් හින්දා.

දේශීය ආර්ථිකය බිඳ දමමින් විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් පවා පිටරටින් ගෙන්වූවා. අපි යැපෙන ආර්ථිකයක් බවට පත්වුණා. ඉන්දියාවත් එක්ක තියෙන වෙළඳ හිඟය බලන්න, අපිට නොවෙයි වාසිය ඔවුන්ට. චීනය එක්කත් එහෙමයි. අපිට පුළුවන් වෙන්න ඕන ඔවුන්ට කියන්න අපි ඔබේ භාණ්ඩ මිලදී ගන්නම් ඔබත් අපේ නිෂ්පාදන මිලට ගන්න කියලා.

ඔබට ණයක් ගෙවන්න තිබෙනවා. ඒ ණය ගෙවන්න ඔබ තවත් ණයක් ගන්නවා. මේ වතාවේ IMF ගිහින්. මීට කලින් ඉන්දියාව සහ චීනය. මොකක්ද මේ ? කෝ අපේ දේශහිතෛශීභාවය?

අපි ජාතික ගීයට ගරු කරනවා. ඒත් අපි තවමත් ලංකා මාතාවගේ වටිනාකමක් නැති මිනිස්සු. අපි අපේ රට විනාශ කරලයි තියෙන්නේ.

+


කැලණිතිස්ස බලාගාරය වසා දැමීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

(12.02.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කැලණිතිස්ස බලාගාරය වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියේ එමඟින් අහිමි වන මෙගාවොට් 165 ක ධාරිතාව ‘වෙස්ට් කෝස්ට්’ පෞද්ගලික බලාගාරයෙන් මේ වනවිට ලබා ගන්නා බවයි.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ‘නැෆ්තා’ මගින් ක්‍රියාත්මක කෙරෙන අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා නැෆ්තා මිල ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව රුපියල් 164 කට ලබාදුන් නැෆ්තා ලීටරයක් අවසන්වරට සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී තිබුණේ රුපියල් 220 ක මුදලකටයි.

කෙසේ වෙතත්, දැවිතෙල් මඟින් ක්‍රියාත්මක කෙරෙන වෙස්ට් කෝස්ට් පෞද්ගලික බලාගාරයට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබාදෙන ඉන්ධනවල මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 320 කට මීට පෙර ලබාදුන් දැවිතෙල් ලීටරයක් මේ වනවිට ඔවුන්ට ලබාදෙන්නේ රුපියල් 270 කටයි.

ඒ අනුව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා නැෆ්තා නව මිල ගණන් යටතේ රුපියල් 57 ක මුදලක් වැය වන අතර, වෙස්ට්කෝස්ට් බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 55 ක් වැය වනවා.

කෙසේ වෙතත්, නැෆ්තා මිල ගණන් ඉහළ දැමීමට පෙර කැලණිතිස්ස බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවුණේ රුපියල් 43 ක මුදලක්.

ඒ අනුව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පෙන්වා දෙන්නේ රජයේ බලාගාරයට ලබාදෙන ඉන්ධන මිල වැඩි කිරීමටත්, පෞද්ගලික බලාගාරයට ලබාදෙන ඉන්ධන මිල අඩු කිරීමටත් පියවර ගැනීම තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර, තවත් ගල් අඟුරු නෞකාවක් ඊයේ (11) පස්වරුවේ දිවයිනට ළඟා වුණා. ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ ඒ අනුව මේ වනවිට ගල් අඟුරු නෞකා 14 ක් දිවයිනට ළඟා වී ඇති බවයි.

දිවයිනට පසුගිය 07 වනදා පැමිණි 12 වන ගල් අඟුරු නෞකාවේ ගොඩබෑම් කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර, ඊට අමතරව තවත් නෞකා දෙකක ගල් අඟුරු ගොඩබෑමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ නෞකා තුනෙන් පමණක් දිවයිනට රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000 ක්.

ඊට අමතරව මේ මස 17 වනදා සහ 24 වනදා තවත් ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මෙවර ගල් අඟුරු නෞකා 33 ක් දිවයිනට රැගෙන ඒම ලංකා ගල් අඟුරු සමාගමේ අපේක්ෂාවයි.

ඒ අනුව, නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු සංචිත පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගම පවසන්නේ.

සාමාන්‍යයෙන් බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන්නේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7500 ක් ෴


පුංචි ඡන්දයට එවූ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක් ප්‍රතික්ෂේපයි

(12.02.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව යොමු කළ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක පමණ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියා.

එසේම, ඔහු තවදුරටත් කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම පෙබරවාරි 19 වනදා සිදුකිරීමට නියමිතව ඇති බවයි ෴


තරු ඉබ්බන් 206 ක් රට පටවන්න දැරූ තැතක් වරදියි

(12.02.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් භාණ්ඩ අපනයන පර්යන්තයේ දී සිදු කළ පරික්ෂාවක දී තරු ඉබ්බන් 206 ක් සිය භාරයට ගැනීමට රේගු නිලධාරින් සමත්ව තිබෙනවා.

ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදු කරන ලද විශේෂ සෝදිසි කිරීමකදියි ඊයේ (11) AK046 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත මෙම ඉබ්බ්බන්ව රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ.

රෙදි ගෝනි තුළ මෙම සතුන්ව අසුරා එම අසුරන මත වියළි මුහුදු ආහාර යනුවෙන් පෙට්ටි 06 ක ඇසුරුම් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සතුන් නීතිවිරෝධීව රැගෙන යාම තහනම් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+


පැය 10 ක ජල කප්පාදුවක් රත්තොට, කයිකාවල සහ වේරගම ප්‍රදේශවලට

(12.02.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10 ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (13) පස්වරු 8 සිට අනිද්දා (14) පෙරවරු 6 දක්වා මෙම ජල සැපයුම නවතිනු ඇති.

ජල සැපයුම අත් හිටවන ප්‍රදේශ ලෙස රත්තොට, කයිකාවල සහ වේරගම නම් කර තිබෙනවා.

ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 1939 ක්ෂණික දූරකථන අංකය හා සම්බන්ධ වන්න ෴


වාහන ලක්ෂ 7 ක එයාර් බෑග් අන­තු­රු­දා­ය­කයි – වාහන මාදිලි 47 ක් වායු බැලූන ස්ථාප­න­යට යළි කැඳ­වයි

(11.02.2023 – silumina.lk)

ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරීත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් වාහන ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ධාවනයේ යෙදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ‘සිළුමිණ’ට ප්‍රකාශ කළේය.

වායු බැලූන ක්‍රියාකාරිත්වයේදී රියැදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි ජීප් රථද මෙසේ මහා මාර්ගයේ ධාවනය වන බව තහවුරු වී තිබෙන බවත් නිෂ්පාදන දෝෂ සහිත නිසා එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලූන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය වන බව තහවුරු වී තිබේ. මේ වන විට වාහන ආනයනික ඒජන්ත සමාගම් විසින් අදාළ අවදානම් කාණ්ඩ සහිත වාහන හිමිකරුවන් සම්බන්ධ විස්තර තම දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

වායුබැලූන් අවදානම් සහිතව වාහන ධාවනය ඉතාම අනතුරුදායක බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) ටී.එම්.එස්.කේ. තෙන්නකෝන් අදහස් දක්වමින් පැවසුවේ ආපසු කැඳවීම් සිදු කළ වාහන සම්බන්ධයෙන් තොරතුරු එක් කර මාධ්‍ය හරහා කඩිනමින් ජනතාව දැනුවත් කරන බවයි.

එසේම මේ වන විට මෙරට මෝටර් රථ ආනයන ඒජන්තවරුන් විසින් වාහන මාදිලි 47 ක් වායු බැලූන යළි ස්ථාපනය කිරීම පිණිස ආපසු කැඳවා ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඒ යටතේ හොණ්ඩා වාහන කාණ්ඩ 9 ක් යටතේ මාදිලි 33 ක් ද, මිට්සුබිෂි කාණ්ඩ 3 ක් යටතේ මාදිලි 8 ක් ද ටොයොටා මාදිලි 6 ක්ද ආපසු කැඳවා තිබේ.

මේ වන විට ලෝකය පුරා විවිධ වාහන කාණ්ඩ යටතේ ආපසු කැඳවා ඇති වාහන මාදිලි සංඛ්‍යාව 100 කට අධික බව වාර්තා වේ. ඒ යටතේ මැස්ඩා කාණ්ඩ 7 ක් සුපිරි බෙන්ස් කාණ්ඩ 10 ක් මිට්සුබිෂි කාණ්ඩ 6 ක් සුබාරු කාණ්ඩ 5 ක් ටොයොටා කාණ්ඩ 13 ක් වොක්ස්වගන් කාණ්ඩ 7 ක් අවුඩි කාණ්ඩ 19 ක්ද ලෙක්සස් කාණ්ඩ 7 ක්ද ආපසු කැඳවා ඇත.

ඊට අමතරව හොණ්ඩා කාණ්ඩ 16 ක්ද මෙසේ ආපසු කැඳවා තිබෙන අතර එම කාණ්ඩ 16 ට අමතරව අධි අවදානම් හොණ්ඩා වාහන කාණ්ඩ 7 ක් ද නම් කර තිබේ. මේ වාහන ආපසු කැඳවීම් ලෝකය පුරා සිදු කළත් මෙරට එක් සමාගමක් හැර වෙනත් කිසිදු සමාගමක් වාහන එසේ ආපසු කැඳවීමක් සිදු කර නොතිබුණි ෴

+++++++

+++++++

විමුක්තිගේ හදිසි මරණයෙන් හෙළිවන ‘ටකාටා එයාර් බෑග් සිස්ටම්’ අවදානම
(06.02.2023 – gossiplankanews.com)

+


තවමත් හෙළි නොවුණු කෝටිපති ඔනෙෂ් ඝාතනයේ සුලමුල
(11.02.2023 – silumina.lk)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *